Sunday, July 12, 2020

දම් පාටින් ලා සඳ ...

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වෙන මොහොතක් නොහැගේ
දැසට ලංව තවත් මේ මොහොත
ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්

සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

දම් පාටින් ....

රැ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

දම් පාටින් ....

පදරචනය - ලූෂන් බුලත්සිංහල 
ගායනය - ගුණදාස කපුගේ හා මාලනී බුලත්සිංහල 
සංගීතය - ඔස්ටින් මුණසිංහ 

ලූෂන් බුලත්සිංහලයන්ගේ අත්දැකීමක් මෙම ගීතය රචනා කිරීමට ඔහුට පාදක වී ඇත. ඔහුට පාසැල් කාලයේ හමු වූ පෙම්වතියක් හිඳ ඇත. සරසවි වරම් හිමිවීමත් සමඟ බුලත්සිංහලයන් පේරාදෙණි සරසවියටත් පෙම්වතිය කොළඹ සරවියටත් ඇතුළු වී ඇත. යම් කාලයකට පසුව දෙදෙනා වෙසක් දවසක නිවාඩුවට කොළඹ පැමිණ පෙම්වතිය සමඟ වෙරළේ ඇවිදීමට යා ඇත. මෙසේ ඇවිද ගියත් දෙදෙනාටම එය රසවත් අත්දැකීමක් වී නැත. බුලත්සිංහලයන්ට මෙවිට ඇයගෙන් වෙන්වී යළි පේරාදෙණි සරවියට ගියා නම් හොදයි කියා සිති ඇත. මෙම මොහොත හා සිතිවිල්ල ගීතය රචනා කිරීමට නිමිත්ත වී ඇත. බුලත්සිංහලයන් පවසන අයුරින් ඔවුන් දෙදෙනාගේ සම්බන්දය පසුව අවසන් වී ඇත. නිමිත්ත මෙසේ වුවත් ගීතයෙන් නම් කියවෙන්නේ මීට වඩා සැහෙන වෙනස් පෙම් යුවලක පෙම් සම්බන්දතාවයක් ගැනයි.

මෙම ගීතයෙන් පෙම්වතුන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීමක අවසන් මොහොතේ සිදුවන සොඳුරු සංවාදයක් කියාපායි.

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි

පෙම්වතිය පෙම්වතාගෙන් අසනවා, හඳ බැසයන්නත් ලඟයි, ඒ අනුව අපගේ වෙන් වන මොහොතත් ලංවෙනවා, (මින් රචකයා ව්‍යංගාර්ථයෙන් පෙම්වතුන් රාත්‍රියේ හමුවී උදැසන වෙන්වන යුවලක් බව කියාපායි) ඒත් ඇයි කිසිවක් නොකියන්නේ.

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වෙන මොහොතක් නොහැගේ
දැසට ලංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්

දම් පාට සඳ වගේම ඔබේ මුහුණ පෙනෙනවා ඒ හින්දා වෙන් වෙලා යන්න නොහිතේ, මුහුණට "තවත්" ලංවෙලා (දැනටමත් ලංවී හිඳ තිබෙන්නේ) ඇස දෙක දිහා බලාගෙන දැහනට සමවැද මෙන් ගොළුවී ඉන්නෙමි යයි පෙම්වතා පිළිතුරු දේ. මෙහදී මුහුණ "දම්" පාට සඳකට උපමා කර ඇත්තේ, සඳ බැසයන මොහොත අඳුරු මොහොත මෙන් පෙම්වතියගේ මුහුණද දුකබරව අඳුරු වී තිබු නිසා විය හැක. පෙම්වතාගේ "ගොළුවී" හිදිම පෙම්වතියගේ මුහුණේ ලස්සන හින්දා හෝ බොහෝදුරට පෙම්වතියගේ දුක්බර මුහුණ දැක පෙම්වතාගේ හද නැගුණ ශෝකය නිසා හෝ විය හැක.

සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //

බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

පළමුව පෙම්වතිය පෙම්වතාගේ ඇසුර නොමැතිව තමන්ගේ දවල් කාලය දැරිය නොහැකි පාලුවෙන් ගතවී යන අයුරු විස්තර කරයි. හිරුගේ ආලෝකයෙන් ඇඳුන සෙවනැළි මැකී දහවල් ආලෝකය තුරන් වී රාත්‍රිය උදා වීමට පෙම්වතියට දරා ගන්න බැරි තරම් කාලයක් ගතවන බැවින් තනිය මකාගන්නට ගෙයි බිත්ති පුරා පෙම්වතාගේ සෙවනැළි ඇඳ (බොහෝදුරට සිතේ අඳි රූ විය හැක) ඒ දෙස බලා ඉන්න බව දුක්බර ලෙස හෙළිකරයි.

රැ කල දිගුවේ නම් ලා සඳ නොමකේ නම් //

නෙළුම් පතක රැදී පිනි බින්දුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

පෙම්වතා ඊට මෙසේ පිළිතුරු දෙනවා. එක තමයි, රැ කාලය තව දිගු වී ලා සඳ අහසේ මැකෙන්නේ නැතිව දිගටම පායා තියෙනවනම්, ඔබගේ සුවපහසු පපු තලයට හිසතියාගෙන ඉන්න තිබ්බානේ. මෙහිදී රචකයා මෙම හිස තබා හිදිම නෙළුම් පත්‍රයක රැදී පිණි බිදුවකට සමාන කර තිබෙනවා. මෙහිදී රචකයා උපමාවෙන්, පිණි බින්දු හිරු නැගෙන විට නැති වන්නා සේ හිස තබා හිදිමත් හිරු නැගෙන විට අවසන් වන බව හැගවිම හෝ පෙම්වතියගේ පපු තලය නෙළුම් පත්‍රයටද තමාගේ හිස පිණි බින්දුවට සාමාන කලා විය හැක.

මෙම ගීතය පළමු වරට ගායනා කර ඇත්තේ ඔස්ටින් මුණසිංහ සමග අනුලා බුලත්සිංහලයි.



උලලේනෝ..

“පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.. ”

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි..

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත..

උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය තුල පැවතිනි.සමස්තයක් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් කතා තුල ඇතුලත්.

කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.

පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..

කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.. උලලේනාගේ හඬේ ඇති දුක්කිත බව නිසා අ තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඳීම නවත්වන ලෙස..

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...

ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින අපහසු තාවයයි.. වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....

සිදු වූ සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි. තමා අවබෝධ කර ගත් දුක ඔහු උලලේනාටද කියා දෙයි.
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත. එවැනි අරගලයකදී වියෝගයන් ඇතිවන බව ඔහු නොදැන සිටියා නොවේ.. මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් දැක්ම පමණි.. ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා උලලෙනාට පවසයි..

ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි.. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ..කියායි..
ගීතයේ ප්‍රස්තුතය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත..

මෙම ගීතයේ අවසානයේ දී රණබෙර හඬක් ඇතුලත් කර ඇති අතර ඒ තුලින් නැවත වරක් මෙම තරුණ කැරැල්ල ඉස්මතු විය හැකි බවට ගීත රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශ කර ඇත. ඒ වගේම ඔහු පැවසු පරිදි ඊට වසර 17 කට පසු 88-89 වසර වලදී නැවත වරක් මෙම තරුණ කැරැල්ල ඉස්මතු විය. ගීත රච්කයාගේ අත්දැකීම්, පරිණත භාවය, අනාගතය දැකීම ඉතා මැනෙවින් පසක් වෙයි.

ගායනය : ගුණදාස කපුගේ
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


කන්ද කෙන්ද කරනු පිනිස ...

