Tuesday, October 6, 2020

ඇති දේ ඇති සැටියෙන් ...

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ //


පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ


පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ

දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ //


ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ


ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ

දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ //


සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..


ගායනය - ලක්ෂ්මන් විජේසේකර

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - වසන්ත කුමාර කොබවක


”ඇති දේ ලොව ඇති සැටියෙන්” ගීතය පිළිබඳව වසන්ත කුමාර කොබවක අදහස් දක්වමින්....

මම හැත්තෑව දශකයේ තමයි ගුවන්විදුලි ගීත රචනයට පෙළඹුනේ. ඉතිං ඒ කාලේ අපි ආධුනිකයෝ විදියට ගුවන් විදුලියට යනවා එනවා. ඒ කාලේ මට ජ්‍යෙෂ්ඨයින්, උගතුන් රාශියක් මුණ ගැහෙනවා. ඒ අතරින් පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන ජ්‍යෙෂ්ඨ ගීත රචකයට මම ඉතාමත්ම ආදරය වුණේ නිවේදන හැකියාව, මාධ්‍යවේදියෙක් හැටියට සහ ගීත රචනා ලෝකයේදී අමුතුම ආකාරයේ ප‍්‍රස්තුත තෝරාගෙන කටයුතු කිරීම, මටත් ආභාසයක් ලබා ගන්න පුළුවන් වූ රචකයෙක් සහ ශරීරයෙන් ඉතා කුඩා වුණාට ලියූ දේ ඉතාමත්ම ප‍්‍රබල කෙනෙක් වූ නිසා. ඔහු ඒ දවස්වල අපිව දැක්කහම හිනාවෙලා කොහොමද මල්ලි කියාගෙන යනවා. දවසක් මට මතකයි කව්රුහරි මාව ඔහුට අඳුන්වලා දුන්නහම එතුමා ”හොඳට ලියාපන්” කියන එක විතරයි කිව්වේ. එදා ඒ වචනය මට විවරණ දුන්නා වගේ. 

මෙහෙම කාලයක් ගත වෙද්දී එක දවසක උදේ මම මගේ අලූත් වෘත්තියට, රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තියට යන්න ලෑස්ති වෙනකොට, ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරවාරයේ කිව්වා නාඳුනන තුවක්කුකරුවකු විසින් පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාව ඝාතනය කරලා කියලා. පළවෙනි දවස නිසා එදා මං වෘත්තියට යන්න ඕන හින්දා ගියත් මං හැකි ඉක්මනින්ම ඇවිල්ලා හෝමාගම කටුවාන පාරේ පේ‍්‍රමකීර්ති අයියගේ ගෙදර හොයාගෙන ගියා. ප‍්‍රවීණයෝ ගණනාවක් ඇවිත් තිබුණා. ඒ කාලේ භීෂණය කියන එක තිබිච්ච මහ භයානක කාලයක්. එදා පේ‍්‍රමකීර්ති මහත්මයාගේ ආදාහනය අවසන් වුණාට පස්සේ මට මහා තනිකමක් වගේ දෙයක් දැනුනා. හරියට අපිට හිටිය පවුලේ ජ්‍යෙෂ්ඨ සොහොයුරෙක් නැතිවුණා වගේ. 

ඒ වගේම සිද්ධියක් වුණා අපි හුඟක් ආදරය කරපු විජය කුමාරතුංග රංගධරයා ගේ වියෝ වීම. මට මතකයි කොළඹ මහා දිග පෝලිම් තිබුණා එතුමාට අන්තිම ආචාරය දක්වන්න. එතුමා එක්ක මට කතා කරන්න හම්බවෙලා තියෙන්නේ එකම එක වතාවයි. මේ සිද්ධි දෙකම මට හරියට බලපෑවා, අපේ කලා ක්ෂේත‍්‍රයන් බොහොම සුවඳවත් කරන්න හිරු සඳු වගේ එහෙම නැත්නම් මල් වගේ ඉන්න හොඳ මිනිසුන් නේද මේ අපේ ලෝකෙන් උදුරා ගන්නේ කියලා. ඔය සංසිද්ධීන් ඔහොම හිතේ තිබෙද්දී දවසක් ලක්ෂ්මන් විජේසේකර මට කිව්වා එයා වැඩිපුරම ගායනා කරලා තියෙන්නේ පේ‍්‍රම ගීත නිසා වෙනත් ගීතයක් ලියන්න කියලා. ලක්ෂ්මන් විජේසේකරගේ ඇරයුමත් එක්ක මගේ හිතේ කැකෑරෙමින් තිබ්බ ඒ ශෝකය පාළුව සහ ඒ වියෝවීම් පිළිබඳ සිතුවිලි තමයි පද මාලාවක් විදිහට ලියවුණේ. මේ ගීතය ලිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. රෝහණ හොඳටම දන්නවා සමාජ යථාර්ථය පිළිබඳව ලියැවෙන ගීවලට තනු යෙදීමේදී ගීතයේ ආත්මය හොඳට විග‍්‍රහ කරලා තේරුම් අරගෙන තනු නිර්මාණය කරන්න. 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා)




