Wednesday, July 22, 2020

පියුමෙහි පැණි බොති වන බමරූ ...

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

කුසගිණි හැදුනට ඉඳුල් නොකවු
තණ කොළ නුබුදිති සිංහ පැටවු ...//

හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නොදමයි රන් බඳුනේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා ...//

සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳී ගිරවියගෙ කරේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

කරුණාරත්න අබේසේකර මහතා විසින් "පියුමෙහි පැණි බොති’ ගීතය රචනා කළේ 1965 වසරේදී තිරගත වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන්. ඒත් ඒ ගීතය එම චිත්‍රපටයට යොදා ගැනුණේ නැහැ.

මෙම ගීතය සී.ටී. ප්‍රනාන්දු මහතාගේ  අනන්‍යතා ගීතය ලෙස බොහෝ දෙනා හඳුන්වති.  මේ ගීතය සී.ටී. ගේද කැමතිම ගීතය විය. මේ නිසා ඔහු තම නිවස “වන බඹරෝ” ලෙස නම් කළේය. 

"පියුමෙහි පැණි බොති වන බඹරු’ කියන ගීතය කොපි කරමින් බහමාස්වල සංගීත කණ්ඩායමක් විසින් ද ගීතයක් නිර්මාණය කර ඇත.

සී. ටී. ප්‍රනාන්දුගේ හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලන්ඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කර ඇත. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ප්‍රනාන්දුය. 1969 ජූනි 24 වැනි දා ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඊට පසුදා සී.ටී. හා පැට්රික් දෙනිපිටිය බී.බී.සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකටද සහභාගී වී ඇත. එදා එම පිළිසඳර මෙහෙයවා ඇත්තේ එවක බී.බී.සී. සන්දේශයේ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසිනි.

මෙම ගීතයට සංගීතය සැපයූ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ සිංහල ගීතයට මුසු කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඔහු අතින් ඉටු වී තිබේ. සී.ටී. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ පැට්රික් දෙණිපිටියයි. (හෙළජාතික අභිමානේ, පියුමෙහි පැණිබොති, මා බාලකාලේ, සඳවට රන්තරු, අවදිවන්න අවදිවන්න ඇතුළු ගීත 18ක) මේ සෑම ගීතයකටම පාහේ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ මුසු කර ඇත.

සුනිල් සාන්තයන්ගේ ශිෂ්‍යයකු වූ පැට්රික් දෙණිපිටිය තමා සංගීත සංයෝජනය කළ ගීත රාශියකට විවිධ අයුරින් ගිටාරය යොදාගෙන ඇත. සිංහල සංගීතයට හවායන් (Hawaiian) ගිටාරය හඳුන්වා දී තිබුණේ පැට්රික් දෙණිපිටියයි. 







Tuesday, July 21, 2020

මේ නගරය ...

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා 
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා 
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා.

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්‌
තනුව හා ගායනය - මර්වින් පෙරේරා

සරසවියේ ගෙවෙන ජීවිතය කටුකයි තමයි. ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම්

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක්‌ නැහැ. හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි...

පේරාදෙණිය සරසවිය... හන්තාන කඳුපෙළ... සරසවි පෙම්වතුන්ට නම් ආදරයෙන් වෙළී ඉන්න කියාපු බිමක්‌. හිතේ තියෙන ආදරය මේ සොබා සුන්දරත්වය නිසා තව තවත් වැඩිවෙනවා. හන්තාන කඳුපෙළ හරහා හමා එන සිහිල් සුළං රැල්ල උණුසුම සොයා මේ පෙම්වතුන් එකිනෙකා තුරුළුකරනවා. සරසවි බිමේ එක්‌වන මේ සෑම ප්‍රේමාතුරයෙක්‌ගෙම ආදරය විවාහයෙන් කෙළවර වෙනවා නම්... ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ... ඔවුන්ගේ ආදරය සරසවි බිමටම විතරක්‌ සීමා වෙනවා.