කන්ද කෙන්ද කරනු පිනිස

ගායනය - මාලනී බුලත්සිංහල 
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - එච්.එම්.ජයවර්ධන 


මාලනී බුලත්සිංහල මහත්මිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරිය වෙලා හිටිය කාලයක්.. මේ ඉන්න අතරේ එයා එක ශිෂ්‍යවකට ගොඩක් ලෙන්ගතු වෙනව.. කොච්චර හිතවත් වෙනවද කීවොත් මේ ශිෂ්‍යාවගෙ ගෙදර අය එක්කත් සමීප ඇසුරක් පවත්වනව.. ඉතින් මේ නිසාම මේ ශිෂ්‍යාවට සංගිතයෙන් ඉදිරියට යන්න මාලනී බුලත්සිංහල මහත්මිය ගොඩක් උදවු කලාලු....

මේ ශිෂ්‍යාවගේ අම්මගෙ ප්‍රසංගයක් තිබිල . ඒකෙ නිවේදන කටයුතු වලට මාලනී මහත්මියගේ මිතුරෙකු උන ප්‍රේම කිර්ති ද අල්විස් මහත්මයව කතා කරල දුන්නලු.. ඒ වගේ මේ ශිෂ්‍යාවටත් ගෙදර අයටත් මාලනී මහත්මිය උදව් කරල තියනව.... කාලය එසේ ගෙවී යද්දී දිනක් මාලනී බුලත්සිංහලයන්ට දුර බැහැර ප්‍රසංගයකට ආරාධනා ලැබුනා. ඇය අදාල ස්ථානයට ලගාවන විට බොහෝ රෑ බෝවී තිබුනා වගේම විශාල ගායක ගායිකාවන් පිරිසක්ද ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා පැමිණ සිටියා.

අධික ගායක ගායිකාවන් පිරිසක් සිටි බැවින් සහ බොහෝ දුර බැහැර සිට පැමිණිමට ප්‍රමාදවීම නිසා කාල වේලාව ගොස් තිබු බැවින් ඇයට ගායනා කිරීමට අවස්ථාව ලැබී තිබුනේ ටිකක් පහුවෙන්නටය. ඇයට පෙර ගායනා කිරීමට විශාල පිරිසක් සිටියා . එහෙත් ගමන් තෙහෙට්ටුවත් සමග ඒතරම් කාල වේලාවක් රැදී සිටීමට අපහසු බව දැනුනා. එබැවින් ඇය සංවිධායකයන් සමග කතාකර අසනීප නිසා ඉක්මනින් ගීත ගායනා කර පිටවී යෑමට අවස්ථාවක් ඉල්ලා සිටියා .

මුලින් ගීත ගායනා කිරීමට අංක ලබාගත් පිරිසක් ලැයිස්තුවේ සිටින බැවින් ඒ අය කැමතිනම් පමණක් ස්ථානය මාරු කරගත හැකි බැව් සංවිධායකයන් ඇයට පවසා සිටියා. මුලින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාසිටි පිරිසේ නාමලේඛනය පරික්ෂා කරමින් සිටි බුලත්සිංහලයන්ගේ මුහුණේ එක වරම සිහින් සිනහවක් රැදුනා , එයට හේතුව ආනන්ද බාලිකාවේ සිටි කාලයේ ඇගෙන් සංගීතය ඉගෙනගත් ශිෂ්‍යාවගේ නාමයද ඒ අතර තිබීමයි .

බුලත්සිංහලයන්ගේ පැරණි ශිෂ්‍යාවකව සිටි ගායිකාව සොයා ගියේ ඇගෙන් ඒ සුළු උපකාරය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවුයේ ඈ කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්නම් නොවේ. ඈ අවසථාව ලබාදීම ප්‍රතික්ෂේප කළා පමණක්ම නොව . මේ සිටින්නේ තමන්ට සංගීතය ඉගැන්වූ ගුරුවරිය යැයි කියාවත් තැකීමක් කලේ නැත. ඇයව ගනනකටවත් ගත්තේද නැත. එතැනින් ජවනිකාව අවසානවුයේ නම් ඒද කම් නැත ඇගේ අහංකාර දෙමාපියන්ගේ ඇනුම්පද ඇසීමටද මාලනී බුලත්සිංහල මහත්මියට සිදුවිය.

ඒවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවූ එතුමියට ඒ සිද්දිය නිසා ඇතිවුයේ දැඩි සිත් රිදිමකි කනගාටුවකි,. එයද දරාගෙන තවත් හෝරා කිහිපයක් රැදී සිට අවස්ථාව පැමිණි පසු ඇයද ගී ගායනා කර පිටවිය. පසු දිනක තම මිතුරා වන ප්‍රේමකිර්ති මහතා හමු වූ අවස්තාවක මේ සිද්ධිය ඇය සිත් තැවුලෙන් යුතුව පවසනවා.. ප්‍රේමකීර්ති මහතා කොලයක් පෑනක් අරගෙන පුංචි පද හතරක් ලියනව.. ලියල මාලනී මහත්මිය අතට දෙනව. ඒකෙ මෙහෙම සදහන් වෙනව.. ‍

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

තමන් සතු වටිනාම දෙය තම ශිෂ්‍යන්ට දීල .. එයාලගෙ දියුනුව බලන් ඉන්නව.. හරිම සතුටින්.. මේ ශිල්ප ගත්ත අය හොද අය වුනත් නැති වුනත් ඇයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. හැමදේම සතුටින් විද ගන්නව..

ගහේ පිපුන මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

මතක තියා ගමු . මල මතක නම් කවදාවත් වැටෙන්නෙ නෑ අපි.. මොන ප්‍රස්නෙට මූන දෙන්න උනත් හයිය අපිට තියනව.. මට ගරු කරපු අය කළ ගුණ සලකපු අයට වරදින්නෙ නෑ. .එයාල සමාජයෙ වැදගත් ලෙස පිලී ගනී. එත් අනික් අය සමාජය විසින්ම නැති කරල දාවි...

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි 
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී 
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී 
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී.



කැරකෙන රෝදේ...

කැරකෙන රෝදේ...ගීතය ලිව්වට ගුවන් විදුලි සංස්ථාවෙන් මට රුපියල් තිහක් ගෙව්වා....ඒ 1973 අවුරුද්දෙ ...

එහෙම කිව්වෙ මේ ගීතයේ ගේයපද රචකයා සිරිල් සමරකෝන් මහත්මයා...
මම 1972 ලංගම පත්වීම ලැබිලා මුලින්ම වැඩකලේ 134 - ගල්කිස්ස -  අංගොඩ පාරේ..දවසක් පිටකොටුවේ  කාර්මික  විද්‍යාලෙ හරියෙන් බස් එක යනකොට  විනාඩියකට වගේ බස් එක නැවැත්තුවා.එතකොට වැඩියෙන්ම තිබුනෙ ඩබල් ඩෙකර් බස්........ මම වැඩ කලේ උඩ තට්⁣ටුවෙ.පහල කොටසෙත් කොන්දොස්තර කෙනෙක් හිටියා.. ඒ නවත්තපු වෙලාවෙ මම දැක්ක උඩ ජනේලෙකින් ඒ කාර්මික  විද්‍යාල ඉස්සරහ පොඩි ලෑලි තට්ටුවකට රෝද හයි කරපු කරත්තයක මනුස්සයෙක්  ඉදගෙන ඉන්නවා...ඔහු ආබාධිත පුද්ගලයෙක්..කැඩුණ කුඩ දෙක තුනක්... සපත්තු කීපයක් තව පොඩි පොඩි ආම්පන්න  ටිකකුත් ඒක උඩ තිබුණා......සංවේදී ම දර්ශනේ තමයි ඒක තල්ලු කලේ අවුරුදු  දොළහක විතර පොඩි පිරිමි ලමයක්..ඒ දෙන්නත් එතන නැවතිලා හිට්යෙ..තාත්තයි පුතයි වෙන්න ඇති...ටික වෙලාවකින් අර වැඩිහිටි මනුස්සයා ඔලුව වනලා යන්...කියල අර දරුවට කිව්වා...... දරුවා අර කරත්තෙ තල්ලු කරන් යන්න පටන් ගත්තා. .......... .
මට ඒ සිද්ධියට පපුව පිච්චිලා යනවා වගේ දැනුනා..මට ගෙදර මතක් උනා ..අම්මා අප්පච්චි  මතක් උනා..මම නිකමට වගේ අතේ තිබුණ බස් ටිකට් අමුණල තිබ්බ කාඩ්බෝඩ් කෑල්ලෙ..
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
 ඉදගෙන මම ඉන්නෙ....
පදික වේදිකා පසුකර යන්නට
 තල්ලු කරන් පුතුනේ කියල  ලිව්ව..ඒක නිකංම ලියවුණේ..එදා ලිව්වෙ එච්චරයි. ඉතුරු ටික පස්සෙ දවසක ලිව්වෙ...

