Tuesday, January 26, 2021

සොර දෙටුවෙක් ...

සොර දෙටුවෙක් කස තැළුම් කකා

දංගෙඩියට ගෙන යන ගමනේ

වදක බෙරේ දැක සොරා ගන්ට එය

කදිමයි ලොබ සිතුවාලූ

කදිමයි ලොබ සිතුවාලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


බුදු පුතෙකුන් පිඬු සිඟා වැඩිය හොත්

දෙන්නට වේ යැයි සැක සිතලා

මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී

පැණි කොමු පිස කෑවේලූ

පැණි කොමු පිස කෑවේලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


සුරා සොඬෙක් ගිරි කුලකින් විසිවී

මහ පොළොවට පාවී එද්දී

ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි

අහෝ සැපයි කීවාලූ

අහෝ සැපයි කීවාලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් .....///


ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස

පද - පරාක්‍රම කොඩිතුවක්කු

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත්, 1998 දී “නව රිද්ම ගී 16” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සොරදෙටුවෙක් ගීතය අදටත් අතිශය ජනප‍්‍රියයි?


පරාක්‍රම කොඩිතුවක්කු අදහස් දක්වමින් "මේ ගීතය මම රචනා කළේ බෞද්ධ විඥ්ඥානයක් ඇතුව. අපේ බෞද්ධ සාහිත්‍යයේ සූත‍්‍ර පිටකයේ ජාතක කතා සියල්ල බුදුන් වහන්සේ තමන්ගේ දැකපු දහම් කියන්නට යොදාගත්ත කතන්දර කියලයි සැලකෙන්නේ. ලෝ වැඩ සඟරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, මේ මහා කාව්‍ය තුන දහම් කාව්‍ය තුනක් විතරක් නෙමෙයි ජීවිත කාව්‍ය තුනක්. අපේ රටේ උසස් අධ්‍යාපනයේදී දරුවන්ට මේවායේ එළිය දහරක්වත් දකින්න නැති එකයි තිබෙන අවාසනාව. මේ ගීතය මං රචනා කළේ ලෝ වැඩ සඟරාවේ හතලිස් තුන්වන කවිය ආශ‍්‍රිතව. වධයට සොරු බැඳගෙන යනකොට ඒකත් සැපයක් විදිහට සලකනවා නං ඒ මොහොත ඔහුට ලැබෙන එකම සැපේ මරු වෙත යෑම පමණයි කියලා කියන මේ බෞද්ධ දහම් චින්තාව ඇසුරින් මම මේ ගීතය රචනා කළා. බලන්න මිනිස් සිත කෙතරම් පුහුදුන් ද කියලා. සොරාට පේනව වධක බෙරේ තියෙන මල් ලියකම් සුන්දරත්වය, ඒක ඇන්න ගන්න ඇත්නම් කියලා මේකා හිතනවා, ඒ වෙලාවේ. කොහොම ලෝබකමක් ද. ඒක තමයි මම මේ ”අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්” කියලා ලිව්වේ. ගීතයේ අනෙක් කොටස ”සුරා සොඬෙක් ගිරි කුලකින් විසීවී, මහ පොළවට පාවී එද්දී, ගත දැවටෙන ඒ, සීත සුළං රැලි” මේකා හිතනවා අහෝ සැපයි කියලා, මරුනේ කියලා හිතනවා. මොහොතකින් පොළොවට වැටිලා චප්ප වෙනවා. නමුත් ඒ අහසේ ඉඳන් පහතට පාවී එනකොට ඇඟේ වදින සුළං රැල්ලටත් ආස කරනවා. කොහොම තණ්හාවක්ද?

සොර දෙටුවෙක් ගීතයේ සම්ප‍්‍රදාය මොකක්ද ?

