Wednesday, February 24, 2021

සුදු හාමිනේ ...

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ

ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ


උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන

කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන

වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන

මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන


දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී

මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ

ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ


ගායනය - නන්දා මාලිනී

සංගීතය - නන්දා මාලිනී

ගී පද - සුනිල් ආරියරත්න


කිරිකැටි දරුවන් වී හිඳින සඳ උන් හැමදාමත් ළය උණුසුමේය. අම්මාගේ කිරි සුවඳේ තාත්තාගේ පපුතුරේ රැඳි ස්නේහයේ උණුසුමේ උන් දැවටෙයි. උන් ආදරය ඉල්ලා හිඳියි. සුරතල් සිනා, කතා අපේ ලෝකයේ පාළුව සංකාව දුරකට රැගෙන යයි. දුක්ඛ දෝමනස්සයන් සිනහවකට පරිවර්තනය කරන්නේ උන්ගේ ලෝකයේ නිර්මලත්වය සහ ආදරයයි. එහෙත් තනියෙන් ඉගිල යන්නට අත්තටු ලැබුණු දා උන් කූඩුව හැර ඉගිලී යයි. උන්ට අවැසි ලෝකය සොයාගෙන උන් අපේ ලෝකයෙන් බොහෝ දුර ඈතකට ඉගිලෙයි. ස්නේහයේ පොහොසත්කම් ඉගෙනගත් ජීවිතයේ මහ රුත් දැනහඳුනාගත් දවසක් සපැමිණියහොත් ඒ දවසක උන්ට උන්ටම කියා අත්තටු ලැබ දුන් කැදැල්ලේ අතීත ජීවන සුවඳ සිහිපත් වෙනු ඇත. එහෙත් එවන් දිනක් නොපැමිණෙන අහේතුවෙන් බිම්බරක් හද සුසුම් දරාගෙන වාවාගෙන උහුලනු බැරි තනිකමෙන් සංකාවෙන් ඇස් අග කඳුළු දරන අම්මාවරුන් මේ විශ්වයේ කොතෙකුත්ය. පියවරු කොතෙකුත්ය.


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ... යැයි තමන්ගේ ලෝකයේ මුතු ඇටයක් සදිසි වූ තම දියණියගෙන් විමසන මව්වරු පියවරු අප්‍රමාණයැයි මට සිතේ.

ඒ ඇතැම් අම්මාවරු තාත්තාවරු වියපත් ජීවිතයේ අවසාන පරිච්ඡේදය ගෙවන්නේ එක්කෝ වැඩිහිටි නිවාසවලය. සාර සිප් සොයා පරතෙරට ගිය දරුවන් විල්ලුද රතු පලස් මතින් පියමං කර ශිල්ප චාරිකාවේ සක්විති ඔටුනු දරද්දී සාරධර්ම මනුෂ්‍යත්වය ඒ ඔටුන්නේ මුතු මැණික් දියමන්ති වී ඔටුන්න සරසා නැත. අලුත් ලෝකයක්, අලුත් පන්තියක්, අලුත් බලාපොරොත්තු මහමෙරක් ජීවිතය වෙනුවෙන් පොදිබැඳ උන් මහා තරගයකට වැටුණු අශ්ව සේනාවක් සේ දුවයද්දී ලෙයින් කිරෙන් උන් තැනූ තාත්තා අම්මා කොතැනකදැයි උන්ට මතකයක් නැත. අතට ගත් බත් කටත් තම කුසගින්න පසෙක තබා දරු පැටවුන්ගේ කුසගින්න නිවන්නට උන්ටම කැවූ අම්මාගේ දානපාරමිතා ගුණ උන්ට මතක නැත. නොඉල්ලා කිසිවක්ම බෝධි සත්ත්ව ගුණ පුරමින් ළය ලෙයක් කිරට පරිවර්තනය කළ අසමාන ස්නේහයක ඝනකම උන්ට මතක නැත. ආශා පූර්ණ ලෝකයක උන්ට තාත්තා වැගිරූ දහදිය සමුදුරක මුතු ගුණ මතක නැත.


එහෙත් එදවසකත් ඒ හදවත්හි ස්නේහය එලෙසමය...


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ... ස්නේහය අංශුමාත්‍රයක් හෝ දියවී ගියානම් සුදුහාමිනේයැයි අමතනු කෙලෙසද?


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ 

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ 

ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ 

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ 


දීග ගිය දියණිය දරු පිරිවරක් මැද යෙහෙන් කල් ගෙවයි. වියපත් මව් පිය ස්නේහය ඇගේ ජීවිත අභිලාෂ පරමාර්ථ අස දුහුවිල්ලක් වන්නට පුළුවන. පුතු බිරිඳත් සමඟ තවත් ජීවිතයක් සොයාගෙන ගියේය. ඒ ජීවිතයේද ඉඩහසරක් අම්මාටත් තාත්තාටත් හිමි නැත. ඉඳින් ජීවිතය හැර නොයන ජීවිතය අස නිති නැවතුණ සුමිතුරා තනිකමම පමණකි. විවාහයෙන් ඉනික්බිති දුවා දරුවන් මව්පිය ඇසුරෙන් දුරස්වීමට නන් විධ හේතු බලපාන්නට පුළුවන. සම්ප්‍රදායික නැන්දම්මා ලේලි ගැටුම් මෙන්ම දුවා දරුවන් පය ගසන වර්ණවත් ලෝකයට මව්පියන් වර්ණ වියැකී ගිය පෞරාණික භාණ්ඩයන් යැයි යන ආකල්පය තවත් හේතුවක් වෙන්නට පුළුවන.


ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ...

මේ ගී පදයේ පුතුගේ බිරිඳ අමතන්නේ ලේලිය යනුවෙනි. එහෙත් පුතු මගේ පුතුය. ලේලිය ලේලියක් නොවී දියණියක්ම  වුණානම් ඇයත් මගේ දුවක් වුණානම් වරෙක මේ තනිකම උරුම නොවන්නටද ඉඩ තිබුණි. විවිධ දිශානතීන් ඔස්සේ මේ ගීතයේ කියවෙන ගැඹුරු හා ඉතා සංවේදී මෙම මානුෂීය ගැටලුව විචාරයට ලක් කළ හැකිය.


මං විතරයි තනියම දැන් මගෙ නිවසේ..

දරුවන්ගේ තාත්තාත් නිවසේය. එහෙත් වදනක්වත් නොදොඩා මුනිවත රකින ඒ තාත්තා හුස්මක් වැටෙන හෙයින් ජීවත් වෙනවා පමණය. ඒ ජීවිතයට පෙර දවසක ජීවිතයක් රැගෙන ආ දරු පැටවුන් බොහෝ දුරකය. අනන්තයත් සැතපුමක් සේ දැනෙන තරමට අසංඛ්‍යාත්මක දුරකය. මවක් ලෙස ඇය විඳින කටුක හුදෙකලාව කෙතරම් වේදනාවක්දැයි යන්න ඒ ගී පදය මැනවින් දෙස් දෙයි.


උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන

කවදා දූ පුතුන් ඒදැයි බලාගෙන

වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන

මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන


සැන්දෑ සමය ජීවිත පරිච්ඡේදය වී හමාරය. ප්‍රාර්ථනා උඩු හුළඟ බොහෝ දුරකට රැගෙන ගොස් ඇත. මිනිසුන් ජීවත් කරවන්නේ ඉටු නොවුණු බලාපොරොත්තු සහ ප්‍රාර්ථනායැයි මට සිතේ. තාත්තාගේ නෙත සොයන එකම රුව දරුවන්ය. නෙතට සතුටක් සුවයක් සැනසිල්ලක් ගෙනෙන එකම රුව දරුවන්ගේ රුවය. සිත වියපත් වෙද්දී ඒ අම්මලා තාත්තලත් නොදැරුවන් සේ ආදරය අයදියි. රැකවරණය ආරක්ෂාව අයදියි. ලෙඩකට දුකකට බෙහෙතක් රැගෙන දෙන්නට කෑමට ප්‍රිය හොද්දක් බතක් හදා දෙන්නට අම්මේ තාත්තේ මතකද ඒ කාලේයැයි අසමින් තුරුලේ දැවටුණු යටගියාව සිහිපත් කරන්නට දුවා දරුවන් ඇවිත් යන්නට හෝ ඒයැයි සිතමින් අම්මලා තාත්තලා වියපත් දෑස් දල්වා බලා සිටිති.


වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන..


වේවැල් කැඩුණු පුටුව ඔවුන්ගේ ජීවිත වෙළාගත් දරිද්‍රතාවය කියාපාන සංකේතයක් වැන්න. තාත්තා ඒ වේවැල් කැඩුණු පුටුවේ වකගැසී නෙත ඉල්ලා හිඳින රුව දකිනු රිසින් පෙර මඟ  බලා සිටියි. තමන් තමන්ටම තුරුල් වන්නේ ජීවිතයේ අනේක අසරණකම් හිත කීතු කීතුවලට ඉරා පාරද්දීය.


මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන..


මහපොළොවක් සේ අකම්පාව සියල්ල දරාගත්තී ගැහැනියයි. ඇස් අග්ගිස්සට කාන්දු වෙන කඳුළද ඇය එලෙසින්ම දරා ගනියි. ඇස් පාමුල සැත්කම් කරන්නට නොදී ඒ කඳුළ ඇය දෑස් සීමාවේ රඳවා ගනියි. ඇගේ හඬන හදවත උදෙසා සාක්ෂි දරන්නේ දිලිසෙන දෙඇස පමණි.


දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි

මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමි

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී


කිරිකැටියන් දවස දරුවන් ඇඟලා ඇඳුම් පොඩිවල සුවඳ තවමත් එලෙසින්ම රුඳී ඇත .ඒ සුවඳ උන්ගේ කිරි සිනා බොළඳ තෙපුල් පිරි අතීත සුවඳ මතකය අබිමුවට කැඳවයි. මනසින් ඒ අතීත රස සුවඳ නෙක සිතුවම් චිත්‍රණය කරයි. ජීවමානව විඳින්නට සෙනෙහසක් අහිමි සඳ ඒ සුවඳ ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට හයියක් දෙයි. ජීවිතයේ ද්වාරය  මරණය කොයි මොහොතක හෝ පිළිගන්නට හදවත ලක ලෑස්ති වී හිඳියි. ඒ නියත දහමට අවසඟව යන්නට බැරි බව දනිතත් ඒ අවසන් නිමේෂයට පෙර සිත ඉල්ලන එක් පැතුමකි


ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී...

ඒ සෙනෙහස ඉන් එහා නිර්වචනය කරන්නට මා දුප්පත් වැඩියැයි මට හැඟේ.


(උපුටා ගැනීම - දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර / දේශය)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...