මම රත්මලානෙ ඩිපෝවෙ හිටියෙ ඒ දවස්වල..එහෙ නිතරම රේඩියෝව  දාලා තියෙන්නෙ.. . දවසක් ඒකෙ කිව්වා ගීත බැංකුවට අලුත් පදමාලා ගන්නවා.. එවන්න කියල..මමත් වැඩිය හිතුවෙ නෑ මේ ගීතය තැපැල් කලා..අවුුරුද්දක් විතර ගියාම මට ලිපියක් එවලා තිබුණා. ඔබේ ගීතය තෝරා ගත්තා.. අහවල් දවසෙ පටිගත කරනවා සහභාගි වෙන්න  එන්න කියලා..මමත් ගියා ඉතිං..ගීතය සංගීතවත් කලේ කලනි පෙරේරා... සරල ගී වැඩසටහනකට ගායනා කලේ එවකට නැගී එන ගායන ශිල්පියෙක් වුණ එඩ්වඩ් ජයකොඩි මහත්තයා. 

ඒ...ගේය පදරචකයාගේ...මතකය... 

කැරකෙන රෝදේ...පුංචි කරත්තේ..
ඉදගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...  //

කැඩුන පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා..
අදුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු  කරන් පුතුනේ .....//

කැරකෙන රෝදේ ...

කිරිකැටි දෙඅතේ සවිබල දියවේ
පමා උනොත් අප මහමග තනිවේ.. 
අම්මා  මග ඇති නෙත් දල්වාගෙන
තල්ලු  කරන් පුතුනේ ....//

පදරචනය  සිරිල් සමරකෝන් 
සංගීතය - කළණි පෙරේරා 
ගායනය - එඩ්වඩ් ජයකොඩි



රෑ දුරු රට මේ ...

කොතරම් හිත මිතුරන් සිටියත්, මව්බිමෙන් දුර බැහැර ඉන්නා සෑම විටම ආදරය නැති අඩුපාඩුව මහා තනිකමක් සේ දැනෙන වග රටින් දුර බැහැර සිටින සැවොම පිළිගන්නවා ඇත…

රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….

රෑ දුරු රට මේ…

ගායනය - පණ්ඩිත් අමරදේව 
පදරචනය - අජන්තා රණසිංහ 
සංගීතය - සරත් දිසානායක 

දුරබැහැර සිටිනා විටෙක මේ ගීතය තරම් හිතට කාවදිනා ගීතයක් සොයාගැනීමට අපහසුය.

ක්ෂිතිජය දක්වා දිවෙන නොනිමි නිදිවර්ජිත කල්පනා දුරස් වූ පෙම්වතුන් සැමට උරුම වූවකි… බොහෝමයක් දෙනා මේ කල්පනා ලොව තනිවන්නේ නිදියහනේදීය..