දැන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ සරල ජනකවියක් විදිහට. නමුත් මම මේකට අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් කියලා අන්තරා කොටසක් එකතු කළා. අපේ ගීතවල තියෙන ඌනතාවයක් තමයි හාමොනි එකක් නෑ. සමූහ බලපෑමක් කරන්නේ නෑ. ඒ සඳහා තමයි මම මේ කොටස රචනා කළේ. ඒක හරියටම සුනිල් පැහැර ගත්තා. ඒ කොටස මිනිස්සු නටමින් ගායනා කරනවා මම දැකලා තියෙනවා. මොකද ඒකෙ ඒ තරම් භාව සන්තර්පනයක් කරනවා. සමූහ ගීත ගායනය හරියට අර මාස්ටර් සර් ගීතය වගේ. එකේදිත් ඒකල ගීය තනිව ගායනා කරද්දී නොතිබුණ මහා පිපිරුමක් ගෙනාවනේ භාතිය සංතුෂ්. එදා එහි තිබුණේ තනි කම්කරුවෙක් වතු හිමියන්ට දණ ගහගෙන කෙඳිරි ගාන හඬක්. නමුත් මාස්ටර් සර් ගීයේදී භාතිය සංතුෂ් ගෙනාව මහා කම්කරු ජනතාවක් කෑ ගහන හඬකට. රෝහණ වීරසිංහ අපට ඉන්න ඉතාම රමණීය තනු නිර්මාපකයා. ඔහු කවිය ඔබ වගේ ගීයක් සංගීතයේ බටහිර රසායනය පෙරදිග සංගීතය හා මුසු කරනවා. ඒක මුසුවන ගැටය, ඒ දෙමුහුන් කරන තැන අපට හොයාගන්නවත් බෑ. සොරදෙටුවෙක් ගීයෙත් ඒ විදිහට නවීනත්වය සාම්ප‍්‍රදයිකත්වයට, එකට එකතු වීමේ හයිය තියෙනවා.


* මේ ගීතය ලියන්න හිතුවේ ඇයි ඔබ?

සුනිල්ගෙම ආරාධනයකට තමයි මේ ගීතය ලිව්වේ. අලූත් තාලයේ ගීතයක් ඕන කියලා ඔහු මට ආරාධනයක් කරලා තිබුණා, මම සුනිල්ව දැකලාවත් නැති කාලයේ. සුනිල් එතකොට පහන් තරුවක් වගේ බබලමින් එන කාලේ. අලූත් විදිහේ ගීතයක් ගැන තිබුණා ආසාවක් සුනිල්ට. නිකං පොදු ජනතාවට කතා කරන ගීතයක් වගේ. ඉතිං මං ඒක ලියන්න පෙළඹුනෙත්, විවෘත ධනවාදය, වෙළෙඳ පොළ ක‍්‍රමය, ආරම්භ වෙලා, ඒ අවධිය විශාල සමාජ විපරීතයකට ගමන් කරමින් තිබුණේ. මිනිස්සු හුඟක් තණ්හාවෙන්, ඇවිලිලා මහා හඹා යාමකට පත්වුණා. බෞද්ධ ශිෂ්ටාචාර ගුණාංග සියල්ල විපරීතයට පත්වුණ යුගයක්. අන්න ඒ තණ්හා ගමන තමයි මම ජනතාවට කතා කරන්න උත්සාහ කළේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)




Tuesday, January 19, 2021

අකලට වට මහ ...

අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ

නොසිතූ මොහොතක

ඇයි දෝ යළි ආවේ


පෙර දා මෙන් හද මල් පිපුණා දෝ

සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

අතීත ආදර නටබුන් අතරේ

මන්දිර මැව්වාදෝ


සොවක් නැතේ නොසිතනු මැන සංකා

ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා

රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි

සතුටයි කිරුළ අපේ


හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ

ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ

විමසන වදනට පිළිතුරු දෙන්නම්

ළඟකදි ලබන දිනේ


අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ

නොසිතූ මොහොතක

ඇයි දෝ යළි ආවේ////


ගායනය - නිරංජලා සරෝජිනී

පද රචනය - දයා ද අල්විස්

තනුව - නන්දා මාලිනී


මෙය ගැහැනු තුන් දෙනකුගේ එකතුවෙකි. මේ ගීය බිහිවන සමයේ පිළිවෙළින් වයස හතළිස් ගණන්, තිස් ගණන් සහ විසි ගණන් වල සිටි පද රචිකාව, තනු රචිකාව සහ ගායිකාව යන තිදෙනා දෙස මසැසින් අද බැලූ විට ද දැනෙන්නේ අපූර්වත්වයකි. තිදෙනාම ආදරයේ විවිධ වූ සෙයියාවන්හි වියෝගයට ලක් වූ අයය. එනමුදු ගීය බිහිවන විට කතාව එසේ නැත. ඔවුන්ගේ ජීවිතය වෙනස්. එනමුදු මේ සංගීතය ඒ අනාගතය දුටුවාක් වැන්න ! එහි ඇත්තේ මුදු මොලොක් බවට යටින් හුයක් සේ දිවෙන කීරි ගැහෙන දුකයි. පුරුෂාධිපත්‍යය නමින් හංවඩු ගැසූ නමුත් පුරුෂාධිපත්‍යයේ කටුකත්වයයි. ආත්මාර්ථයයි. සිතාරය හැඬවෙන සැටි අසන්න. ගැහැනියගේ නිහඬ කඳුළු කොපුල් දිගේ රූටන හඬ නොවෙද ඔබට ඇසෙන්නේ? වයලීනයේ තියුණු බව අසන්න ! එය නැලවිල්ලක් නොව වැලපිල්ලක්ම නොවේද? බටනලාව වෙනම චරිතයකි. සියලූ සාංකා පරවශ බව මූර්තිමත් කරන්නේ ඇසී නෑසෙන වස්දඬු රාවයෙන් නොවේද?