Wednesday, September 30, 2020

ශිල්ප සොඳින් දැනගන්න ...

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ 

යහතින්දෝ කොළොම්පුරේ

ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට

නුඹ නැති හන්දා මං තනියේ //


හැන්දෑ අවරට දැක්කද නංගෝ

තුරුළු වෙලා ඉන්නා ජෝඩූ

රංචු මිසක තනියෙන්ම නොයන්නේ

ඒ නුවරට උඹ කිරිකෝඩූ


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . .


නාමල් සුවඳක් පෙරදා වාගේ

අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ

නාමල් සුවඳට බඹරු ඇදේදෝ

මගතොට නුඹ යනෙනා වාරේ


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ 


ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - වසන්ත කුමාර කොබවක 

සංගීතය - වික්ටර් රත්නායක 


ශිල්ප සොඳින් ගීතය ලියවුනේ කෙසේද යන්න වසන්ත කුමාර කොබවක පැහැදිලි කරමින්....

මං ඔය කිව්ව ගමේ මතකය වගේම සරසවියේදී මං දකිනවා තවත් පේ‍්‍රම වෘතාන්ත. මගේ මිතුරෙක්, මිතුරු වෙනවා කලා පීඨයේ සොයුරියක් එක්ක. නමුත් අපි දැනගන්නවා ඇයගේ පෙම්වතා ගමේ ඉන්නේ කියලා. දෙන්නම කියන්නේ මේක මිතුරුකමක් කියලා. මිතුරුකමට එහා ගිය පේ‍්‍රමයක් දළුලන බව අපට පෙනුනා. ගමේ පෙම්වතා එනවා සමහර නිවාඩු දවස්වල ඇය හම්බවෙන්න. අර මගේ මිත‍්‍රයා බොහොම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ ගමේ පෙම්වතාට නොදැනෙන්න. නමුත් කාලයක් යද්දී මේ දෙන්න ගේ පේ‍්‍රමය දියුණුවෙලා අර ගමේ පේ‍්‍රමය නැතිවෙලා යනවා. ඔය සංසිද්ධිය තමයි ශිල්ප සොඳින් දැනගන්න ගිහිං ගීතයට ප‍්‍රස්තුත වුණ කාරණාව. 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා)





Tuesday, September 29, 2020

උන්මාදිනී හැන්ගුනා...

උන්මාදිනී හැන්ගුනා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


මල්මී සුගන්ධේ නැලැවී වෙලී

මල් වැල් ගොතන්නී වෘන්දා වනේ...

නිල් විල් තලාවේ කිමිදී මිදී

කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


ගෝපීලියන් හා යමුනා තෙරේ...

අවුදින් මුලා වූ රාධා මගේ...

වස්සානයේ ආ මේ කුළුවලින්

සන්තාපයේ ලා පොද වෑහුනේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


උන්මාදිනී හැංඟුණා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


පදරචනය - නිලාර් එම්. කාසිම් 

ගායනය - භාතිය හා සන්තුෂ් 

සංගීතය - භාතිය සන්තුෂ් 


ජනප‍්‍රිය ගායකයින් වන භාතිය සහ සංතුෂ් වරක් සඳහන් කරලා තිබුණා ඔබේ ගී පද රචනා නිසා ඔවුන්ගේ ගීතවලට සාහිත්‍යමය අගයක් එකතු කරන්න හැකියාවක් ලැබුණා කියලා? 

නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින් "මම ගීත රචනා කලාවේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගත කරලා, ඒ කියන්නේ මගේ ගීත ගණනාවක් සහෘදයෝ වැළඳගෙන ඉන්න කාල වකවානුවේ තරුණයෝ දෙන්නෙක් ආවා මාව මුණගැහෙන්න. ඇවිල්ලා කිව්වා මගෙත් එක්ක කතා කරන්න ඕන කියලා. ඒ තරුණයෝ දෙන්නා තමයි භාතිය සහ සංතුෂ්. එතකොට එයාල ගේ ”තාරුණ්‍යයේ” මුල්ම ගී එකතුව නිකුත් වෙලා. මම ඒ වෙද්දී විචාරයක් ලියලා තිබුණා ඒ සංයුක්ත තැටියේ අඩංගු ගීත දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා. ඒවායේ සාහිත්‍යයක් නෑ, ගීතමය ලක්ෂණ නෙමෙයි තියෙන්නේ කියන කාරණා ගැන මම බරපතළ විවේචනයක් ඉදිරිපත් කළා. හැබැයි මේ තරුණයෝ දෙන්නා අතිශය දක්ෂතාවලින් පිරිපුන් අය; ඔවුන් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා තමයි මම ඒ විචාරය ඉවර කළේ. ඔවුන් එය කියවලා තිබුණා. පසුව ඔවුන් මාව හම්බවෙලා දීර්ඝ කතා බහක අවසානයේ කිව්වා ‘අයියේ ඔයා කියපු දේ අපිට තියෙනවා, අපිට හොඳ පද රචනා ලැබෙනවා නම් කැමතියි, අපි අයියත් එක්ක වැඩ කරන්න කැමතියි’ කියලා. එදා ඒගොල්ලෝ මට පූර්ව තනුවක් දීලා කිව්වා අයියේ මේකට සිංදුවක් ලියන්න පුළුවන්ද කියලා. මං කිව්වා ගීතය පිළිබඳ මගේ ස්ථාවරයක් තියෙනවා, ඒ තැන ඉඳන් මම ලියන්නම්, ඕගොල්ලන්ගේ මුලින් ගීත එකතුව තියෙන මට්ටමේ නෙමෙයි හැබැයි, ඔයාලා ඒ ස්ථාවරයට එන්න එකඟයි නං අපි වැඩ කරමු කියලා. ඔවුන් ඊට නිහතමානීව එකඟ වුණා. ඒ තනුව ඇහෙනකොට මට යම් යම් කර්ණාටක සහ ඒ සංගීතමය නාද රටාවල තියෙන යම් යම් ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇහුණා. ඉතිං භාරතීය සමාජීය අත්දැකීමක් මේකෙන් ප‍්‍රකාශ වුණොත් හොඳයි කියලා තමයි මම ‘උන්මාදිනි හැංගුනා’ ගීතය ලිව්වේ. 

රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ගැන එවකටත් බොහෝ ගීත තිබුණා නේද? 