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

ආදරය කළ දෙදෙනෙක්‌ එකට හමුවූ නගරය අවසන මේ දෙදෙනාම වෙන්ව ගියෙත් මේ නගරයෙදිමයි. අපේ ආදරණීය ගායකයා මර්වින් පෙරේරාගේ ගැයුම් පද පෙළ එකට ඇමිණුවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌. සොඳුරු ගීත රචකයා. මෙහි තනුවත් මර්වින්ගේ. ගී පද මාලා ගැන තනුව ගැන ගායනය ගැන... අහන්න අද අප අතර මේ ශිල්පීන් දෙදෙනාම නැහැ... වටිනා නිර්මාණ රැසක්‌ අපට ඉතිරිකර ඔවුන් අප අතැර ගොසින්. ප්‍රේමකීර්ති මේ ලියා තිබෙන්නේ සරසවි ප්‍රේමයක්‌ ගැන බවට සැකයක්‌ නැහැ..

වැව් ඉවුරේ දියරළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා

එදා හමුවී යළි වෙන්වී ගිය නගරයට මේ පෙම්වතා යළි එනවා. එදා වගේමයි වැව් ඉවුරේ දියරළ අදත් බිඳෙනවා. නුග ගස්‌ හෙවණේ එදා අපි දැත් පටලාගෙන ඇවිද ගියා... අද අපි නැතත් මේ නුගගස්‌ පෙළ දලුලමින් වැඩෙනවා. කඳුරැල්ලට එපිටින් එදා වගේම අදත් සරසවි බිම පෙනෙනවා. අපි දෙදෙනා වෙනස්‌ වුණත් ඒවා වෙනස්‌වෙලා නැහැ. මේ අතීත සැමරුම් දකිද්දී මට ආයෙත් ඔබ සමගින් ඒ බිමට යන්න හිතෙනවා...

මේ පෙම්වතා අතීතය ස්‌මරණය කරනවා. ඒ ඔවුන් කලක්‌ ආදරයෙන් හමුවූ ඇවිද ගිය තැන් වසර ගණනාවකට පසු යළි දකිද්දී...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා

ඔහු එදා ඇය අත අල්ලාගෙන ඇවිද ගිය වීදි දිගේ අද යන්නේ ප්‍රිය බිරිය සමගින්. අද ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යන්නේ පුංචි පුතා ඒත් ඔහුට සිහිපත් වෙනවා එකල කළ ප්‍රාර්ථනාවන්... ඒවා සිහිපත් වෙද්දි මුළු ජීවිතයම හීනයක්‌ කියලයි හිතෙන්නේ...

ජනප්‍රිය ගීයක්‌.. කාගෙත් මුවග රැව්දෙන කව්රුත් ආශාවෙන් මුමුණන පද පෙළක්‌ යොවුන් වියේදී හමුවූ පෙම්වතියක්‌ ගැන ඇය හා ආදරය කළ ආකාරය සැමියෙක්‌, පියෙක්‌ වූ පසු සිතන ආකාරය කෙතරම් චමත්කාරද?

(උපුටා ගැනීම - අජිත් අලහකෝන් දිවයින)



Monday, July 20, 2020

හදේ කොතැනක හෝ හිඳී ඔබ ...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින් ...//

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද,
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කුමාරදාස සපුතන්ත්‍රි මහතා අදහස් දක්වමින් සුනිල් එදිරිසිංහයන් ගයන ගීතයක් තියෙනවා ”හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්” කියලා. මේ ගීතයට පසුබිම් වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්. තරුණ කාලේදී මම හිටියේ කිරිබත්ගොඩ මගේ ඥාති ගෙදරක. ඒ ඉන්න කාලේදී අසල්වාසී ගෑනු ළමයෙක් එක්ක මගේ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිවුණා. මගේ පළවෙනි පේ‍්‍රමය ඒ. ඉතාමත් සුන්දර විදිහට ඒ අතීතය ගෙවුණා. ඇයගෙයි මගෙයි පේ‍්‍රමය අවුරුදු හතරක් පහක් විතර තිබුණා. ඔය කාලේදී 71 කැරැල්ල මතු වුණා. කොහොම හරි මටත් නොදැනුවත්වම මගේ පේ‍්‍රමයට වඩා මාව යොමුවුණා මේ විප්ලවීය කටයුත්තට. ඒකෙන් ඉගෙනීමේ කටයුතුත් හුඟක් දුරට අඩාල වෙලා, මම ඒ දේශපාලනේ ප‍්‍රබල සාමාජිකයෙක් වෙලා කැලේ පැනගෙන හිටියා. ඒ ඉන්නකොටත් මේ ගෑනු ළමයා මං ගැන හරියට හොයලා තිබුණා. පස්සේ ඔක්කොම ඉවරවෙලා හරි අමාරුවෙන් මං පණ බේරාගෙන ආපහු කිරිබත්ගොඩට ආවාට පස්සේ ඇය මුණගැහිලා කතා බහ කළා. එතකොට මේ ගෑනු ළමයාගේ දෙමව්පියෝ මේ දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක ප‍්‍රබලයින්. ඒ නිසාම මගේ සම්බන්ධතාවයට ඒගොල්ලෝ දැඩි සේ විරුද්ධ වුණා. 

