Saturday, July 25, 2020

පාරමිතා නොපුරමු අප දෙදෙනා ...

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ...
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...

කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...

මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන්වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

ගායනය - ශෂිකා නිසංසලා 
පදරචනය - ලලිත් වසන්ත 
සංගීතය - ජයසිරි අමරසේකර 

සංසාරය කියන්නේ කෙළවරක්‌ නොදකින ගමනක්‌. මේ දිගු සසර ගමනේදී අප හැම කෙනෙක්‌ම එක්‌ එක්‌ ආත්ම භවයන්හි උපදිනවා. සමහර විට අද එකට එක්‌ව සිටින දෙදෙනෙක්‌ ඊළඟ සංසාරයෙදීත් එකට එක්‌වෙනවා. ඒත් තවත් අයට සසරින් සසර එහෙම එක්‌වෙන්න ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක්‌ පෙරුම් පුරනවා. මීළඟ සංසාරෙදිත් අප එකටම උපදීවා කියලා.

පියාණෙනී, මා නැවත උපන්නොත් මේ සංසාරෙදී ඔබේම පුතු වේවා කියා සමහරු පවසන්නේ පියා කෙරෙහි තිබෙන දැඩි බැඳීම නිසාමයි.

සංසාරේ පැතූ පැතුම් නිමාකොට මෛත්‍රී බුදුන් දැක නිවන් මඟට එන දැන් මගේ සදාදර අම්මා ඔබම වේවායි පතන්නේ ඒ නිසාමයි.

ඔබ, මටම අයියන්ඩිය වී මා ඔබේ නැගණිය වී එකම මව් කුසයේ උපදින්නට අපි දෙදෙනාම පාරමී පුරමු යැයි සමහරු පතනවා.

මේ සංසාරෙදි එකතු වන්නට නොහැකි වූ පෙම්වතුන් පතන්නේ ඊළඟ සංසාරේදීත් අඩුම ගානේ සහෝදරයන් වී හෝ උපදීවා කියලා. සසරින් සසරට අපි දෙන්නා පෙම්වතුන් වී උපදීවා කියාත් සමහරු ප්‍රාර්ථනා කරනවා.

ඒත් මතු හැම භවයකදීම හමු නොවී ඉඳිමු යෑයි පෙම්වතෙකු ගෙන් ඉල්ලා සිටින්නට පෙම්වතියකට සිදු වේ නම් 

පාරමිතා නොපුරමු අප දෙදෙනා 
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...

අපි දෙන්නා මතු උපදින හැම භවයකදීම පාරමිතා නොපුරා ඉඳිමු. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඇය පවසන පාරමිතාව කුමක්‌ද... ඒ යළි යළි එකට එක්‌වේවා යන පැතුමයි. ඒත් ඇය කියා සිටින්නේ මතු මතු සංසාරවලදී අපි දෙන්නා එක්‌ නොවේවා කියා... අපි දෙන්නා හමුවන හැම වාරයකදීම එකිනෙකා සමග සිනා නොවී ඉඳිමු. ඒ පාන සිනාවන් සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරිමු. ඒ ඇයගේ ප්‍රාර්ථනාවයි.

මේ ගීයේ පද රචකයා ලලිත් වසන්ත. පද මාලාව ඉබේම සිතේ පිළිසිඳගත් බවයි ඔහු කියන්නේ.

මට මේ පද මාලාවට නිමිත්තක්‌ නැහැ. නිකමට හිතට ආවා. මම ලියුවා. පද මාලාව දැකපු හැටිය ජයසිරි අමරසේකර සහෘදයා කිව්වා හරිම ලස්‌සනයි. මේක ශෂිකාගේ කැසට්‌ එකට හොඳයි කියා.

කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ....

ඇයට තවමත් ඔහු පෙනෙන්නේ අවිහිංසක ලෙසට. ඔයාගේ අවිහිංසක රූපය කඳුළුවලින් මැකිලා යනව නම්... මම දෝර ගලා යන තුරු කඳුළු හලන්නම්. එතකොට මට ඔබ නොපෙනී යාවි. 