දයා ද අල්ව්ස් මහත්මිය අදහස් දක්වමින් "මේ ගීතය මගේ අත්දැකීමක් නෙවෙයි. මේ ගීතය ලියන්න හේතුවුනේ මම සමාජයෙන් හා මගේ යෙහෙළියන්ගේ අසන්න දකින්න ලැබුණු යම් සිදුවීම් හේතුවෙන්.


පෙම් සබඳතා බිඳී ගියාම පෙම්වතුන් වෙන් වෙන්නේ ආයේ හමුවීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි. නමුත් සමහර වෙලාවට නැවතත් මේ අතීතය ලංවෙන්න හදනවා. නැවතත් එක්වීමට ආරාධනා කරනවා. නමුත් බිඳී ගිය ප්‍රේමය එයින් නැවතත් එක්කිරීම ඉතා අසීරු දෙයක්. මේ අතීත පෙම්වතුන් සමහර විට වෙනත් අළුත් සබඳතා ඇතිකරගෙන තියෙන්න පුළුවන්. එවිට නැවතත් සබඳතා ආරම්භ කරන්න උත්සාහ කිරීම නිසා ගැටළු ඇතිවෙන්න පුළුවන්. 


මේ ගීතයේ "අසුබ දිනෙක ආ සුබපැතුමක් සේ" යනුවෙන් පදපේලියක් තියෙනවා. ඒකට හේතුවුනේ මම පාසල් යන කාලේ මගේ මිතුරියෙකුගේ පියා හදිසියේ නැතිවෙලා ඒ ආරංචිය නිසා මම යාළුවාගේ ගෙදර ගියා. මම යාළුවාගේ දුක බෙදා ගෙන ඇයගේ සිත හැදීමට උත්සාහ කළා. මේ වෙලාවේ මේ ගැන දන්නේ නැති යාළුවෙක් ඇවිත් පියා නැතිවුන මගේ යාළුවාට ගුඩ් මෝනිං කිව්වා වෙනදා පුරුද්දට. මගේ යාළුවාට ඒකට උත්තර දෙන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුණේ නෑ. මේ ගීතය ලියද්දී මෙම අතීත සිදුවීමත් මට මතක් වුන නිසා එවැනි පදපේලියක් ලිව්වා.


මෙහි මුණගැසෙන යුවතිය හෝ ගැහැනිය වරෙක ප්‍රේමයෙන් පරාජිත වූ තැනැත්තියකි. ඒ පරාජය තුළින් ඈ අප්‍රමාණ වූ වේදනා විඳින්නට ඇත. එහෙත් ඇය නැවතත් ජීවිතය අරඹන්නේ අලුත් ප්‍රේමයක ආස්වාදනීය හැඟීම් සමඟයි. ඒ ආස්වාදය උත්තරීතර ලෙස භුක්ති විඳිමින් සිටින අවස්ථාවක ඇය අමතක කර ඇය හුදෙකලා කළ පෙම්වතා ඈ සොයා එයි.


අහම්බෙන් ලැබුණු මේ ප්‍රේමාරාධනාව වෙනුවෙන් රචිකාව යොදාගන්නේ අපූරු උපමාලංකාරයකි. ඒ මඟින් මේ අනපේක්ෂිත ආරාධනාව ඇයට දැනුණු ආකාරය ඉදිරිපත් කරයි.


”අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැරගිය ඔබ නොසිතූ විලසින්

ඇයි දෝ යළි ආවේ


මෙහි අපූර්වත්වය වන්නේ තමා අතහැර ගිය පැරණි පෙම්වතාට ඇය ද්වේශ නොකිරීමයි. ඇය ඔහු දෙස බලන්නේ උපේක්ෂාවෙනි. මේ මොහොතේ ඔහුගේ හැඟීම් තේරුම් ගැනීමට ඇය උත්සාහ කරයි. පැරණි පෙම්වතා පිළිබඳ සියුම් අනුකම්පාවක් ඇගේ සිතේ ඉතිරි වී ඇති බව හැඟෙයි. ඔහු දැන් උත්සාහ කරන්නේ අතීත ආදර නටබුන් අතර තවත් ප්‍රේම මන්දිරයක් තැනීමටයි. කෙටියෙන් පවසතොත් නටබුන් නැවත පිළිසකර කිරීමටයි.