හදිසියේ දවසක අපි මුණගැහුණා. මුණ ගැහිලා මුහුදු වෙරළකට ගිහිල්ලා කතා බහ කරලා එදා අපේ සම්බන්ධතාවය නැවතුණා. නමුත් එයා මාව දාලා ගියා කියන එක දැඩි වේදනාවක් වුණා. ඒ වේදනාවෙන් මම දැඩි සේ මුසපත් වෙලා ගීත ගොඩක් ලිව්වා. මේ ගීතය වුණත් හුඟක් දුරට ඒ පසුබිමේ තමයි කරුණු කාරණා ගොනු වුණේ.
 
එවකට හිතුනේ නැද්ද ඒ දේශපාලන ප‍්‍රතිපත්තිය ඈත් කරලා ප‍්‍රථම පේ‍්‍රමයට ඉඩ දෙන්න?
 
එහෙම හිතුනේ නෑනේ එවේලේ. හැබැයි මම ඇයට කිව්වා තව ටිකක් ඉවසන්න කියලා. ඒ වෙද්දී ඇයට වෙනත් යෝජනා ගෙනවිත් තිබුණා. පසු කාලයේදී ඇය හිත හදාගෙන තිබුණා. ඒකෙන් තමයි අපේ සම්බන්ධය නැවතුනේ.
 
ඇය නිසා ඔබ ගීත රචනා කළ බව ඇය දන්නවද?
 
ඇය දන්නවා. ඇයගේ සහෝදරයෝ බොහොම ලෙන්ගතුව කතා බහ කරනවා. ඇය පසුව විවාහ වෙලා දරුවෝ දෙතුන් දෙනෙක් එක්ක හොඳින් ජීවත් වෙනවා. මමත් අවුරුදු ගාණකට පස්සේ විවාහවෙලා. මටත් දරු දෙන්නෙක් ඉන්නවා. 71, 88, 89 මේ කාලය පහුවෙලා තමයි මමත් වෙනස් වුණේ.

(උපුටා ගැනීම - දිවයින)



පොඩි දුවගේ සිනා වැලයි ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අදහස් දක්වමින් "ඊළඟට මං කැමතියි කතා කරන්න ”පොඩි පුතුගේ සිනා වැලයි” කියන ගීතය ගැන.

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

පොඩි දුවගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//

පොඩි දුවගේ...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගීපද - සුනිල් ආරියරත්න
 
ඔබ අවිවාහකයි. නමුත් මේ ගීතයේ විවාහයේ සුන්දරත්වය අපූරුවට පද පෙළකට ගැලප තිබෙනවා?
 
මේ ගීතය අහපු හුඟක් දෙනෙක් අහනවා ඔය කතාව. මම අවිවාහකයෙක් වෙලා විවාහ ජීවිතේ සුන්දරත්වය ගැන කොහොමද මෙහෙම ගීතයක් ලියුවේ කියලා. ඇත්තටම මම අවිවාහකයෙක් වුණාට මම දැකලා තියෙනවා මේ පවුල්වල ඉතාම අනුවේදනීය තත්ත්වයන්, ඉතාම අසුන්දර තත්ත්වයන් වගේම ඉතාම සුන්දරතාවයනුත්. ඒ නිසා වරින් වර සමහර ගීතවලට ඒ කාරණා මම විෂය කරගත්තා. මේ ගීතය ලියන්න හේතුවුණේ දැන් අප අතර නැති නමුත් කලා ලෝකයේ බොහෝ දෙනකුගේ හිතවතෙක් වන සෝමපාල
 