මේ දෙදෙනාගේ පෙම බිඳී ඇත්තේ කවර වරදක්‌ නිසාද. සමහර විට ඔහු අහිංසකයි. ඔහුගේ වරදක්‌ නොවේ. මේ ඇයගේ වරදින් සිදුවන වෙන්වීමක්‌ විය හැකියි.

මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන් වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී...

අපි දෙන්නා ඔයා මටත්, මම ඔයාටත් කොතරම් පෙම් කළාද අපි ආදරය කළේ කවදාවත් වෙන් වෙන්න බැරි විදිහට. ඒත් අද අපි වෙන් වෙනවා.

මේ සමුගැන්ම ඇය වෙනත් කෙනකු සමග අතිනත ගන්නා බැවින් විය හැකියි. වෙන්වී යන්න බැහැ. එත් අපි දෙදෙනාට ආයෙත් හමු වෙන්නත් බැහැ. වෙනත් කෙනෙකුගේ බිරිඳක්‌ විදිහට මම කොහොමද ඔබව හමු වෙන්නේ... ඒක සම්මතයට විරුද්ධයි. අපි වරදට වහල්වෙලා. අසම්මත ආදරවන්තයන් නොවී ඉඳිමු. ඕ කඳුළු පිරි දෙනෙතින් ඔහුගෙන් දයාබරිතව ඉල්ලා සිටිනවා.

ගීතයේ පද මාලාවට සරිලන තනුවක්‌ ජයසිරි අමරසේකර ශිල්පියාගෙන් ලැබී තිබෙනවා. ශෂිකා නිසංසලාගේ හෙළූ අහිංසක බව මේ ගීයට මනා ලෙස ගැළපෙනවා.

(අජිත් අලහකෝන් - දිවයින මීවිත)





ආශාවේ මල් වැටෙන් එබී ...

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

රෑ නිල් අහසේ
නිදන සඳවතී ...//
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

පායන සඳ සේ
රුසිරු හසරැළී ...//
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

විශාරද ගුණදාස කපුගේ මහතාට එවකට තම පෙම්වතිය ප්‍රේමා විතානගේ විවාහ ගිවිස ගෙන තම ප්‍රියාදර බිරිඳ  සිය මිතුරන්ට හඳුන්වා දෙන්නට ගුවන් විදුලියට කැඳවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුට ප්‍රවීණ ගීපද රචක ඩෝල්ටන් අල්විස් මහතා මුණගැසී ඇත. කපුගේ මහතාගේ අළුත් බිරිඳ දුටු ඩෝල්ටන් අල්විස් මහතාගේ සිත තුළ ජනිත වූ කාව්‍යමය සිතුවිල්ල ගීයකට පබඳා කපුගේ මහතාට මංගල තෑග්ගක් ලෙසින් ලබාදී ඇත. එය අතට ගත් සැනින් කපුගේ ශූරීන් එයට මනරම් තනුවක් ‍නිර්මානය කර ඇත. මේ සියල්ල කපුගේ මහතාගේ ප්‍රිය බිරිඳ  ප්‍රේමා මහත්මිය බලා සිට මෙම ගීය කපුගේගේ හඬින් අසන්නට මහත් ආශාවෙන් සිට ඇත. 

මේ අතර තමාගේ සරල ගී වැඩසටහනට ගීයක අඩුවක් නිසා ගුවන් විදුලි සංස්ථාව තුලදී කලබලවී සිටි තරුණ ගායකයෙකු වූ බණ්ඩාර අතාවුදයන්ගේ කලබලයට හේතුව හඳුනාගන්නා කපූගේ මහතා, නුදුරු දිනකදී තමා විසින් ගයන්නට සිටි "ආශාවේ මල් වැටෙන් එබී" ගීතය නිර්ලෝභීව පරිත්‍යාග කර ඇත්තේ ඔහු තුල ඇති මානුෂිකත්වය හා පරිත්‍යාගශීලීත්වය නිසාය.



Thursday, July 23, 2020

අපි ඈතට ඈතට පා නගලා ...

