Thursday, July 9, 2020

ඔබ පෙම් කරනා ...

සුනිල් ආර්. ගමගේ මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් 1975 දී ලියවුනු මේ ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගයනා කරන ඉතා ප්‍රසිද්ධ ගීතයක්

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

ගීතයෙන් කියවෙන්නේ වචනවලින් තේරෙන අරුතෙන්ම පෙම්වතකු හැරගොස් තවකෙකු සමග කල්ගෙවන පෙම්වතියක් ගැන පෙම්වතාගේ විරහ වේදනාවයි. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි මේ පෙම්වතා ඔහුගේ මිත්‍රයෙක්. මිතුරා පාසල් යන සමයේ සිට ඇයට පෙම්බන්දා. නමුත් අවාසනාවකට මොවුන් දෙදෙනා විශ්වවිද්‍යාල දෙකකට තේරුණා. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි ඔවුන් නමින් කමල් සහ ස්වර්ණා නම් වේ. කමල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ස්වර්ණා කොළඹ විශ්වවිද්‍යාලයටත් තේරුණා. ඉන්පසු දෙදෙනාට හමුවීමට නොහැකි වුණා. කාලයක් ගතවෙනකොට පෙම්වතාට තේරුණා ඇයගේ වෙනස්කම්. ඇය ඇගේ විශ්වවිද්‍යාලයේ තවත් අයෙකු හා මිතුරුව සිටියා. කමල්න් බොහෝ අවස්ථාවන්හි කොළඹට පැමිණ ඒ වන විට රැකියාවෙහි නිරත සුනිල් සමග බස් රථයෙන් නිවෙස් බලා යාමට පුරුදුව සිටියා.

දිනක් ඔවුන් 120 බස් රථයක ගමන් කරමින් සිටින විට බසයට හදිස්සියේ ස්වර්ණා තව අලුත් පෙම්වතා සමග ගොඩ වුණා. ඔවුන් දුටු සුනිල් මහතා තම මිතුරාගෙන් ඒ බව විමසා සිටියා. තම මිත්‍රයා විඳින වේදනාව සුනිල් මහතා හොඳින් දුටුවා. ඔහු ඒ වේදනාව පද පෙළකට ගොනු කර ඇත.

මෙම ගීතය පළමුව ගායනා කරන්න නියමිතව තිබී ඇත්තේ සුනිල් එදිරිසිංහ මහතාටයි. නමුත් සුනිල් එදිරිසිංහ මහතාගේ අදහස වී ඇත්තේ එය ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කල යුතු බවයි. කපුගේ මහතාගේ කටහඬ වඩාත් හොඳින් අරුතට ගැලපෙන බවයි. පසුව පටිගත කිරීම සඳහා සුනිල් එදිරිසිංහ මහතා නොපැමිණීම හේතුවෙන් කපුගේ මහතා විසින් ගීතය ගායනා කර තිබෙනවා.



එදා මෙදා තුර කඳුලට විවරව ...

(සත්‍ය සිදුවීමක් පසුබිම කරගත් ගීයකි)

1975 වසරේ දවසක සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. එයාගේ නම විමල් ජයශාන්ත. තැපැල් ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව. මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවා නම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේදෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙන කොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා. මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට. ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා

මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා

දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින්
කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්

ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර.........

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ

ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.........



චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...

"චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ"

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධිය වසර ගණනාවක් ඔහුගේ හිතේ තියෙනවා,

පසුව ඔහුට කියවීමට ලැබෙනවා රුසියානු සාහිත්‍යයයේ දැවැන්තයකු වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ තානායම්කරු කියන කෙටිකතාව,තානායමක් කරන මහලු පියෙකු දොන්යා නම් දියනියක් රැකබලාගන්නවා නගරෙන් ආ සිටුවරයකු  සමග දියනිය පලායනවා  පියා දියනිය සොයා යනවා නමුත් දියනිය පෙන්වන්නෙවත් නැහැ සිටුවරයා සල්ලි මිටියක් විසිකරනවා පියා දෙසට සල්ලි පාගා දැමූ පියා මෙහෙම හිතනවා "නගරයෙන් එන ජේත්තුකාර තරුණයන්ට රැවටිලා පැනලායන ඉතිහාසෙ එකම කෙල්ල දොන්‍යා වෙන්න බෑ,ඉදිරියටත් එහෙමවෙයි,හැබැයි ඔව්න් අද හොදට සේද අදිනවා හෙට පාර අතුගානවා" මේ කතා දෙකම පදනම් කරගෙන ඔහු අතින් ගීතයකට පෙරලෙනවා.