අවසන් දසුන සැමදා පෙම්වතුන් මතකයේ රැඳේ.. නිදි වර්ජිතව බොහෝදෙනා ආවර්ජනය කරන්නේ ඒ සුන්දර දසුන් කිහිපයයි.. අතිනත පටලා සිටි ඒ පෙම් රැහැන, සිහින තොටුපලේදී වෙන්වී ගිය අයුර පෙම්වතුන් නිබඳවම සිහි කරති. මෙහිදී සිහින තොටුපල කියා හැඳින්වූයේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ ගැනෙන ‘ගුවන් තොටුපල’ විය යුතුය. මෙය ඉතා අගනා යෙදුමක් බව හැඟීමයි.. බොහෝමයක් පෙම්වතුන් සිය ප්‍රියයන්ගේන් වෙන්වී දුරබැහැර යන්නේ සිහින සැබෑ කරගැනීමටයි. ඒ සිහින සහ ආදරය වෙන්කරන තොටුපල සිහින තොටුපලයි.

පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. මේ දෙදෙනාටම නොදෙවනි වන සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයට මනා සාධාරණයක් ඉටුකරයි. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සංගීතය ගීයේ අරුත ඔපදමන්නට සමත්වී ඇත.



සාගර තරංගා ...

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් 

මේ ගයන්නේ ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන් 
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

ගායනය - ජගත් වික්‍රමසිංහ
පදරචනය - රොඩ්නි විදානපතිරණ
සංගීතය - සුනිල් ධර්මසේන

මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.

ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා. පසුව ජගත් වික්‍රමසිංහයන් විසින් ගායනා කරන ගීතය ජනප්‍රිය වුණා.    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා....

ඒ නිසා ටෙලිනාට්‍යයේ අවසානයට ඉතිරිවුනේ මේ අලංකාර ගීතය පමණයි. ඇත්තටම ජගත් වික්‍රමසිංහ මේ ගීය ගැයුවාට සාගර තරංගා ටෙලිනාට්‍යයේ අඩංගු ගීතය යුග ගීතයක්. මරියසෙල් ගුණතිලක සමගින් ජගත් වික්‍රමසිංහ තමා මේ ගීතය ගායනා කරන්නෙ. ටෙලි නාට්‍යය ගෙතුනෙත් සුසීමා වගේම සංගීත කණ්ඩායමක් වටා  පසුබිම් කරගෙන. මේ ගීතයේ රූප රාමු තුල රගපෑවේ ජගත් වික්‍රමසිංහ සමගින් නිල්මිණි තෙන්නකෝන්... නිල්මිනී තෙන්නකෝන් වෙනුවෙන් මරියසෙල් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කලා.

රතුරෝස, සුසීමා, සාගර තරංගා වගේ ටෙලි නාට්‍යය 90 දශකයේ රසිකයන්ට අලංකාර ගීත රැසක්ම තිලිණ කරන්න සමත් උනා.



නීල බිඟු කැල ...

නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...

මාරුතේ මතුරා යතේ
සුරඹුන් නැඟූ මුකුළූ
මාවතේ අතුරා ඇතේ 
සුරඹුන් නෙළූ කැකුළූ
සුරඹුන් නෙළූ කැකුළූ...

ජීවිතේ කිරි සාගරේ 
කලඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී
සඟවා නොයන් සොඳූරී...

ගායනය - වික්ටර් රත්නායක 
පදරචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - වික්ටර් රත්නායක 