ඔව්. රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ආශ‍්‍රිතව ගීත ගණනාවක් ඒ වෙනකොට සිංහලෙන් ප‍්‍රකාශ වෙලා තිබුණා. හැබැයි ඒ බොහෝ ගීත රාධා විසින් ක‍්‍රිෂ්ණා ආමන්ත‍්‍රණය කරන ගීත. මේකේ තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ක‍්‍රිෂ්ණා රාධාට ආමන්ත‍්‍රණය කරනවා. ඒකෙදි මම ලියපු වචන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මෙතෙක් ගායනා කරපු භාෂාව නෙවෙයි. පැරණි සාහිත්‍ය තුළ එන යෙදුම් එක්ක තමයි ගීත ගෝවින්දයේ ආභාසයෙන් මේක ලිව්වේ. ගීතය ලිව්වට පසු එක වචනයක් පිළිබඳවත් ඒගොල්ලෝ කිසිම ප‍්‍රශ්නාර්ථයක් මතු කළේ නැහැ. ඉතාම කැමැත්තෙන් ගායනා කළා. ඒ ගීතය අතිශයින්ම ජන ප‍්‍රසාදයට පත්වුණා. ඒ වෙනකොට ඔවුන්ට ලොකු දෝෂාරෝපණයක් එල්ල වෙලා තිබුණා සිරි සඟ බෝධි මාළිගාවේදී කියන නූර්ති ගීතය රැුප් කරලා ගායනා කිරීම පිළිබඳ. හැබැයි මේ සියල්ලම යටපත් වෙලා මේ ගීතය එක්ක භාතියලා අලූත් පේ‍්‍රක්ෂක පිරිසක් දිනා ගත්තා. ගීතය ජනප‍්‍රිය වෙනවත් එක්කම දෝෂ දර්ශනයට ලක් වෙනවා වෙනුවට ඔවුන්ට ආශීර්වාද කරන්න පටන් ගත්තා. මේ ගීතයෙන් පස්සේ භාතිය සහ සංතුෂ් මාත් එක්ක බොහෝ නිර්මාණවලට එළඹෙනවා. චාන්දනී පායලා, කිරි කෝඩු හිතට, හිත නාඹර තාලෙට, යාල් පනමේ පිපිච්ච, දේදුන්න සේදී, මීදුම උතුරන, මීදුමෙන් වැසී, වලාකුල් වියන් තනාලා වැනි චිත‍්‍රපට ගීත සහ වෙනත් ගීත රාශියක් මාත් එක්ක කරන්න පටන් ගත්තා. ඒ තුළ ඔවුන්ගේ ගමන් මගට සාහිත්‍යමය වටිනාකමක් මගෙන් එකතු වුණා කියන එක ඔවුන් ඉතාම නිර්ලෝභීව සහ නිහතමානීව අදටත් ප‍්‍රකාශ කරනවා. මම පුද්ගලිකව සතුටු වෙනවා විශාල රසික පරම්පරාවක් ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් බලවේගයක් වෙච්ච භාතිය සහ සන්තුෂ්ගේ කට හඬට මගේ වචන වලින් සාහිත්‍යමය අගයක් ලබා දෙන්න හැකිවීම ගැන. උන්මාදිනි හැංගුනා ගීතයේ පටන් ඔවුන් සහ මා අතර එදා ඒ ඇතිවෙච්ච සබැඳියාව මේ දක්වා අතිශය සහෝදරාත්මකව සහ ලෙන්ගතුව පවතිනවා. අපි අදටත් එකට වැඩ කරනවා. නිර්මාණකරණයේ යෙදෙනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)









වියෝ වූ පසුවයි ...

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්..

හැඩූදා කඳුලයි දකින්නේ

සිනාවේ සරදම්...//


ඉවුරු දෑලේ හිද බැලූ විට

ගඟ හැඩයි කදිමයි..

දියට වන් විට එවන් ගගුලම

බිහිසුනුයි චණ්ඩයි..


වියෝ වූ පසුවයි...


හඳක් නැති දා අහස් තලයට

තරුව දෙයි සැනසුම්..

පුන් පොහෝදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්..


වියෝ වූ පසුවයි...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - රෝහණ වීරසිංහ


"වියෝ වූ පසුවයි" ගීතයට සම්බන්ධ පසුබිම බන්දුල නානායක්කාරවසම් මහතා විස්තර කරමින්..

මම රිච්මන්ඩ් එකේ අවුරුදු එකොළහමාරක් ඉඳලා අවුරුදු එක හමාරක් මට දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න වුණා. ඒක මගේ විශාල ජීවිත පරිවර්තනයක් වුණා. විජිතේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක වෙනකං මං ආවා ඉතා කෙටි කලකින්. ලංකාවේ ප‍්‍රථමයා වුණා රචනා තරගවල. සාහිත්‍ය තරගවල. විජිතේ පුදුම සමගියක් තිබුණා. හැබැයි වියෝ වූ පසුවයි කියන්නේ මගේ අත්දැකීමකට වැඩිය අද ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, විජිතෙට ගියාම මට හම්බවුණ රැග් එකෙන් මාව බේරගත්ත මගේ මිතුරකු ගේ අත්දැකීමක්.

මගේ ඒ මිත‍්‍රයාගේ විශාල පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා පන්තියේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යාව එක්ක. ඒ පේ‍්‍රමය කොච්චර ද කියනවා නං මගේ යාළුවා රස්සාවකට ගියා උසස් පෙළ අතහැරලා දාලා ඈ වෙනුවෙන්. ඈට උගන්වන්න. නමුත් ඇය ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේදී මගේ මිතුරාට කියනවා තවත් විශ්වවිද්‍යාලයට එන්න එපා ඇයව බලන්න කියලා. ඒක මහ විශාල කම්පනයක්. දවසක් ඔහු ගාල්ලේ අපේ ගෙදරට ආවා. මට නිකං දැනුනේ ඔහු ජීවිතේ නැතිකරගන්න හදන තත්ත්වෙක හිටියා කියලා. එතකොට මං අපේ ගෙදර පිටිපස්සේ කුඹුරු යායකට මුහුණලා මිදුලේ පුටුවක් තියාගෙන ලිය ලිය හිටියේ. එතකොට සිකුරු තරුව පායාලා තිබුණා මගේ මිතුරා මේ කතාව කියද්දී. අම්මා තේ, හකුරු ගෙනාවා. මේ සිකුරු තරුව අහසට හඳ ආවම පේන්නේ නෑ. මගේ මිත‍්‍රයට වුණෙත් ඒකයි. මගේ මිත‍්‍රයාගේ දරා ගත නොහැකි පේ‍්‍රම සම්බන්ධය තමයි වියෝ වූ පසුවයි ගීතයට ප‍්‍රස්තුතය වුණේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