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ හා රෝහන වීරසිංහගේ සංගීතය ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ



සරග මල ...

සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල
ළග මලබර වරල

වරල
වරල
වරල
වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත

තේරුම - සුවඳ මල් පැලඳි, මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.



Wednesday, July 8, 2020

පොල් රුප්පාවේ ...

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ// 
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ගායනය - චන්දන ලියනාරච්චි 
පදරචනය හා සංගීතය - විශාරද නිහාල් ගම්හේවා

ගම ලස්‌සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය. කඳුවැටි. නීල ගොයම. ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක්‌ තියෙනවා. ඒ ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.

ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය. ගැහැනු පිරිමි වෙනසක්‌ නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.

පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

මේ තරුණයාට ළමා කාලය සිහිපත් වෙනවා. පුංචි කාලේ ඇය සමග පොල්රුප්පාවේ දඟකරමින් සෙල්ලම් කළ හැටි ළමා සිත කෙමෙන් කෙමෙන් මෝරා වැඩෙද්දී ඇය කෙරෙහි උපන් සෙනෙහස ආදරයකට හැරෙනවා. ඒත් ඒ බව ඇය දන්නේ නැහැ. ඇයට නම් ඔහු කෙරෙහි තිබෙන්නේ එදා වගේම සහෝදර ප්‍රේමයක්‌. ඇය වෙනකකු සමග දීගෙක යන වෙලාවේ ඔහුට අතීතය සිහිපත් වෙනවා. ඇය යන්නේ මා අමතක කර දමලා..... ඈ කෙරෙහි මෙතෙක්‌ මා සිතෙහි තිබූ බැඳීම මායාවක්‌ද......? මගේ හදවතේ උපන් ආදර පැතුම් ගිනිගන්නවා වගේ.

මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, සෝමසිරි, ප්‍රින්ස්‌ උදය ඇතුළු යොවුන් ගී කණ්‌ඩායමට කාලාන්තරයක්‌ තිස්‌සේ ගී ලියූ ශිල්පියා.

ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක්‌ මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක්‌ ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක්‌ කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක්‌ මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක්‌ ලියලා චන්දනට දුන්නා.

කාලයක්‌ ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක්‌ කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක්‌ කළා.

රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
සවනේ වැකුණේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌ දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක්‌ අඳෝනාවක්‌ වගේ. කිසිම කන්කළු බවක්‌ දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක්‌ ගීයක්‌ විලසින්.

මේ ගීය මධ්‍යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්‍රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක්‌ ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක්‌ දැනෙන්න තිබුණා.

ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස්‌ වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා.

චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක්‌ තිබෙන ගායකයෙක්‌. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්‌බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා.



Tuesday, July 7, 2020

සිරියා මේ සාරා ...

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //

හෝ...

දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //

හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (Duniya Ke Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීතය අපි කවුරුත් එදා ඉඳන්ම ආදරය කරපු ගීතයක්. ලොකු කුඩා කාටත් කටපාඩම් වුණ, විනෝද වෙන අවස්ථාවකදී වුණත් නිරායාසයෙන්ම මුවගට නැගෙන මේ ගීතය එච්. ආර්. ජෝතිපාලයන් මුල්වරට සිනමාවට හඳුන්වාදුන් ගීතය බව ඔබ දැන සිටියා ද? නමුත් මේ ගීතය සුරතලී චිත්‍රපටියෙන් ඉවත්කරන්නට ගිය බවත් චිත්‍රපටි අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නයන් දැඩි ස්ථාවරයක ඉඳගෙන මේ ගීතය චිත්‍රපටියට ඇතුළත් කලබවත් ඒ නිසාම ජෝතිපාල කෙනෙක් අපිට උරුමවුණ බවත් ඔබ දැන සිටියා ද? බලමු මේ කතාව. මේ කතාව හම්බවුණේ අර්නස්ට් වඩුගේ මහතා රචනා කල අමරණී‍ය ජෝති යන කෘතියෙන්.