”අපි ඈතට ඈතට පා නගලා” කියන ගීතය ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අදහස් දක්වමින්.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...//

කාත් කවුරුත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..///

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

මම හිතන්නේ ඇත්තටම එදා මෙදා තුර විශාල වශයෙන් පීඩාවට පත්වන කණ්ඩායමක් තමයි තරුණ පෙම්වතුන් සහ පෙම්වතියන්. පාරේ අත් දෙක අල්ලන් ගියොත් ඒ දිහා මිනිස්සු බලනවා. බස් හෝල්ට් එකක කතා කර කර හිටියොත් ඔක්කොම මිනිස්සුන්ගේ ඇස් යන්නේ ඒ කතා කර කර ඉන්න දෙන්නා කෙරෙහි. ඊළඟට මුහුදු වෙරළේ කතා කර කර හිටියොත් පොලිසියෙන් අල්ලං යනවා. කිසිම තැනක මේ රකුසන්ගෙන් සහ උකුසන්ගෙන් බේරි, නොගැලවී මේ තරුණ පෙම්වතුන්ට මේ සමාජයේ ජීවත් වෙන්න බෑ අපේ රටේ. ඉතිං මේක මගේ හිතේ පැසවමින් තිබ්බ කාරණාවක්. ඒ අතරේ තමයි මම රයන්ස් ඩෝටර් කියන ඉංග‍්‍රීසි චිත‍්‍රපටය නැරඹුවේ. එහි ප‍්‍රධාන චරිත දෙක ආදරේ කරන්න මහා වනන්තරේ ඇතුළට ඇවිදගෙන යනවා වඩාත්ම රමණීය සහ මිනිසුන්ගෙන් විනිර්මුක්ත තැනක් හොයාගෙන. ඉතිං මගේ හිතේ අර පැසවමින් තිබ්බ අදහස ගීතයක් බවට පත්වෙන්න මේ චිත‍්‍රපටයේ ඒ ජවනිකාවත් තදින් බලපෑවා. ඒ නිසා තමයි මගේ අතින් ලියවෙන්නේ ‘අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ අතරමංවෙමු වසන්ත මල් ගොමුවේ’ කියලා. ඉතිං පෙම්වතුන් සහ පෙම්වතියන් ගැන මගේ හිතේ ඇතිවෙච්ච කම්පාව තමයි ඒ ගීතය ලියවෙන්න මාව පෙළඹුවේ.

(දිවයින)



Wednesday, July 22, 2020

පියුමෙහි පැණි බොති වන බමරූ ...

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

කුසගිණි හැදුනට ඉඳුල් නොකවු
තණ කොළ නුබුදිති සිංහ පැටවු ...//

හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නොදමයි රන් බඳුනේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා ...//

සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳී ගිරවියගෙ කරේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

කරුණාරත්න අබේසේකර මහතා විසින් "පියුමෙහි පැණි බොති’ ගීතය රචනා කළේ 1965 වසරේදී තිරගත වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන්. ඒත් ඒ ගීතය එම චිත්‍රපටයට යොදා ගැනුණේ නැහැ.

මෙම ගීතය සී.ටී. ප්‍රනාන්දු මහතාගේ  අනන්‍යතා ගීතය ලෙස බොහෝ දෙනා හඳුන්වති.  මේ ගීතය සී.ටී. ගේද කැමතිම ගීතය විය. මේ නිසා ඔහු තම නිවස “වන බඹරෝ” ලෙස නම් කළේය. 

"පියුමෙහි පැණි බොති වන බඹරු’ කියන ගීතය කොපි කරමින් බහමාස්වල සංගීත කණ්ඩායමක් විසින් ද ගීතයක් නිර්මාණය කර ඇත.

සී. ටී. ප්‍රනාන්දුගේ හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලන්ඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කර ඇත. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ප්‍රනාන්දුය. 1969 ජූනි 24 වැනි දා ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඊට පසුදා සී.ටී. හා පැට්රික් දෙනිපිටිය බී.බී.සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකටද සහභාගී වී ඇත. එදා එම පිළිසඳර මෙහෙයවා ඇත්තේ එවක බී.බී.සී. සන්දේශයේ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසිනි.