සඳ දිය දෙවුන සේ ...

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...

නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...

හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


නෑබුල් පැතුම් අහසට නැග රහසේම...

දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...

දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..


ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..

සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..

මට අත වනාපන් නළියන නළ සේම..


ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස් / මාලිනී බුලත්සිංහල 

පදරචනය - නිලාර් එම්. කාසිම්

සංගීතය - සමන්ත පෙරේරා 

”සඳ දිය දෙව්න සේ සිනහව පිපුනාම” ඔබේ මුල් යුගයේ රචනා වූ අදටත් ජනතා ආදරයට පාත‍්‍ර වූ ගීතයක්? නිලාර් එම්. කාසිම් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්....... 

විහඟ ගීතය ලියපු කාල පරිච්ඡේදයේදි තමයි මේ ගීතයත් ලියවෙන්නේ. අසංග ප‍්‍රියමන්ත ගේ ගී එකතුවකට මේ ගීතය සහ පැහැසර අරුණක කියන ගීත ද්විත්වයම එකවර තමයි ලබා දෙන්නේ. 

මම සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් එන කෙනෙක්. නමුත් සිංහල සමාජය හෝ සිංහල සංස්කෘතිය කවදාවත් මට ආගන්තුක වුණේ නැහැ. කවදාවත් මගේ හිතේ ජාතිවාදය හෝ ආගම් වාදය හෝ ඒ ගෝත‍්‍රවාදී හැඟීම් තිබුණේ නැහැ. එවන් ඕනෑම ආකාරයක අන්තවාදයක් පිළිබඳ මා තුළ තියෙන්නේ පිළිකුල් සහගත විරෝධයක්. එතකොට මම මේ ගීතය තුළ මතු කරන්නේ ජාති කුල ආගම් පටු මතවාද දෑ කුල සිරිත් අභියෝගයක් වුණා කියලා හුදෙක් අඬා වැලපිලා ඒ හමුවේ පරාජය වීම විතරක්ද පේ‍්‍රමයකට කරන්න තියෙන්නේ. පේ‍්‍රමය ඊට වඩා උත්කෘෂ්ට වෙන්නේ නැද්ද කියන කාරණාව. මේ ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ සමන්ත පෙරේරා. ඒ කාලේ ඔහුත් ආධුනිකයි. මමත් ආධුනිකයි. නමුත් ආධුනික නිර්මාණ ශිල්පීන් විදිහට අපි එකතුවෙලා කරපු ඒ නිර්මාණ කටයුත්ත අතිශය සාර්ථකත්වයට පත්වුණා. මාලිනී බුලත්සිංහල සහ අසංග ප‍්‍රියමන්ත පීරිස් ගේ කට හඬින් ඒක ජීවමාන වීම තුළ මං හිතන්නේ අදටත් එදා වගේම මේ ගීතය ජනප‍්‍රියයි.


(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)




Wednesday, September 23, 2020

හිම ‍රේණු වැටෙනා ...

හිම ‍රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


මධු පානයක් සේ වෑහිලා

යනවා ද දෙතොලේ ගෑවිලා

මනමාලයන්ගේ චේතනා

නොකියා ද පාලා සිනා


හිම රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


මුතු මාලයක් සේ යාවුණේ

අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ

මනමාලියන්ගේ චේතනා

පවසාවි දෑසේ ලතා


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


හිම රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


ගයනය - ග්‍රේෂන් ආනන්ද සමග ලතා වල්පොල

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

තනුව හා සංගීතය - සරත් දසනායක

"ආත්මා" චිත්‍රපටියෙන්

”හිම රේණු වැටෙනා සීතලේ” ගීතය බිහිවීම පිළිබඳව එහි පදරචනය කළ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අදහස් දක්වමින්....