එච්. ආර්. ජෝතිපාලයන් ඒ වෙනකොට චිත්‍රපටි තුනක් එනම් පොඩිපුතා, මතභේදය සහ පෙරකදෝරු බෑණා යන චිත්‍රපටි තුනේම අවස්ථා ලැබුණත් යම් යම් හේතුන් මත ගිලීහී ගියා. ඉතාමත් කළකිරීමෙන් හිටපු ජෝතිපාලයන් ලිබර්ටි සිනමාහල වෙතට යනවා සිරිල් පී. අබේරත්නයන් හමුවන්නට. එතුමා යන්නේ ස්ටැන්ලි ඕමාර් සහ එම්. පී. ගැමුණු යන කලාකරුවන් දෙපල සමගයි. අබේරත්නයන් ජෝතිපාලයන් එතෙක් ගයා තිබූ ගී තැටි අසා "මම හුඟක්ම කැමතියි අළුත් අයට අත දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හෙටම එන්න" කියා කියනවා. ඒ වෙලාවේ තමයි ජෝතිපාලයන්ට දැනුණේ, තමන්ට සිනමාවේ දොරටු විවර වුණා කියලා. එතුමාව තෝරාගන්නේ චිත්‍රපටියේ නළු ආනන්ද ජයරත්නයන්ගේ පසුබිම් හඬට. ඉතින් සිරිල් පී. අබේරත්නයන්ට පුදුම ඉවක් තිබුණා ද කියලා හිතෙනවා ජෝතිපාලයන් ගැන එවන් සිනමාවේ ආරම්භක යුගයේ මෙවැනි තෝරාගැනීමක් බය නැතුව කරන්න.

ඉතින් ජෝතිපාලයන් කැටුව මේ පිරිස ඉන්දියාවේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරය වෙත යනවා මුලින්ම ගීත පටිගත කරන්න. මීට එකතුවෙනවා ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න (සිරිල් පී. අබේරත්න මහතාගේ දියණිය), අබේරත්න මහතාගේ බිරිඳ සහ පුතාත්. හැබැයි චිත්‍රපටියේ මේ ගීතය පටිගත කරන විටත් නැවතත් ප්‍රශ්නයක් ජෝතිපාලයන්ට පැන නගිනවා. එයට හේතුව ඒ චිත්‍රපටියේම එන "ප්‍රේමේ මෝරන කාලේ" ජී.එස්.බී.රාණි පෙරේරා / ධර්මදාස වල්පොල ගීතයට ජෝතිපාලයන්ට පොඩි කොටසක් ගයන්න තියෙනවා. ඒ කොටස ඇහුවායින් පස්සේ, චිත්‍රපටියේ කාර්මික අධ්‍යක්ෂ වූ ඉන්දීය ජාතික කේ. වෙම්බු නමැත්තා "අපෝ මෙයාට Screen Voice එකක් නැහැ. මෙයාව ගන්න එපා ෆිල්ම් එකට. එහෙම වුණොත් ෆිල්ම් එක සවුත්තු වෙනවා" යනුවෙන් පවසනවා.

දැන් අබේරත්න මහතා කල්පනා කරනවා මොකද කරන්නේ? අළුත් ගායකයෙක්ව තමුන් එක්කගෙන ආවා. මේ අතරේ මානසිකව වැටුණු ජෝතිපාලයන් අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණා අබේරත්නයන්ට සහ පුතණුවන්ට ඉතාමත් හැඬූ කඳුලෙන් කියා සිටිනවා "අයියෝ බබා. මට ආපහු ලංකාවට යන්න බැහැ. කොල්ලෝ මට ගල් ගහලා මරා දමාවි. මම බදුලු කෝච්චියට ගිහින් 'ටකස්' වෙනවා" යනුවෙන්. ඉතාමත් දුක හිතුණු ස්වර්ණා දියණිය තම මවට අබේරත්න මැතිණියට මේ ගැන පවසනවා. අවසානයේ දී අබේරත්න මහත්මිය තම සැමියාට පවසනවා, "වෙම්බු නෙමෙයි ලංකාවට යන්නේ. ඔයයි ෆිල්ම් එක අරගෙන ආපහු ලංකාවට යන්නේ. ඔයා වෙම්බුට අවනත වෙන්න එපා. එහෙම වුණොත් ඔයාට ජීවිතයකටත් වග කියන්න වෙයි. ඒ නිසා ඔය ළමයව නිකම්ම යවන්න එපා. ගීත දෙකක්වත් දෙන්න" කියා. සාමාන්‍යයෙන් අබේරත්න මහතා තම බිරිඳට ගරු කරන කෙනෙක්. ඒ නිසාම තමන්ගේ දැඩි ස්ථාවරය තබාගෙන කාර්මික අධ්‍යක්ෂකට යටත් නොවී අබේරත්නයන් චිත්‍රපටියේ මේ ගීතය සමග ගීත 4 ක්ම ජෝතිපාලයන්ට ලබාදෙනවා. 