පෙරදා මෙන් හද මල් පිපුණාදෝ

සතුටු කඳුළු නුවනග ගැලුවාදෝ

අතීත ආදර නටබුන් අතරේ

මන්දිර මැව්වාදෝ


එහෙත් නැවත ඔහු හමුවීම නිෂ්ඵල ය. තමා වරෙක හැරදමා ගිය ඔහුට මානසික දඬුවමක් දීම ඇයට අවැසි ය. ඒ නිසා තම අලුත් සහකාරයා රජකු බවත් ඒ ආදර ලෝකයේ තමා රැජිනක් බවත් ඇය කියාපායි. ඒ ප්‍රකාශයම ඔහු මානසික පසුබෑමකට ලක්කරවන්නකි. එය ඈ විසින් දෙනු ලබන සාධාරණ වූද මානුෂීය වූද දඬුවමකි.


පලක් නැතේ නොකරනු මැන සංකා

ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා

රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි

සතුටයි කිරුළ අපේ...


ඒ සතුටේ කිරුළ බිම තබන්නට ඇය සූදානම් නැත. තම අලුත් ජීවිතය ඇතුළත ඈ අභිමානයක් ගොඩනඟා ගනී. නැවත ඔහුගෙන් අනුකම්පාවක් අනවශ්‍ය බව ඇය කියා පායි. ඒ නිසා ඔහුට සෘජු පිළිතුරක් හෙට දවසේ දී දීමට ඈ සූදානම්ය.


පලක් නැතේ නොකරනු මැන සංකා

ඔබෙන් ලබනු කුමටද අනුකම්පා

විමසන වදනට පිළිතුරු දෙන්නම්

ළඟකදි ලබන දිනේ


මේ අනුභූතිය බොහෝ ස්ත්‍රීන් ලබා ඇත්තකි. නිරංජලා සරෝජිනී කෙසේ වෙතත්, දයා ද අල්විස් හා නන්දා මාලිනිය මේ අත්දැකීමෙන් පෝෂිත බව මගේ සිතුවිල්ලයි. මෙතරම් අව්‍යාජ පදමාලාවක් මෙන්ම තනු නිර්මාණයක් තුළ එබඳු ආධ්‍යාත්මික සංවේදනාවක් ගැබ්විය යුතුම ය.


අසූව දශකයේ දී මේ ගීතය කෙතරම් ජනප්‍රිය වූවා ද යත් බොහෝ තරුණියන්, තමන්ට කෙරෙන ප්‍රේමාරාධනා වලට පිළිතුරු සේ මෙහි අන්තර්ගත එක් වැකියක් ලියා යවනු දක්නට ලැබිණි.


”රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි

සතුටයි කිරුළ අපේ”


ජීවිතය රසබර වන්නේ මෙබඳු අපූර්ව සිදුවීම් නිසා ය. අසීරු වන්නේ එබඳු සිදුවීම් නිර්මාණගෝචර කරගැනීමයි. මේ කාන්තාරත්නයන් තිදෙනා ඒ අභියෝගය මනාව ජයගෙන තිබේ.


(උපුටා ගැනීම දිවයින හා ධම්මික බණ්ඩාර/සිළුමිණ) 



Thursday, January 14, 2021

ගයන ගැයුම් ..

ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම් .....//


නිදන ලොවෙන් දවස උදාවී

සිහින මැදින් සතුට සිනාසේ

නුරා දෙතොල් පුරා එයින්

සුරා බඳුන් පුරා දෙමින්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම්


හිරු ඇහැරී බලන වෙලාවේ

පෙණ බුබුලේ සතුට නිමාවේ

හෙට උදයේ

හිරු එළියේ

සිහින ලොවේ

සැපත නිවේ


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම්


ගයන ගැයුම් (ආ....

නටන නැටුම් (ආ....

ඉවත හළෙයි (ආ....

සෝක සුසුම්


මන්ද රැඳෙනු තවත්

මෙන්න උදය ඇවිත්

නින්ද නොලබන අන්ධ අඳුරෙන්

කැන්දු විදුලිය මෙන්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම් .....///.


ගායනය - ලොස් කබෙයියෙරෝස්

පද - මහගම සේකර

තනුව හා නාද සිත්තම - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


1966 වසරේදී තිරගතවූ "දෙලොවක් අතර" සිනමා කෘතියට නිර්මාණය වූ ගීයකි.


