Tuesday, January 5, 2021

මා අහසේ ලියූ දේ ...

මා අහසේ ලියූ දේ

පෙනුණේ නුඹට විතරමයි

මා සුළඟට කියූ දේ

ඇහුවේ

කවුද නුඹ තමයි...

එහෙව් නුඹට නොදැනුණේ...

නුඹට දුන්න හිත තමයි...

මගේ කියා මට තිබුණෙත්

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...


ප්‍රාර්ථනා මහ කන්දේ

කළුවර පාමුල උන්නේ මං

නුඹේ නුරා තරු එළියේ

කඳු මුදුනට ගෙන

නොගියා නම්...

අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී

නුඹ ගැනම හිත හිතා ඉන්නට...

හිතවත් මට තියේවී... 


මා අහසේ ලියූ දේ

පෙනුණේ නුඹට විතරමයි

මා සුළඟට කියූ දේ ඇහුවේ

කවුද නුඹ තමයි...

එහෙව් නුඹට නොදැනුණේ...

නුඹට දුන්න හිත තමයි...

මගේ කියා මට තිබුණෙත්

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...


පද: යමුනා මලිනී පෙරේරා

තනුව: කසුන් කල්හාර

ගායනය : ශෂිකා නිසංසලා


ශෂිකා ගයන ”මා අහසේ ලියූ දේ” කාගේ අත්දැකීමක්ද?


යමුනා මාලිනී පෙරේරා මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් "එක දවසක් මං වැඩ කරන කාර්යාලයට ආවා පාසල් ශිෂ්‍යාවක් නිල ඇඳුම පිටින්ම. කොළඹ උසස් බාලිකා විද්‍යාලයක උසස්පෙළ හදාරන ශිෂ්‍යාවක්. ඇවිල්ලා කිව්වා නැන්දේ මං ආසයි නැන්දගේ සිංදුවලට, මං ආවේ පොඞ්ඩක් කතා කරලා යන්න. මට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා කමක් නැද්ද කිව්වට කියලා මගෙන් ඇහුවා. මං කිව්වා කමක් නෑ දුව ප‍්‍රශ්නයක් තියෙනවා නං කියන්න මට උදව් වෙන්න පුළුවන් දෙයක් නං මං උදව් වෙන්නං කියලා. ඊට පස්සේ කිව්වා මං පිරිමි ළමයෙක්ව ආශ‍්‍රය කළා ගෙවල්වල දන්නෙත් නැහැ. මං හොඳටම ආදරය කළා එයාට. අපි ලියුම් ලිව්වා එහෙම. නමුත් එයාගෙන් අයුතු යෝජනා එනවා කිව්වා එයත් එක්ක එහෙ මෙහෙ යන්න ඉතිං. ඒකට එයා කැමති නැහැ කියලා කිව්වා. ඉතිං ඊට පස්සේ මේ පෙම්වතා එයාව අතහැරල ගිහිල්ලා. ඒකෙ දුක කියන්න තමා එයා ආවේ. කතා කරලා අන්තිමට එයාත් හිත හදාගෙන මට වැඳලා එහෙම ගියා. ඉතිං ඔය සිද්ධිය මගේ ඔලූවේ ටිකක් වැඩ කළා. ඔය සිද්ධියත් එක්ක තමයි මා අහසේ ලියූ දේ කිව්වේ නුඹට විතරමයි ගීතය ලිව්වේ.


මේ තරුණ ගැහැනු ඔහුට ආදරය කර තිබෙන්නේ කායික ආසාවක් හිතේ තියාගෙන නෙමෙයි. නමුත් ඇයට වඩා මඳක් වැඩිමහල් තරුණයා ඇගෙන් කායික ආසාවන් මුදුන් පමුණුවාගන්න කටයුතු කොට තිබෙනවා. මෙන්න මේ පරිසරය තුළ තරුණ යුවතිය කළකිරීමට පත්ව තිබෙනවා. අවසානයේදී ඇය ආදරයට සමු දී පැත්තකට වෙලා."


"ප්‍රාර්ථනා මහ කන්දේ

කළුවර පාමුල උන්නේ මං

නුඹේ නුරා තරු එළියේ

කඳු මුදුනට ගෙන

නොගියා නම්...."


"මේ පද ටික හා ගීතයේ ඉතිරි පද ටිකත් ඔබ හොඳින් කියවා බැලුවොත් ගීතය ඔබට හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි. ගැහැනු ළමයෙක් මුලින්ම ආදරය කරන්නේ මහමෙරක් තරම් උසට. ලෝකයක් තරම් බරට. ඒත් ඇතැම් පිරිමි අයට මේ ආදරේ තේරුම් ගන්න අමාරුයි. කායික ආසාවන් හැමදේකටම වඩා වැඩියෙන් ඉදිරියට ගෙනත් තියලා අර සුන්දර කුළුඳුල් ආදරය අවහිර කරනවා. අවසානෙයේදී සිදුවන්නේ පසුතැවිලි වෙන්න විතරයි." මේ ගීතය තුළ ඒ අදහස පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලැබෙන්නෙත් ඒ නිසයි.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...