කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..
මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ..
ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ..
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ..
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ..
කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා..
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා..
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා..
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා..
ගායනාය හා සංගීතය - කුමා අත්තනායක
පදරචනය - අශෝක කෝවිලගේ
ගීත රචකයා වෙන අශෝක කෝවිලගේ ඒ කාලේ රැකියාවට ගිහින් තියෙන්නේ දහ අට වංගුව පාරේ. ඔහු හැමදාම එන එක්තරා පුද්ගලික බස් රථයක් තිබිලා තියෙනවා. ඒකෙ රියදුරු මහත්තයා බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. මේ බස් එක වංගුව අද්දනකොට එක්තරා වංගුවක් ළඟ පොඩි කඩේක හිටපු තරුණියක් කඩෙන් එළියට එනවා. රියදුරු තැනත් මේ දැරිවි දිහා බලලා මල් මල් හිනා දාලා තියෙනවා. කොහොමින් හරි කාලයක් යද්දී මේ තරුණිය කලින් වගේ දකින්න ලැබිලා නෑ. මේක රියදුරු තැනට දරාගන්න බැරි සිදුවීමක් වෙලා තියෙනවා. ඒක මගීන්ටත් තේරිලා තියෙන්නේ ඔහුගේ වෙනදා තිබුණු ප්‍රසන්න බව නැතිවීමෙන්. අන්තිමේ වෙනත් රියදුරෙක් බස් රථය පදවන තත්වයට පත්වෙනවා. මේ සිදුවීම දැකලා ඇතිවුණු සංවේදීකම මත තමයි මේ ගීතය ලියවෙන්නේ.
(උපුටා ගැනීම - lifie)
No comments:
Post a Comment