ලොස් කබෙයියෙරෝස් ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය


ලොස් කබෙයියෙරෝස් 1964 න් ඇරඹූ සිංහල ගී ගායනය, වසර දෙකක් වැනි කෙටි කාලයකදී බොහෝ දෙනා අතර මහත් ජනප්‍රියත්වයක් අත්කර ගත්තා පමණක් නොව, ප්‍රවීණයන්ගේ ද සිත් ඇද බැඳගත් බවට ඉහත ගීතය මනාවූ නිදසුනකි. මහගම සේකරයන්ගේ විශිෂ්ඨ ගී පද රචනයද ගීතයේ ජනප්‍රියත්වයට ඉමහත් ලෙස බලපා ඇත.


ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ඒ වන විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ යම් ලකුණක් හදාගෙන තිබුණි. එය මනාව වටහා ගත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා නෙවිල් ඇතුළු පිරිසට තම සිනමා කෘතියට එක්ව ගීයක් ඉදිරිපත් කරන්නට ඇරයුම් කරයි. 


අමරදේවයන් ද, ලොස් කබෙයියෙරෝස් ලකුණ, නෙවිල් ඇතුළු කණ්ඩායමේ ගමන් මඟ හා ඔවුන්ගේ ඇඟේ ඇති සංගීතය හොඳින් කියවා අධ්‍යනය කර තිබූ බව, මේ ගීතයේ තනුවෙන් ද, නාද සංකලනයෙන් හා යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ආදියෙන් ද මනාව පසක් වේ.


නෙවිල් ප්‍රනාන්දු , අමරදේවයන්ගේ මේ ගී නිර්මානයට මහත් අභිරුචියකින් එක්වූවාට සැකයක් නැත. "දෙලොවක් අතර" චිත්‍රපටියට ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම "ගයන ගැයුම් නටන නැටුම්" ගායනය ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. එය ඔවුන්ගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියයි.


උපුටා ගැනීම - ගී අරණ












චන්දෝ මා බිලිඳේ ...

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


පතර බළැති සිරි කුන්ද විදාරණ

විතර බළැති සිරිධර පංචපාලන

බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ

නාඬන් දැන් එන්දෑ


දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා

චන්දන කුංකුමයෙන් සැදි රූපා

රන්ගිර'ගින් පායයි මුළු දීපා

මන්මද දැන් දරු සුන්දර රූපා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


පැන පැන අතු දිග සොඳ දළු කන්නා

ඉඟි බිඟි කරමින් බැම නටවන්නා

වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා

ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


අවර වෙන්න පෙර ගසට නගින්නා

උදා වෙන්න පළමුව හඬලන්නා

සදා පැටවු වට සාරා කන්නා

ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් ...//  (බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ)


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග බෙංගාලි ගායිකා සචිත්‍ර මිත්‍ර

පද රචනය - ජන ගීයකි

ස්වර රටා - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පසුකාලිනව අමිතා වැදිසිංහ, සමිතා මුදුන්කොටුව ආදී විවිධ ගායිකාවන් සමඟ අමරදේවයන් මෙම ගීතය ගයා ඇත.


ඉපැරණි වැදි ජන ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ ගීතය අවුරුදු තුන්සීයක, හාරසීයක තරම් ඈත ඉතිහාසයකට අයිති වෙන ගීතයක්. දෙවන රාජසිංහ කියන්නෙ සෙනරත් රජුගෙත් කුසුමාසන දේවියගෙත් පුත් වුණු, කන්ද උඩරට රාජධානිය පාලනය කළ ශ්‍රේෂ්ඨ රජෙක්. රජවීමට පෙර මහා අස්ථාන සහ දේවරාජසිංහ යන නම් වලින් හැඳින්වුණත්, සිය පියාගෙන් අනතුරුව කිරුළ හිමිකරගැනීමෙන් පසු ජනයා අතර වඩාත්ම ප්‍රචලිත වුණේ “රාසිං දෙයියෝ” යන නාමයෙන්.


දෙවන රාජසිංහ ඈත සංචාරයන්හි යෙදෙද්දී ඔහු ප්‍රියකරන බිසවක් තමා හා ‍රැගෙන යෑම හෝ, එම ප්‍රදේශයෙන් තාවකාලික බිසෝකමට ස්ත්‍රියක් පාවාගැනීම සිරිතක් වී තිබුණේ ලු. අලුත් බිසව තමාට ඉතා ප්‍රිය නම් ඈව මාළිගාවට කැඳවාගෙන ඒමත්, අන්තඃපුරයේ ඉඩ මදි වන විට පැරණි බිසෝවරුන් නිදහස් කොට යටත් නිලධාරීන්ට පාවා දීමත් ඔහුගේ සිරිතක්ව තිබුණු බව කියැවෙනවා. බලවත් පාලකයෙක් මෙන්ම, කඩවසම් රූපයක් ද හිමිව තිබූ බව කියන ඔහුට පෙම් සබඳතා වලින් අඩුවක් නොතිබූ බවයි ජනප්‍රවාදයන්හි පැවසෙන්නේ. මේ, එවන් එක් ජනප්‍රවාදයක්. 