මෙම ගීතයට සංගීතය සැපයූ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ සිංහල ගීතයට මුසු කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඔහු අතින් ඉටු වී තිබේ. සී.ටී. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ පැට්රික් දෙණිපිටියයි. (හෙළජාතික අභිමානේ, පියුමෙහි පැණිබොති, මා බාලකාලේ, සඳවට රන්තරු, අවදිවන්න අවදිවන්න ඇතුළු ගීත 18ක) මේ සෑම ගීතයකටම පාහේ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ මුසු කර ඇත.

සුනිල් සාන්තයන්ගේ ශිෂ්‍යයකු වූ පැට්රික් දෙණිපිටිය තමා සංගීත සංයෝජනය කළ ගීත රාශියකට විවිධ අයුරින් ගිටාරය යොදාගෙන ඇත. සිංහල සංගීතයට හවායන් (Hawaiian) ගිටාරය හඳුන්වා දී තිබුණේ පැට්රික් දෙණිපිටියයි. 







Tuesday, July 21, 2020

මේ නගරය ...

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා 
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා 
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා.

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්‌
තනුව හා ගායනය - මර්වින් පෙරේරා

සරසවියේ ගෙවෙන ජීවිතය කටුකයි තමයි. ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම්

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක්‌ නැහැ. හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි...

පේරාදෙණිය සරසවිය... හන්තාන කඳුපෙළ... සරසවි පෙම්වතුන්ට නම් ආදරයෙන් වෙළී ඉන්න කියාපු බිමක්‌. හිතේ තියෙන ආදරය මේ සොබා සුන්දරත්වය නිසා තව තවත් වැඩිවෙනවා. හන්තාන කඳුපෙළ හරහා හමා එන සිහිල් සුළං රැල්ල උණුසුම සොයා මේ පෙම්වතුන් එකිනෙකා තුරුළුකරනවා. සරසවි බිමේ එක්‌වන මේ සෑම ප්‍රේමාතුරයෙක්‌ගෙම ආදරය විවාහයෙන් කෙළවර වෙනවා නම්... ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ... ඔවුන්ගේ ආදරය සරසවි බිමටම විතරක්‌ සීමා වෙනවා.

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

ආදරය කළ දෙදෙනෙක්‌ එකට හමුවූ නගරය අවසන මේ දෙදෙනාම වෙන්ව ගියෙත් මේ නගරයෙදිමයි. අපේ ආදරණීය ගායකයා මර්වින් පෙරේරාගේ ගැයුම් පද පෙළ එකට ඇමිණුවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌. සොඳුරු ගීත රචකයා. මෙහි තනුවත් මර්වින්ගේ. ගී පද මාලා ගැන තනුව ගැන ගායනය ගැන... අහන්න අද අප අතර මේ ශිල්පීන් දෙදෙනාම නැහැ... වටිනා නිර්මාණ රැසක්‌ අපට ඉතිරිකර ඔවුන් අප අතැර ගොසින්. ප්‍රේමකීර්ති මේ ලියා තිබෙන්නේ සරසවි ප්‍රේමයක්‌ ගැන බවට සැකයක්‌ නැහැ..

වැව් ඉවුරේ දියරළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා

එදා හමුවී යළි වෙන්වී ගිය නගරයට මේ පෙම්වතා යළි එනවා. එදා වගේමයි වැව් ඉවුරේ දියරළ අදත් බිඳෙනවා. නුග ගස්‌ හෙවණේ එදා අපි දැත් පටලාගෙන ඇවිද ගියා... අද අපි නැතත් මේ නුගගස්‌ පෙළ දලුලමින් වැඩෙනවා. කඳුරැල්ලට එපිටින් එදා වගේම අදත් සරසවි බිම පෙනෙනවා. අපි දෙදෙනා වෙනස්‌ වුණත් ඒවා වෙනස්‌වෙලා නැහැ. මේ අතීත සැමරුම් දකිද්දී මට ආයෙත් ඔබ සමගින් ඒ බිමට යන්න හිතෙනවා...