සරත්ගේ දසනායකයන් සංගීතය සැපයූ "ආත්මා" චිත‍්‍රපටයට ගේ‍්‍රෂන් ආනන්ද සමග ලතා වල්පොල මහත්මිය ගීතය ගායනා කළේ. සරත් දසනායකයන් මං මේ සිංදුව ලියන වෙලාවේ මට කිව්වා "මචං කෙල්ලෙක්ගෙ කනේ තියෙන තෝඩුවකට නිය පිටින් පහරක් ගැහුවොත් සද්දයක් ඇති වෙනවනේ, අන්න ඒක ඔලූවේ තියාගෙන මේක ලියපන්, මෙන්න මේ ටියුන් එක ඇතුලේ" කියලා. එහෙම තමයි ඒක ලිව්වේ. අනිත් එක පෙම්වතා සහ පෙම්වතිය දෙන්නා කසාද බැඳලා මධු සමයට යන අතරමග පසුබිමින් තමයි මේක අහන්නේ කියලා.

ඔය සිංදුව පටිගත කරපු දවසේ ලතා අක්කාට සරත් දසනායකයන් කිව්වා ලතා අක්කා එච්චර කෙල්ල වෙන්න ඕන නෑ කියලා. එහෙම කිව්වේ ලතා අක්කා ඒ තරම් හොඳට ගායනා කළ නිසා. මර්වින් පෙරේරා ගේ‍්‍රෂන්ට කිව්වේ සරත් දසනායකගේ කැලෑ මල කියලා. ගේ‍්‍රෂන්ව ගායකයෙක් ලෙස ඉස්සරහට ගත්තේ සරත් දසනායකයන් නිසා.


(උපුටා ගැනීමකි)




Tuesday, September 22, 2020

පියමං කෙරුවෙමු ...

පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්….

පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//


නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි…….

කෝල හැගුම් කෙළි කවට සිනාවයි…..//

මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි……

මගේ දෑස තුල යළිත් ඇදේවිද……..//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්…..

පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද……//

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපා වාරු නැත ඔබ හැර යන්නට…….//


නෙත කදුළින් හසකැනින් මුවා කල…..

සොදුරු පැතුම් පුරවා මන මත් කල…..//

මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි…..

මා හැදු පාසල් මවුනි දයාදර……//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්……

පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……..

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු…….

දෙපා වාරු නැත ඔබ හැර යන්නට……//


ගායනය - සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව   

පදරචනය - සෝමතිලක ජයමහ  

සංගීතය - සෝමතිලක ජයමහ  

මෙම ගීතයට පසුබිම සෝමතිලක ජයමහ මහතා විස්තර කරමින් "මා ඉතාමත් සරල සංසිද්ධීන් ගීතය සඳහා භාවිත කළා. ඔබට දැනෙන්නේ මේ සරලකම මත රචනා වීම නිසා විය යුතුයි."

මා පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්. මගේ කාර්යාලයේ ඇතැම් නිලධාරීන් පාසල් ළමුන්ගේ විභාග කටයුතු සඳහා රාජකාරියේ යෙදෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ විභාග කටයුතු වලට ගිය නිලධාරියෙක් මට ඇවිත් කිව්වා විභාගයේ අන්තිම දවසේ ළමයෙක් පන්තියේ කළු ලෑල්ලේ මේ වදන් පෙළ ලියලා තිබුණා කියලා.

මොකක්ද ඒ වදන් පෙළ

දෙපා වාරු නැත ඔබ හැර යන්නට’

මේ වචන පෙළ ඔබ තුළ කම්පනයක් ඇති කළා?

කම්පනයක් ඇති කළා ද කියන්නෙ! පාසල් එන අන්තිම දවසේ පාසලෙන් සදහටම නික්මෙන්න තිබෙන අන්තිම නිමේෂයේ මේ දරුවා තුළ ඇතිවුණ සංවේදනාව. පාසල් ගිය සෑම කෙනෙක් තුළම හට ගන්නක් නොවෙයිද?

ඔබ මේ සංවේදනාව ගීතයක් බවට පත් කරනවා?

ඔව්! පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්... ගීතය බිහිවන්නේ එදා ඒ වචන පෙළින් මා තුළ ඇති කළ කම්පනයයි.






නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...