රාජසිංහ රජු රූමත් වැදි තරුණියක් සිය අන්තංපුරයට කැඳවා ගෙන ඇවිත් බිසවක් ලෙස තබාගෙන ඇත. ඒ වැදි බිසව තමන්ට දරුවන් නැති නිසා කතරගම දෙවියන්ට බාරයක් වූ බව සඳහන් වෙනවා පුතකු තමන්ට ලැබුනොත් තමන්ගේ කොණ්ඩේ කපලා දෙනවා කියලා කතරගම දේවාලේ අතුගාන්න. ඉතින් ඒ ආකාරයට ඇත්තටම ඇයගේ බාරය සපල කරමින් ඇයට පුතකු ලැබුනා. ඒ පුතා නලවපු ගීතය තමයි මේ චන්දෝ මා බිලිඳේ කියන ගීතය. මේ ගීය වැදි ජන ගී ආශ්‍රයෙන් තමයි නිර්මාණය වී තියෙන්නේ. ඇය වැදි බිසවක නිසයි ඇය මේ ගීය ගයා තම දරුවා නැලෙව්වේ. 


සියළුම මවුවරුන් සේ ඇයද තම දරුවා නැළවීමට නැළවිලි ගීත ගැයුවාය. තමා නිතර දකින ලද වන වදුළු තුල වූ පරිසරය තම නැලැවිලි ගීයට නගා එහී අලංකාරත්වයත් රජුගේ තෙදවත් බවත් එක්විටම පැවසෙන සේ ඇය තම දරුවා නැළවූයේ ඉහත ලෙසටය. මේ බිසවට රජු විසින් ගරු නම්බු නාමයක් දී ඇත. කුංකුම ආදි අබරණ ලබාදී ඇත. එනිසා ඇගේ රැහැට හිරූ පැයූ සේ ආලෝකයක් ඇති වී තිබේ. මේ සියල්ලම ලක පතල බල ඇති රජු නිසාය. මා ඔහු සමීපයේ නිසා නොහඳා නිදියා ගන්නා ලෙස මේ මව දරුවාට කියයි.


අනතුරුව ඇය වනයේ රිලවුන් සැරිසරන අයුරු තම දරුවාට කියා දෙන්නීය. රිළවුන් පිළිබඳ විස්තරය චිත්‍රයක් මෙන් මනාව ගලපා ඇති'යුරු බලන්න. රිළවා අතු අග සිට බුදින ආකාකය, උසුළු විසුළු ස්වභාවය හා අනතුරකදී පැටවුන් ලං කර ගන්න අන්දම සිද්ධි දාමයක් ලෙස මවා පෙන්වීමට කවියා සමත් වෙයි. අනතුරුව කුකුළන් ගේ දින චරියාව ලෙස පැටවුන් සමග සාරමින් අහුලමින් කෑම, රාත්‍රියේ ගස් මත නිදා ගැනීම හා උදෑසනට හැඬලීම එලෙසම මනාව චිත්ත රූප ජනනය වන අන්දමින් පෙන්වා ඇත.


මේ ගීය මුලින්ම අපට අහන්න ලැබුනේ “සංස්කෘති සඟරාවට (1953 දී පල කිරීම ආරම්භ කළ) කිරිහාමි මොහොට්ටාල කියලා එක මහත්මයෙක් සැපයෙව්වට පස්සේ. ඉන් අනතුරුවයි අමරදේවයන් මේ ගීය තමන්ගේ නාද මාධ්‍යයෙන් අර්ථකථනය කරලා ගායනා කරන්නට යෙදුනේ. අමරදේව ගායනා කරන මෙම පද වැල කටවහරෙන් ආපු වැදි නැළවිලි ගීයක් ආශ්‍රයෙන් බිහි වූවක්.


(උපුටා ගැනීමකි)







මගෙ පුතු හරි හපනා ...

මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා

පනම් තුනක් ලබ ලා

මටත් එකක් දෙනවා

මගෙ පුතු හපනා...