ඉතින් මේ ගීතය චිත්‍රපටියට පෙර තැටිගත කරලා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ නිසාම ජෝතිපාලයන්ගේ හඬ ශ්‍රාවක අවධානයට යොමු වී තිබුණා. ඒ කාලයේ අද වගේ නෙමෙයි. චිත්‍රපටියට පෙර එහි ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ගීත පොත් පවා නිකුත් වෙනවා. ප්‍රේක්ෂක අවධානය ඒවාට යොමුකරලා තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නේ. එතකොට සිංදු හොඳ නම් ෆිල්ම් එක නැගලා යනවා. ගුවන්විදුලිය ඒ සඳහා මහඟු මෙහෙවරක් කලා. ගී තැටි සමාගමුත් ඒ සඳහා උදව් කලා. ඉතින් මේ ගීතයත් HMV (His Masters Voice) WN586 අංක දරණ ගීත තැටියේ (LP Record) තැටිගත වෙලා තියෙනවා. 

ඉතින් පොදුජන ගායකයා ලෙස විරුදාවලිය ලත් ජෝතිපාලයන්ට ඒ තත්ත්වෙට පත්වෙන්න සිරිල් පී. අබේරත්න මහතා ඇතුළු පවුලේ සැම කරපු උදව්ව ගැන අපි කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ට ගරු කල යුතුයි.

සුරතලී චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1958 සැප්තැම්බර් 19
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
කතාව හා දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - සිරිල් පී. අබේරත්න
කාර්මික අධ්‍යක්ෂණය - කේ. වෙම්බු (ඉන්දීය ජාතික)
නැටුම් - ශේෂා පලිහක්කාර සහ පිරිස
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය (මදුරාසිය)
ගීත සංඛ්‍යාව - 12

(මාධව විජේසේකර)



වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ...

තම පුතු විසින් සංගීතවත් කල ගීතයක් ගායනය කරන්නට ලැබෙන්නේ නම් මවකට එය මහත් භාග්‍යයක් නොවන්නේද. එමෙන්ම තම ස්වාමියා විසින් සංගීතවත් කල බොහෝ ගීතද ගායනා කරන්නට ඈ වාසනාවන්ත වූවාය.
නමුත් අපගේ අවාසනාවට අද ඈ අප අතර නැත. මාලනී බුලත්සිංහ ගුරු මෑණියනි ඔබ අපේ සිත් තුල සදා අමරණීයයි.......

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා

ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස් (ආදි ආනන්දියෙකි)

මේ ගීතය ලියැවෙන්නේ 99/ 2000 කාලයේදී. මෙය එක්වරම බිහිවුන ගීතයක් වන්නේ නෑ. මාලනිය තමාට ගීතයක් ලියාදෙනමෙන් විදුරගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇය ඔහුගේ දක්ෂතා පිලිබඳව වැටහීමක් තිබෙන නිසාවෙන්. ඔහු විසින් රචිත යුග ගීයක් මාලනියගේ සිත්බැඳ ගන්නා නිසා තමයි මාලනිය එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ. විදුර ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ මාලනිය නිකම් කියූ දෙයක් කියා සිතායි. නමුත් දෙතුන් වතාවක් ඔහුට මෙය කියන නිසාවෙන් ඔහුට මෙය සිදුකරන්නටම වෙනවා.

