Monday, August 10, 2020

රුදුරු තුරු වදුලේ ...

 රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


මහදේ රන් සුමුගේ ඔබ තබලා

නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා

සුවඳ විඳිමින් හිඳිමි සැමදා

දෑස ‍වැසෙන තුරා

දෑස ‍වැසෙන තුරා


රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


මිහිරී රූ සිරි

මිහිරේ ජනනියේ

සිත සැනසේ ඔබ දසුනේ

මුදුමතී මුදුමතී

සිත සැනසේ ඔබ දසුනේ


රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


ගායනය - සුනිල් එදිරිසිංහ

පද - මහාචාර්ය කාලෝ ෆොන්සේකා

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

මේ ගීතයේ උපතද එහි පදවැල සේම අමුතුය. අපූරුය. මෙම ගීතයේ රචක මහාචාර්ය කාලෝ වරෙක එහි උපත ගැන මෙසේ පවසා තිබුණි.

"ඔය මම ලියපු රුදුරු තුරු වදුලේ ගීතය ලිව්වේ කවුරු සඳහා කියලාද මේ අය හිතන්නේ? ඒක මම මුලින්ම ලීවේ එච්.ආර්. ජෝතිපාලයන්ට. අවාසනාවකට එය පටිගත කිරීමට කලින් ඔහු අපට අහිමි වුණා. පස්සේ මම ඒක සුනිල් එදිරිසිංහ මහතාට ගයන්න දුන්නා. මේක මුලින්ම ලියැවුණේ ජෝතිපාලයන්ට නිසා ඔහුගේ ආරයටයි ලියැවී තිබුණේ. පස්සේ මම ඒක සුනිල්ට හරියන විදියට වචන වෙනස් කළා. 

මෙම ගීතය බොහෝ දෙනෙකු සුපුරුදු ආදර ගීයක් බවට සිතනවාට සැක නැත. නමුත් ගීතයෙන් කියවෙන්නේ පියෙක් තම දියණිය වෙත පාන සෙනෙහස සහ ආදරයයි.

තාත්තා කෙනෙක් දුවෙක්ට දක්වන ආදරේ කවදාවත් පෙන්නන්නෙ නැති වුනාට ඒ ආදරේ හිත පතුලෙන්ම එන කිසිම ආදරයකට සම කරන්න බැරි ආදරයක්. දූලගෙ රජ්ජුරුවෝ තාත්තා වගේම හැම තාත්තා කෙනෙක්ගෙම රැජිණ වෙන්නෙ තමන්ගෙ දුව. මේ ගීතය බැලු බැල්මට ශෘංගාරාත්මක ගීතයක් වගෙ පෙනුනත් අැතුළට එබිලා ටිකක් කල්පනා කරලා බැලුවම ගැබ් වෙලා තියෙන්නෙ මේ කියපු ආදරේ ගැන. තාත්තා කෙනෙක් දුවෙක්ට මේ සමාජේ ගැන වගේම එයාලගෙ හිතේ කැකෑරෙන ආදරය ගැන පුදුම විදියට ලස්සන වචන යොදාගෙන මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහත්මයා ලියනකොට ගැබුරු හඬකින් ඒ ගීතය වර්ණවත් කරන්නෙ තවත් එක් පියෙක්. ඒ වෙන කවුරුත් නෙමේ විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයා.

රුදුරු තුරු වදුලේ – තියුනු කටු අතරේ

දිලෙන සියුමැලියේ – ඔබයි ජිවන සුවඳ දෙන්නේ

රෝස කුසුම මගේ – රෝස කුසුම මගේ

තාත්තා කෙනෙක්ට දුවෙක් හැමවෙලේම මලක් වගෙයි. කොච්චර දඟ වුනත් කොච්චර නපුරු වුනත් තාත්තලා දූවරු පරිස්සම් කරන්නෙ රෝසමල් වගෙයි. එයාලගෙ ජීවිත වර්ණවත් කරන්නෙ එළිය කරන්නෙ සාර්ථක කරන්⁣නෙ වෙන කවුරුත් නෙමෙයි. දූවරු තමයි ඉතින්. ඒ වුනාට මේ සමාජය හරිම කුරිරුයි, හරිම විෂ ගොහොරයි. හරියට ගස් කොළන් වලින් පිරිච්ච මහ වනාන්තර වල දෙපතුල් පසාරු කරගෙන යන්න තරම් කටු හැංගිලා තියනවා වගෙ. ඒ නිසයි තාත්තලා හැමවෙලේම දූවරු පරිස්සම් කරන්නෙ. 