මේ ගීතය ඇතුළත් වූයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කල රජගෙදර පරෙවියෝ චිත්‍රපටියේ. ඒ සඳහා මේ ගීතය නිර්මාණය වූ කතාව හරි අපූරුයි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළු නිළි දෙපළ වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සහ නීටා ප්‍රනාන්දු මහත්මිය රඟන දර්ශනයක් සඳහා ගීතයක් ඇතුළත් කරන්නට සතිස්චන්ද්‍රයන්ට අවශ්‍යව තිබුණා. ඒ සඳහා තම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණයට යොදාගෙන සිටි වික්ටර් රත්නායකයන්ගෙන් එතුමා ඇසුවා "කාට ද මේ ගීතය ලියන්න දෙන්නේ?කියලා. රත්නායකන්ගේ එකම පිළිතුර වූයේ "කේ. ඩී.කේ. ට දෙමු" යන්නයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අය පවා සිටිය දී එතුමාටම මේ ගීතය රචනා කරන්නට දීම එතුමා කල පද රචනාව මගින්ම ඉතා සාධාරණයක්ව තිබෙනවා. ඉන්පසු සතිස්චන්ද්‍රයන්ම යෝජනා කරනවා ගීතයට තරමක රිද්මයානුකූල තනුවක් නිර්මාණය වෙනවා නම් හොඳයි කියලා.

ඉතින් ගීතයට මුලින් රත්නායකයන් අතින් තනුවක් හැදුණා. ඊට පස්සේ දවසක් රත්නායකයන් ගුවන්විදුලි සංස්ථාවේ ආපන ශාලාවට ගිහින් මේසයට තට්ටු කරන ගමන්, මුමුණමින් මේ ගීතයට පද මාලාවක් කේ.ඩී.කේ. අතින් ලියවෙනවා. ඉන්පසු එදාම හවස සතිස්චන්ද්‍රයන් හමුවට දෙදෙනාම ගොස් මේ ගීතය ඉදිරිපත් කලවිට එය එකහෙලාම අනුමත වෙනවා.

පසුකාලීනව ගාමිණී ෆොන්සෙකා මහතා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට කියා තිබෙනවා එතුමා පවා මේ ගීතයට දැඩි සේ ඇලුම් කරන වග.

නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා

තාමරස කියන්නේ නෙළුම් වලට. මී මැස්සො රංචුවක් ජලාශයක පිපිලා දිලෙන නෙළුම් මල් පේළියකට වහ වැටිලා දැවැටි-දැවැටී හෙමි හෙමින් ඉගිල්ලෙන හැටි.

මේ දෙවෙනි පෙළ. හංසයෝ විලක සරද්දී, බොහෝම ආදරෙන්... හිමින් සීරුවේ, උන්ගෙ රන්වන් පාට හොටවල තුඩුවලින් නෙළුම් කැකුළු පාරනවා. මත් වෙලා වගේ.අඩ සිහියෙන් වගේ. මෝහනයෙන්.  මේක බොහෝම ශෲංගාරය දනවන කතාවක්. සසඟයකට 
පෙර කාමී ස්නේහවන්තයෙක් හුදෙකලාවේ සුන්දර ප්‍රියාවියට තුරුල් වෙලා ඒ මිහිරාවියගේ කැකුළු පියයුරු හෙමිහිට පිරිමදිමින් ඇගේ කාමෝද්දීපනය කරන ආකාරයට.

නිල් පාට මී මැස්සො කොහෙද ඉන්නේ? නිල් වරලසක් කාටද තියෙන්නේ? ඒත් කවි ලියද්දි අපේ කවියන් කළු පැහැය නිලක් විදියට දැක්කා. තද නීල වර්ණයක්. ඕවා කවි සමයේ ගොඩක් තියෙනවා. 

මාරුතේ මතුරා යතේ - සුරන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ - සුරඹුන් නෙලූ කැකුළු... 

සුළඟෙන් නැඟෙන ශබ්දය සුරඟනන් නඟන මුකුළු මතුර මතුරා යන ආකාරයට විස්තර කර ඇත. ඒ මාවතේ සුරඟනන් විසින් නෙලන ලද මල් අතුරා ඇති බව රචකයා විසින් පවසා ඇත. එතැන තියෙන්නේ නිශ්ශංඛමල්ල රජ්ජුරුවන්ට අත පය හතරම නැති කොටෙක් ශ්‍රීපාදය සොයා දුන් කතාවෙන් කෑල්ලක්.

ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා පුරා සඟවා නොයන් සොඳුරී.... 

සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ කිරිමුහුද කළඹාලා අමෘතය සොයාගත් බව. මේ පද වල ජීවිතය නැමති කිරිසාගරේ කළඹා දිනාගත් ලඳ කිඳුරියක් ලෙස විග්‍රහ කර ඇත. මිවිත සොරාගෙන ගිය සුරයන් ලෙස සඟවා නොයන ලෙස ඉල්ලීමක් කරයි. 

මෙම පදරචනය සඳහා අපුරු සාහිත්‍යයේ කතාවක් පදනම් වී ඇත.
ඔන්න ඈත- ඈත කාලෙක සුරයොයි අසුරයොයි අතරේ යුද්ධයක් තිබුණාලු. 

ඉතිං මෙතැනදී අපූරු යෝජනාවක් ගෙනැත්. "අපි අමෘතය බීලා අමරණීය වෙලා යුද්ධ කරමු. එතකොට කවුරුවත් මැරෙන්නේ නෑනේ. යෝජනාවට දෙපැත්තෙන්ම කාගෙන්වත්ම විරුද්ධයක් ආවේ නෑ. 

එතකොට අමෘතය තිබුණේ කිරි සාගරේ පතුලේ. ඒක උඩට එන්න නම් සයුර කලම්බවන්න ඕනේ.ඔන්න බොහෝම අසීරුවෙන් ඕනෙ කරන ආම්පන්න ටික එකතු-පහදු කරගත්තා. පත්තට ගත්තේ මහාමේරු පරුවතේ. ඊළඟට මේ පත්ත හොඳට කරකැවෙන්න නම් දිග ලණුවක් පටලවලා දෙපැත්තේ අය දෙපැත්තෙන් ඉඳලා එහාට-මෙහාට අදින්න ඕනේ. ඒ රැහැනට ඉන්න වාසුකී නාග රාජයා මනාපේ දුන්නා.

ඔන්න දැන් මහාමේරු පත්තේ වාසුකී නාරජ රැහැන වෙළලා කට්ටි දෙක දෙපැත්තට යනවා. 

කට්ට විෂ්ණු දෙයියෝ කල් ඇතිවම සුරයන්ට කියලා තිබුණා අසුරයොන්ට නයාගේ කට පැත්ත දෙන්නැයි කියලා. මොට්ට අසුරයොත් දුරදිග නොහිතා ඒ ලණුව කෑවා. 
දැන් දෙගොල්ලෝ දෙපැත්තෙන් අල්ලාගෙන රැහැන එහාට-මෙහාට අදිනවා. කිරි සාගරෙත් කැළඹිලා සුළියක් හැදෙනවා, මෙන්න. නා රජ්ජුරුවන්ගේ හොඳ පණ ගිහිල්ලා, දන්නෙම නැතිව කට ඇරිලා 
විෂ දුම් පිටවෙන්න ගත්තා. එදා ඒවා වැදුණු නිසා තමයි තාමත් 
අසුරයෝ සුරයන්ට වඩා පාටෙන් අඩු. ඔය අතරේ කිරි සාගරේ සුළියක් හැදුණා. ඒකෙන් මහාර්ඝ වස්තු 14 ක් උඩට මතුවෙලා ආවාලු. 

1.ලක්ෂ්මී දෙවඟන
2.කෞස්තුභ පාෂාණය
3.පාරිජාතක වෘක්ෂය
4.සුරාව
5.ධන්වන්තරී
6.චන්ද්‍රයා
7. කාමදායක ගවයෝ
8. එෛරාවණ හස්තියා
9.රම්භා ඇතුළු දෙවඟනන්
10.සප්තමුඛ අශ්වයා
11.කාලකූට විෂ
12.විෂ්ණුගේ දුන්න
13.ශංඛය
14.අමෘතය

මේ දේවල් සුරයන් විසින් රැඟෙන ගියාලූ.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...