හේවාකපුගේ අපේ මිතුරා කියූ දෙයක්. ඔහු විවාහ වුණේ ටිකක් පහුවෙලා. නුගේගොඩ අපේ ගෙවල් දොරවල්වලට ඇවිල්ලා නිතර හම්බවෙලා කතා කරලා යනවා. ඔහු කිව්ව දෙයක් තමයි ඔහු ඉස්සර හවස වැඩ ඇරිලා ? නවයට දහයට ගෙදර යන්නේ, නමුත් විවාහ වෙලා දරුවන් ලැබුණට පස්සේ හැමදාම හැකිතාක් කඩිනමින් ගෙදරට ගියා. ඊට පස්සේ ඔහුගේ කටින් කියවෙච්ච දෙයක් තමයි විවාහ ජීවිතය කියන එක මෙච්චර සුන්දර දෙයක් කියලා දන්නවා නම් මං මීට අවුරුදු දහයකට විතර කලින් තමයි විවාහ වෙන්නේ කියලා. ඔහුගේ කටින්ම පිටවෙච්ච වචන තමයි මේ දරුවොත් එක්ක ගෙට කූඩු වෙන එක හරියට නිවන් ගියා වගේ වැඩක් කියන එක. ඒ වචන මට හුඟක් දැනුනා. ඒ නිසා තමයි ”මගේ නිවන මගේ පැල්පතයි” කියන වචන මගේ අතින් ලියවුණේ. මම හිතන්නේ මේ ගීතයේත් තනුව සහ සෝමතිලකගේ ගායනය නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවෙලා තියෙනවා.

(දිවයින)



Friday, July 17, 2020

මීන නුවන් යුගින් බලන් ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දිවයින පුවත්පතේ ඔහු විසින් රචිත ගී වලට පසුබිම් වූ කතා පිළිබඳව කරන ලද විවරණයක්.

එහිදී එතුමා ලියූ පේ‍්‍රම ගීතාවලියේ කැමති ගීතය ලෙස ”මීන නුවන් යුගින් බලන් මීනා” කියන ගීතය බව කියා ඇත. 

මීන නුවන් යුගින් බලන්

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා ...//

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

අත් වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු  ..//
මෘදංග නද ගැටබෙර හඩ
අපගේ දෙසවනට එකයි

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් ..
මීනා

ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

මේ ගීතය මං ලිව්වේ යාපනයේදී. යාපනයේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට ආරම්භක කථිකාචාර්යවරුන් හැටියට පත්වීම් ලබලා ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ මම. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යාපනේට ගියේ. ඊට කලින් වන්දනා ගමනකටවත් මම යාපනේට ගිහිං නැහැ. ඇත්තටම අපි යන කාලේ යාපනේ හුඟක් කලබලයක් තිබිච්ච් කාලයක් නෙමෙයි. දෙමළ භාෂාව සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇතිවුණේ මම යාපනේ හිටපු නිසා. බොහෝ දේවල් සිද්ධ වුණා යාපනේ හිටපු අවුරුදු කිහිපය තුළ. 

අපේ විශ්වවිද්‍යාලයේ පාලන අංශයේ හිටියා හිතවතෙක් සිංහල කෙනෙක්. එතුමා පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තා යාපනේ ඔහුගේ යටතේ සේවය කරපු සේවිකාවක් සමග. ඉතාම සුරූපී තරුණියක්. ඉතිං මේ පේ‍්‍රම සම්බන්ධයට දැඩි විරෝධයක් එල්ල වුණා ඔහුගේ පාර්ශ්වයෙනුත්, ඇය ගේ පාර්ශ්වයෙනුත්. හරිම සුන්දර ජීවිතයක් අපි ඔවුන් එක්ක ගත කළා. අපි ඔවුන් එක්ක නාගදීපේ ගියා, කැශුරිනා බීච් ගියා අපිත් එක්කම තමයි ඔවුන් ගේ පේ‍්‍රමය වැඩුණේ. ගම්ලත්, පතිරාජ සහ මම සමග අපේම තව සහෝදරයෙක් වගේ තමයි ඒ මිතුරා හිටියේ. මේ පේ‍්‍රම සම්බන්ධය තමයි මේ ‘මීන නුවන් නෙතින් බලං මීනා’ කියන ගීතය ලියන්න හේතු වුණේ.
 