මහදේ රණ්සුමුගේ ඔබ තබලා

නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා

සුවඳ විඳිමින් හිදිමි සැමදා

දෑස වැසෙන තුරා – දෑස වැසෙන තුරා

හැමදාමත් තාත්තලාගෙ හිතේ දූවරු හිටියේ මිලක් නියම කරන්න නොහැකි තැනක. දුවෙක්ට වටිනාකමක් දෙන්න තාත්ත කෙනෙක්ට බෑ. ඒ වගේම දුවෙක්ට කොච්චර ආදරේද කියල තාත්තා දන්නෙත් නෑ. එත් ඒ ආදරේ මහමෙරක් වගෙයි. අැස් දෙක පරිස්සම් කරනවට වඩා තමන්ගෙ දුවව හැම තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ මේ නිසයි. දුවෙක් ලැබුනට පස්සෙ මියදෙන තුරාවටම අවශ්‍ය හැමදේම කොහොම හරි ගෙනත් දීලා හොඳින් උගන්නලා රටට වැඩදයී සුචරිතවක් දියනියක් බිහිකිරිමයි හැම තාත්තා කෙනෙක්ගෙම එකම ප්‍රර්ථනාව. එ් සාර්තකත්වයේ සුවඳ මිලින වෙලා යන අැස් දෙකෙන් තාත්තා කෙනෙක් බලාගෙන ඉන්නෙ කියාගන්න බැරි තරම් සතුටකින්.

මිහිරී – රූසිරී

මිහිරී – ජනනියේ

සිත සැනසේ ඔබ දසුනේ

මුදුමතී – මුදුමතී

සිත සැනසේ ඔබ දසුනේ

තාත්තලා කොච්චර දරදඬු වුනත් දුවලා ඉස්සරහ එයලා හරිම සෞම්‍යයයි. කොච්චර තරහ ගියත් දුවෙක්ගෙ අැස් දෙකෙන් කඳුලක් වැටෙනවා දකින්න කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ. ඒ මොකද එයාලට දුවරු හරිම මෘදුයි, සෞම්‍යයයි. හැම තාත්තා කෙනෙක්ටම තමන්ගෙ දුව පෙන්නේ හඳක් වගෙයි. ඇතැම් වෙලාවට නිසොල්මනේ ගලා බසින ගඟක් වගෙයි, එහෙමත් නැත්තන් ලස්සනම ලස්සම ගීතයක් වගෙයි. තාත්තලා කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත්, කොච්චර වැඩ කරලා ගෙදර ආවත් එයාලට සිත සැනහෙන්නෙ තමන්ගෙ දුව හුරතල් වුනාට පස්සෙයි. හැම තාත්තා කෙනෙක්ගෙම වටිනම සම්පත තමන්ගෙ දියණියයි. ඒ වගේම හැම දියණිකගෙම වටිනම දේ තමන්ගෙ තාත්තා. ගීතය ගලාගෙන යන්නෙ ඔන්න ඔය විදියටයි. හැම ආදරයම දෙමාපිය ආදරයට පරාදයි වගේම කිසිම ආදරයක් දෙමාපිය ආදරයට සම කරන්න බැහැ. තාත්තලා වගේම අම්මලත් දරුවන්ට පණ වගේ අාදරෙයි. ඒත් මේ ගීතය ලියවුනෙ තාත්තලා වෙනුවෙනුයි. ඒ නිසාම හැම ආදරණීය පියෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා!

(ගීත විග්‍රහය පමණක් උපුටා ගැනීම - වින්ඩිගේ ලෝකය)





No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...