මාලිනී ඇන්ටි හමුවෙන ගාණෙම අහනවා සින්දුවක් ලිව්වද කියලා. මම 'ඔව්' ලියනවා කිය කියා හිටියා. ඔය අතරේ අපේ ගෙදර අය පදිංචිය වෙනස් කරනවා. තාත්තා වරායේ වැඩ කරන නිසා බ්ලූමැන්ඩල්වල වරාය නිවාසවලට එන්න වෙනවා. ඒ වෙනකොටත් මම ප්‍රේමයක පැටලිලා හිටිය නිසා මේ දුරස්වීම මට හොඳට දැනෙනවා. නිතර හමුවුණ එක නැති වෙනවා. ටෙලිෆෝන් තිබුණෙත් නැති නිසා ලියුම්වලින් විතරයි ගනුදෙනුව. මගේ ප්‍රේමවන්තිය දිග ලියුම් එවනවා මල් පෙති එහෙම දාලා. මම ලියුම් ලිව්වට දාන්න මට සල්ලි නෑ. ඒවා මගේ සාක්කුවෙම තියෙනවා. ඒ නිසා සිත් තැවුල් තිබුණා. ඔය කාලේ තමයි මාලනී ඇන්ටි සින්දුව ඉල්ලන්නේ. එයාට දෙන්න හිතාගෙන මම බර වචන දාලා සින්දුවක් ලියනවා.

මේ දළු ලෑ ඝනදුරට හොරෙන්
සඳ සුවඳ දැනේ නම්
නොමියේ මැයි සඳ සිසිල සිතින්
ගනදුරට බියයි මං . . .

මේක යුග ගීයක්. නමුත් මාලිනී ඇන්ටිගේ CD එකට ඒ වෙනකොටත් යුග ගී 2 ක් තිබුණ නිසා මට වෙන ගීතයක් ලියන්න වුණා. ඒක ලිව්වේ කසුන් කරපු melody එකට. කසුන් ගිටාර් එක play කරත්දි ඒ melody එකට මට ආව වචන ටික තමයි 'ගී පද කීමට මාල ගිරා' කියන වචන ටික. ගීතය ඉවර කරන්න මාසයක් විතර ගියා. කසුන් වරින් වර හදන melody එක මට දුරකථනයෙන් කියනවා. මම ඒක අහගෙන පද ලියනවා. ඒ කාලේ දුරකථන පහසුකම් නැති නිසා අල්ලපු ගෙදර දුරකථනයට තමයි කසුන් ජචතත දෙන්නේ.

දුරකථනයෙන් ගලා ආපු කසුන්ගේ melody එක විදුර ලිව්ව පද පේළි සුන්දර ගීතයක් නිර්මාණය කළා. මාලිනී බුලත්සිංහල කළ අවසන් සංයුක්ත තැටිය වුණ 'මොනාලිසා'ට එය ඇතුළත් වුණා.

ගීතය පටිගත කළ දවසේ මාලිනී බුලත්සිංහල විදුරට ද ආරාධනා කළා. අහම්බයකින් ඒ දිනය විදුරගේ උපන් දිනය වුණා.

'ඒ කාලේ ගීත රචකයෙකුට සින්දුවක් ලිව්වම රුපියල් 2000/- ක් දුන්නා. මාලිනී ඇන්ටි මට ඇඩ්වාන්ස් එකක් විදියට රුපියල් 1000/- ක් දුන්නා. ඒ ආසන්නයේම දිනක ඈ විදේශ සංචාරයකට පිටත්ව ගියා. ඒත් ඈ ආපසු ආවේ නෑ. ඊට පස්සේ මම කසුන්ට 'සොඳුරු සිතුවම්' ගීතය ලිව්වා. ඔහු ඒක ගායනා කළේ නිරංජලා මංජරීත් එක්ක.'

මාලිනී බුලත්සිංහලට සින්දු ලියන කොට ප්‍රේමයේ සිත් තැවුල් මැද සිටි විදුර සිය ප්‍රථම ප්‍රේමයම වූ ඇය අද ඔහුගේ ප්‍රිය බිරිය කරගෙන සිටී. ඇය සමිතාය. එසේම 'සිහෙල තෙසරණ' පුතුය. ඔවුන් සමඟ ආදරණීය ජීවිතයක් ගෙවමින් වර්තමානයේ බොහෝ පොත් දොරට වැඩීම්, ගී දොරට වැඩීම් ඔහුටම ආවේණික ගැඹුරු හඬ පෞරුෂයකින් ඉදිරිපත් කරමින් කලා ලොව දිගු ගමනක නියුතු වෙනවා.

(සරසවිය)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...