මේ ගීතය සිංහල දෙමළ ජාතික සමගිය පිළිබඳ ලියැවුණු පළමු ගීතය නේද?
 
ඇත්තෙන්ම සිංහල දෙමළ ජාතික සමගිය සම්බන්ධයෙන් ලියවෙච්ච පළවෙනි ගීතය විදිහට මේ ගීතයට වෙනම තැනක් ස්ථාපිත වෙනවා ගීත සාහිත්‍යයේ. ඊට කලින් කුන්ඩුමනී කියලා ගීතයක් ලියවුණා. නමුත් මෙහි කුන්ඩුමනී කියලා දෙමළ චරිතයක් ගැන කියවෙනවා මිසක් එහෙම ජාතික සමගිය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගීතාවලියේ පළවෙනි ගීතය හැටියට මෙහි විශේෂත්වයක් තියෙනවා.

(දිවයින)



දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ...

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
තනුව හා සංගීතය - නිමල් මෙන්ඩිස්

Then he kissed me " කියන්නේ 1963 දී The Crystal සංගීත කණ්ඩායම විසින් නිකුත් කරන ලද ගීතයක්.මෙම ගීතය පසු කාලීනව වඩාත් ජනප්‍රිය වෙනවා මාටින් ස්කෝසස් ගේ Goodfellas (1990) චිත්‍රපටයේ හෙන්රි සහ කැරන් සමාජ ශාලාවක මුළුතැන්ගෙය පැත්තෙන් ඇතුළු වීමේ දර්ශණයේ දී පසුබිමෙන් වාදනය වීමත් සමග. මේ ගීතය අපට ද හුරු පුරුදු එකක් විය යුත්තේ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනියගේ " දවසක් දා වසන්ත සැණකෙළියේ " ගීතයෙහි ඇත්තේ මෙම "Then he kissed me " හි තනුව/සංගීතය වීමයි

අනතුරුව The Beach Boys සංගීත කණ්ඩායමත් මෙම තනුව ආශ්‍රයෙන් 1965 දී "Then i kissed her" නමින් ගීතයක් ගයා ඇත.












සාගර තරංගා ...

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන් 
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

ගායනය - ජගත් වික්‍රමසිංහ
පදරචනය - රොඩ්නි විදානපතිරණ
සංගීතය - සුනිල් ධර්මසේන

මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.

ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා. පසුව ජගත් වික්‍රමසිංහයන් විසින් ගායනා කරන ගීතය ජනප්‍රිය වුණා.    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා....

ඒ නිසා ටෙලිනාට්‍යයේ අවසානයට ඉතිරිවුනේ මේ අලංකාර ගීතය පමණයි. ඇත්තටම ජගත් වික්‍රමසිංහ මේ ගීය ගැයුවාට සාගර තරංගා ටෙලිනාට්‍යයේ අඩංගු ගීතය යුග ගීතයක්. මරියසෙල් ගුණතිලක සමගින් ජගත් වික්‍රමසිංහ තමා මේ ගීතය ගායනා කරන්නෙ. ටෙලි නාට්‍යය ගෙතුනෙත් සුසීමා වගේම සංගීත කණ්ඩායමක් වටා  පසුබිම් කරගෙන. මේ ගීතයේ රූප රාමු තුල රගපෑවේ ජගත් වික්‍රමසිංහ සමගින් නිල්මිණි තෙන්නකෝන්... නිල්මිනී තෙන්නකෝන් වෙනුවෙන් මරියසෙල් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කලා.

රතුරෝස, සුසීමා, සාගර තරංගා වගේ ටෙලි නාට්‍යය 90 දශකයේ රසිකයන්ට අලංකාර ගීත රැසක්ම තිලිණ කරන්න සමත් උනා.






නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...