මගේ උකුළු යහනේ

අද සුව නැති හින්දා

ඒ නැළවිලි ගීයෙන්

පුතු නළවන්නට බෑ

වැවිලා දැලි රැවුලූ

උරතල වේ පුළුලූ

කටහඬ මොළකැටි නෑ

තුරුණු ය මා පුතණූ...


මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා...


ආශා ගී නුහුරූ

මා පුතු රවටයි දෝ

සවන් නොදෙනු පුතුනේ

ඒ ගී නැත මියුරූ..

පෙර මඟ අද ඔබගේ

පියතුම නැතැයි කියා

වෙනස් නොවනු පුතුනේ

ඔබෙ හද වෙසෙයි පියා...


ගායනය : රූපා ඉන්දුමතී

පදරචනය - දයා ද අල්විස්

තනුව සහ සංගීතය - ටී. ෂෙල්ටන් පෙරේරා


මගේ පුතු හරි හපනා ගීතය පිළිබඳව දයා ද අල්ව්ස් මහත්මිය අදහස් දක්වමින්.....

 

මගේ පුතා පුෂ්ප තරංග ඉතාම හොඳ දරුවෙක්. මාත් එක්ක අතේ එල්ලිලා ගුවන් විදුලියට එනවා. ළමා පරීක්ෂණයෙනුත් සමත්වෙලා කරු අයියගේ වෙළෙඳ දැන්වීම් වලටත් හඬ දීලා තියෙනවා. ඒ කාලේ කුසුම් පීරිස් ලියපු නාට්‍යයක මගේ පුතා හිටියා. පුතාගේ නමත් තරංග. චරිතයේ නමත් තරංග. ඔහොම ඉන්නකොට ජනප‍්‍රිය වෙලා දවසක් මම ගෙදර එනකොට තරංගට ලියුමක් ඇවිත් තිබුණා. කවදාවත් පුතාට එහෙම ලියුම් ඇවිත් තිබුණේ නැහැ. ඉතිං මගේ ටිකක් හිත ගැස්සුනා. ඒ වුණාට මං ලියුම කැඩුවේ නෑ. ඇවිල්ලා එයා ලියුම් කඩලා එහෙම්ම දැම්මා මෙසේ උඩ. ඒ ලියුම් කවරය කඩන්න මට හිතුනේ නැත්තේ ගොඩක් ලස්සන මලක් ඇඳලා බඹරෙක් ඇඳලා එතන කඩන්න බැරිවෙන විදිහට ඇඳලා තිබුණා. ඒක තමයි මගේ හිත ගැස්සුනේ. එයා ඒක කඩලා දාලා ගියාට පස්සේ එදා හැන්දෑවේම මං ඒක බැලූවා. ගෑණු ළමයෙක් ලියලා තියෙන්නේ. එයාගේ රඟපෑම් හරි හොඳයි. පත්තරේ ලිපියත් දැක්කා. ඔයා හරි ලස්සනයි. ඔයත් එක්ක ආශ‍්‍රය කරන්න මං කැමතියි, එහෙම කියලා ලියලා තිබුණා. මට ඉතිං හරි බයයි මේ ළමයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන තත්ත්වෙකට එයිද කියලා. මේක දිගට යනවට මං බයවුණා. මං ඉතිං ඔය ගීතය ලියලා තිබ්බ මේසේ උඩ. එයා ඒක දකින්න ඇති. රූපා ඉන්දුමතීගේත් ලොකු පුතෙක් හිටියා. ඉතිං එයා මගෙන් ගීතයක් ඉල්ලපුවම මං ඕක දුන්නා. ඒ ගීතය ඉතාම හොඳ ගීතයක් කියලා පත්තර වල පවා ගියා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Thursday, January 7, 2021

උගතුන් මැද ...

උගතුන් මැද

උගතෙක් වෙන්නයි

උපන් දැයට

සෙත සලසන්නයි

අපේ පැතුම්

මතු ඉටුවෙන්නයි

පුතා උතුම්

මිනිසෙක් වෙන්නයි


අසූ රියන්‍

උස බුදු රූ බැන්දේ

සුවිසල් වැව්

දාගැබ් ගොඩනැගුවේ

එදා පටන්

පුතු ගැනමයි සිතුවේ

මගේ පුතා

රජ වෙන්නයි පැතුවේ


උගතුන් මැද

උගතෙක් වෙන්නයි...