මේ පෙම්වතා අතීතය ස්‌මරණය කරනවා. ඒ ඔවුන් කලක්‌ ආදරයෙන් හමුවූ ඇවිද ගිය තැන් වසර ගණනාවකට පසු යළි දකිද්දී...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා

ඔහු එදා ඇය අත අල්ලාගෙන ඇවිද ගිය වීදි දිගේ අද යන්නේ ප්‍රිය බිරිය සමගින්. අද ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යන්නේ පුංචි පුතා ඒත් ඔහුට සිහිපත් වෙනවා එකල කළ ප්‍රාර්ථනාවන්... ඒවා සිහිපත් වෙද්දි මුළු ජීවිතයම හීනයක්‌ කියලයි හිතෙන්නේ...

ජනප්‍රිය ගීයක්‌.. කාගෙත් මුවග රැව්දෙන කව්රුත් ආශාවෙන් මුමුණන පද පෙළක්‌ යොවුන් වියේදී හමුවූ පෙම්වතියක්‌ ගැන ඇය හා ආදරය කළ ආකාරය සැමියෙක්‌, පියෙක්‌ වූ පසු සිතන ආකාරය කෙතරම් චමත්කාරද?

(උපුටා ගැනීම - අජිත් අලහකෝන් දිවයින)



Monday, July 20, 2020

හදේ කොතැනක හෝ හිඳී ඔබ ...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින් ...//

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද,
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කුමාරදාස සපුතන්ත්‍රි මහතා අදහස් දක්වමින් සුනිල් එදිරිසිංහයන් ගයන ගීතයක් තියෙනවා ”හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්” කියලා. මේ ගීතයට පසුබිම් වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්. තරුණ කාලේදී මම හිටියේ කිරිබත්ගොඩ මගේ ඥාති ගෙදරක. ඒ ඉන්න කාලේදී අසල්වාසී ගෑනු ළමයෙක් එක්ක මගේ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිවුණා. මගේ පළවෙනි පේ‍්‍රමය ඒ. ඉතාමත් සුන්දර විදිහට ඒ අතීතය ගෙවුණා. ඇයගෙයි මගෙයි පේ‍්‍රමය අවුරුදු හතරක් පහක් විතර තිබුණා. ඔය කාලේදී 71 කැරැල්ල මතු වුණා. කොහොම හරි මටත් නොදැනුවත්වම මගේ පේ‍්‍රමයට වඩා මාව යොමුවුණා මේ විප්ලවීය කටයුත්තට. ඒකෙන් ඉගෙනීමේ කටයුතුත් හුඟක් දුරට අඩාල වෙලා, මම ඒ දේශපාලනේ ප‍්‍රබල සාමාජිකයෙක් වෙලා කැලේ පැනගෙන හිටියා. ඒ ඉන්නකොටත් මේ ගෑනු ළමයා මං ගැන හරියට හොයලා තිබුණා. පස්සේ ඔක්කොම ඉවරවෙලා හරි අමාරුවෙන් මං පණ බේරාගෙන ආපහු කිරිබත්ගොඩට ආවාට පස්සේ ඇය මුණගැහිලා කතා බහ කළා. එතකොට මේ ගෑනු ළමයාගේ දෙමව්පියෝ මේ දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක ප‍්‍රබලයින්. ඒ නිසාම මගේ සම්බන්ධතාවයට ඒගොල්ලෝ දැඩි සේ විරුද්ධ වුණා. 

හදිසියේ දවසක අපි මුණගැහුණා. මුණ ගැහිලා මුහුදු වෙරළකට ගිහිල්ලා කතා බහ කරලා එදා අපේ සම්බන්ධතාවය නැවතුණා. නමුත් එයා මාව දාලා ගියා කියන එක දැඩි වේදනාවක් වුණා. ඒ වේදනාවෙන් මම දැඩි සේ මුසපත් වෙලා ගීත ගොඩක් ලිව්වා. මේ ගීතය වුණත් හුඟක් දුරට ඒ පසුබිමේ තමයි කරුණු කාරණා ගොනු වුණේ.
 
එවකට හිතුනේ නැද්ද ඒ දේශපාලන ප‍්‍රතිපත්තිය ඈත් කරලා ප‍්‍රථම පේ‍්‍රමයට ඉඩ දෙන්න?
 