පුංචි උසස්

අය කීවත් මොනවා

පුංචි පුතුට

මේ ටික පවසනවා

පුංචි මැදුර

තුල අද බිහිවෙනවා

පුංචි අපත්

හෙට රජවරු වෙනවා


උගතුන් මැද

උගතෙක් වෙන්නයි...//


ගායනය - චිත්‍රා සෝමපාල 

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

පදරචනය - හේම ශ්‍රී ද අල්ව්ස් 

උගතුන් මැද උගතකු වෙන්නැයි, දිනු දැයට සෙත සලසන්නයි ගීතය පිළිබඳව හේම ශ්‍රී ද අල්විස් මහතා අදහස් දක්වමින් "චිත‍්‍රා සෝමපාලට ලියලා දුන්නේ ඒ ගීතය. ඒක ලිව්වේ පේ‍්‍රමදාස මහත්තයා හින්දා ඡන්ද කාලෙට හැම තැනම රැුස්වීම් තියෙනවනේ. එක එක පක්ෂවලින් කතා කරනවනේ. එක මීටිං එකකදී ආපු මිනිස්සු වගයක් පේ‍්‍රමදාස මහත්තයට දොස් කියනවා ඇහුණා. සෙනඟ අතර ඉන්න කොට ඇහෙනවනේ. පැල් කොටෙන් ආපු එකෙක්, ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් කියලා. එක එක දොස් කිව්වා. මට දැන් හරි හිතට අමාරුයි. වැඩට ආවම චිත‍්‍රායි, සෝමපාලයි දෙන්නත් හිටියා. පස්සේ මට පී.එල්.ඒ. සෝමපාලත් කිව්වා, බලනවකො හේමශ‍්‍රී මේ මනුස්සයට බනින බැනිල්ල, අතු පැලෙන් ආවා, ලැවරියා වික්කා කිය කියා හරියට දොස් කියනවා කියලා. මං කිව්වා ඉන්න සෝමපාල අපි ලියමු ඒකට කියලා, ඒ අදහස තමයි මං ඔය ලියලා තියෙන්නේ ඔය ගීතයේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Tuesday, January 5, 2021

හිච්චි නඟේ ...

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ ...


කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ

ගං පියසේ මං හිටියේ විලංගුවේ ..//

රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ

ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ

හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ ...//

හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ

ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ .....///


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි

පද රචනය - සුනිල් ගුණවර්ධන

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


කව්ද මේ හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා ගීතයේ එන හිච්චි නගා?


ගීපද රචක සුනිල් ගුණවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් "දවසක් මල්කාන්ති මේ පද ටික දැකපු හැටියේ කිව්වා මේක සනත් අයියටයි මටයි දෙන්නටම හොඳයි කියලා. මේ ගීතය ලියද්දි නං මගේ අත්දැකීමකුත් එකතු වුණා. සරසවියේදි මගේ මාස අටක පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒ පේ‍්‍රම සම්බන්ධය තිබුණු තැනැත්තිය මාතර කෙනෙක්. මාතර ප‍්‍රදේශයේ තියෙන යෙදුමක් තමයි හිච්චි කියන යෙදුම. ඒ හිච්චි කියන යෙදුම අරගෙන ගැමි වහරෙන් ගීතය ලියන්න ගත්ත උත්සහයක් තමයි ඔය ගීතයේ තියෙන්නේ. ගීතයේ අග ලියලා තිබුණේ ”හරස්වෙලා හැමදෙනාම ඔබේ පිලේ, ආදරයයි මා පමණයි මගේ පිලේ” කියලා. ඕක තනි ගීතයක් වශයෙන් සනත් අයියා ගායනා කළා නම් ඒ විදිහට ගායනා කරනවා. නමුත් මල්කාන්ති අක්කටත් සම්බන්ධ වෙන්න ඕනයි කියපු නිසා ඒක යුග ගීතයක් බවට හැරෙනකොට මම අග වෙනස් කළා ”හරස්වෙලා හැමදෙනාම කිමද නගේ - ඔබෙයි මගෙයි ආදර ලොව පලූදු කළේ” කියලා. මේ ගීතය මගේ ජීවිතේ තරුණ වියේ අත්දැකීමක්.


ඇය දන්නවද ඇය නිසා ලියවුණු ගීතයක් බව මේ?


දන්නවත් ඇති නොදන්නවත් ඇති. මට ඒක අදාළ වෙන්නෙත් නෑ. ඒ සම්බන්ධය අවසන් වුණායින් පස්සේ ඇතිවුණු කම්පනය තමයි ඔය නිර්මාණයක් බවට පත්වුණේ. හැම නිර්මාණයකම ඇතුළත අපේ අත්දැකීමක් තියෙනවා. අත්දැකීමක් නැතුව කිසිම ගීතයක් ලියවෙන්නේ නෑ, නිර්මාණයක් බිහිවෙන්නෙත් නෑ මගේ ආකල්පයට අනුව.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...