එහෙම හිතුනේ නෑනේ එවේලේ. හැබැයි මම ඇයට කිව්වා තව ටිකක් ඉවසන්න කියලා. ඒ වෙද්දී ඇයට වෙනත් යෝජනා ගෙනවිත් තිබුණා. පසු කාලයේදී ඇය හිත හදාගෙන තිබුණා. ඒකෙන් තමයි අපේ සම්බන්ධය නැවතුනේ.
 
ඇය නිසා ඔබ ගීත රචනා කළ බව ඇය දන්නවද?
 
ඇය දන්නවා. ඇයගේ සහෝදරයෝ බොහොම ලෙන්ගතුව කතා බහ කරනවා. ඇය පසුව විවාහ වෙලා දරුවෝ දෙතුන් දෙනෙක් එක්ක හොඳින් ජීවත් වෙනවා. මමත් අවුරුදු ගාණකට පස්සේ විවාහවෙලා. මටත් දරු දෙන්නෙක් ඉන්නවා. 71, 88, 89 මේ කාලය පහුවෙලා තමයි මමත් වෙනස් වුණේ.

(උපුටා ගැනීම - දිවයින)



පොඩි දුවගේ සිනා වැලයි ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අදහස් දක්වමින් "ඊළඟට මං කැමතියි කතා කරන්න ”පොඩි පුතුගේ සිනා වැලයි” කියන ගීතය ගැන.

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

පොඩි දුවගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//

පොඩි දුවගේ...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගීපද - සුනිල් ආරියරත්න
 
ඔබ අවිවාහකයි. නමුත් මේ ගීතයේ විවාහයේ සුන්දරත්වය අපූරුවට පද පෙළකට ගැලප තිබෙනවා?
 
මේ ගීතය අහපු හුඟක් දෙනෙක් අහනවා ඔය කතාව. මම අවිවාහකයෙක් වෙලා විවාහ ජීවිතේ සුන්දරත්වය ගැන කොහොමද මෙහෙම ගීතයක් ලියුවේ කියලා. ඇත්තටම මම අවිවාහකයෙක් වුණාට මම දැකලා තියෙනවා මේ පවුල්වල ඉතාම අනුවේදනීය තත්ත්වයන්, ඉතාම අසුන්දර තත්ත්වයන් වගේම ඉතාම සුන්දරතාවයනුත්. ඒ නිසා වරින් වර සමහර ගීතවලට ඒ කාරණා මම විෂය කරගත්තා. මේ ගීතය ලියන්න හේතුවුණේ දැන් අප අතර නැති නමුත් කලා ලෝකයේ බොහෝ දෙනකුගේ හිතවතෙක් වන සෝමපාල
 
හේවාකපුගේ අපේ මිතුරා කියූ දෙයක්. ඔහු විවාහ වුණේ ටිකක් පහුවෙලා. නුගේගොඩ අපේ ගෙවල් දොරවල්වලට ඇවිල්ලා නිතර හම්බවෙලා කතා කරලා යනවා. ඔහු කිව්ව දෙයක් තමයි ඔහු ඉස්සර හවස වැඩ ඇරිලා ? නවයට දහයට ගෙදර යන්නේ, නමුත් විවාහ වෙලා දරුවන් ලැබුණට පස්සේ හැමදාම හැකිතාක් කඩිනමින් ගෙදරට ගියා. ඊට පස්සේ ඔහුගේ කටින් කියවෙච්ච දෙයක් තමයි විවාහ ජීවිතය කියන එක මෙච්චර සුන්දර දෙයක් කියලා දන්නවා නම් මං මීට අවුරුදු දහයකට විතර කලින් තමයි විවාහ වෙන්නේ කියලා. ඔහුගේ කටින්ම පිටවෙච්ච වචන තමයි මේ දරුවොත් එක්ක ගෙට කූඩු වෙන එක හරියට නිවන් ගියා වගේ වැඩක් කියන එක. ඒ වචන මට හුඟක් දැනුනා. ඒ නිසා තමයි ”මගේ නිවන මගේ පැල්පතයි” කියන වචන මගේ අතින් ලියවුණේ. මම හිතන්නේ මේ ගීතයේත් තනුව සහ සෝමතිලකගේ ගායනය නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවෙලා තියෙනවා.

(දිවයින)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...