Friday, July 10, 2020

සුමිහිරි පානේ ...

1944 අග භාගයේදී HMV තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය බි. එස්. පෙරේරා මහතා වෙත ලැබුණු පසු ඔහු විසින් බයිලා ගීත රාශියක් ග්‍රැමොෆෝන් තැටි ලෙස නිකුත් කරනු ලැබීය. අදටත් අප අතර ජනප්‍රිය “ආයාම්මා කොතන ගියා” වැනි බයිලා ගායනා මුල් වරට නිකුත් කරන ලද්දේ බි.එස් පෙරේරා විසිනි. මෙහි සදහන් “සුමිහිරි පානේ” ගීතය අද අප අතර ප්‍රචලිතව ඇත්තේ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා විසින් පසු කාලීනව ගායනා කරනු ලැබූ ගායනාව ය. නමුත් "සුමිහිරි පානේ” මුල් ගීතයට දශක හතකට ආසන්න ඉතිහාසයක් ඇති බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය.

මෙම ගීතයේ මුල් ගායනාව 1940 දශකයේ බි.ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතාගේ “සැඟවුණු පිළිතුර“ නාට්‍යය (මෙය පසුව 1951 දී චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී) වෙනුවෙන් එඩි ජයමාන්න මහතා සහ පිරිස විසින් ගායනා කරනු ලැබූ, හියුගෝ ප්‍රනාන්දු මහතා විසින් පද රචනය කළ බයිලා ගීතයයි. 1944 වසරේ “රුක්මණී“ නමින් නිකුත් කළ ගීත පොතක මෙම ගීතයෙහි පදමාලාව සදහන් වේ. කෙසේවෙතත්, ජයමාන්න මහතාගේ වේදිකා නාට්‍යවලට ඇතුළත් වුණු බොහෝ ගීත, පසු කාලීනව එකී නාටක පිටපතම, ඔහුගේ චිත්‍රපට සදහා යොදා ගන්නා අවස්ථාවන්හිදී භාවිත වුයේ නැත. එසේම, එම නාට්‍ය ගීත කිසිවක් ග්‍රැමොෆෝන් තැටිවලට 1940-46 වකවානුව තුළ පටිගත කෙරුණේ ද නැත. එබැවින්, මුල්ගීතයේ තනුව කෙසේ වීද යන්න නිශ්චය ලෙස සදහන් කළ නොහැකි ය. අවාසනාවකට මෙන් එඩී ජයමාන්න සහ පිරිස ගැයූ මුල් ගීතය කාලයත් සමගින් වියැකී ගොස් ඇත. 1944 මුද්‍රිත නාට්‍ය ගීත පොතේ ඇතුළත් එම මුල් නාට්‍ය ගීතයේ පදමාලාව, සේයාරුවක් සමගින් මෙහි ඉදිරිපත් කර ඇත.

නමුත් අද අප මෙහි ඉදිරිපත් කරනු ලබන්නේ ග්‍රැමොෆෝන් තැටියකට නැගුණු “සුමිහිරි පානේ“ මුල් බයිලා ගීතයයි. 1945 වසරේ මීගමුවේ ඩබ්ලිව්. ඩී .මර්සිලිනු ඇල්බට් මහතා විසින් රචනා කරනු ලදුව, බි.එස්. පෙරේරා මහතාණන් විසින් ගීත තනු සැපයු මේ ගීතය අඩංගු HMV තැටියේ (එව් 13) සඳහන් අයුරින් ගීතය ගායනය කරනු ලබන්නේ “HMV තාරකාවන්” විසිනි. බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතාගේ ඇතැම් නාට්‍යවල ගේය පද රචකයෙකු ව සිටි මීගමුවේ ඩබ්ලිව්. ඩී මර්සිලිනු ඇල්බට් මහතා, එවකට අතිශය ජනප්‍රියවූ “සුමිහිරි පානේ“ නාට්‍ය ගීතය ඇතැම් විට සිය ග්‍රැමොෆෝන් ගීත රචනාව සඳහා පාදක කරගත්තේ යැයි සිතිය හැකි ය. නමුත් නාට්‍ය ගීතයේ සහ ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාවන් එකිනෙක වෙනස් ය.

1945 දී තැටියට නැගුණු මුල් ග්‍රැමොෆෝන් ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

කන්ඩ බොන්ඩ ඕනතරම් තියෙනව සල්ලී 
යන්ඩ යමුකො ජොලි කර කර වත්තල් පල්ලී
පාරුවෙ නැඟලා -කිය කිය බයිලා
සුමිහිරි පානේ - පදමට ගහලා
කැලණි ගඟේ උඩහ වැහැල බොරදිය එන්නා
හැඩ පාරේ ඉන්න බැරුව මාළු පනින්නා
පොඩි පොඩි ඉස්සෝ -ලොකු ලොකු ඉස්සෝ
සුමිහිරි පානේ - පදමට ගහලා
ගත්ත නේද ඩාලිං ඒ විස්කි බෝතලේ
අඩිය නොගහ පැදල යන්න බැරිය සීතලේ
සුමිහිරි පානේ -පදමට ගහලා
සුමිහිරි පානේ -පදමට ගහලා
එගොඩ ගොඩේ බෙලි පඳුරේ බෙලි මල් පිපිලා
දෙන්නද මයි ඩියර්ට ඒ බෙලි මල් කඩලා
යමු හරවාලා -එගොඩට පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා
සුළං වැදීලා වතුරේ රැල්ල නඟින්නා
අන්න අතන හැඩපාරේ සුළි කැරකෙන්නා
ගන්නඩකො ඩාලිං -මේ විස්කි බෝතලේ
සුමිහිරි පානේ - පදමට ගහලා
ඈත පෙනේ ගඟ පහළින් පාරු පදින්නා
හැඩපාරෙන් එන්න බැරිව කඹෙන් අදින්නා
හුළං ඇදෙන්නා - රුවල් වැනෙන්නා
සුමිහිරි පානේ - පදමට ගහලා
පරිස්සමෙන් පදිමු අතන ගලේ හැපේවී
අපොයි අපොයි ඩියර් අපිව ගඟේ වැටේවී
ගල බේරාලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ -පදමට ගහලා
කඳු උඩහින් බොහොම වැරෙන් එයි පීනාලා
ඔන්න ඩියර් අපිව ගිලියි එනවා කිඹුලා
ඉක්මන් කරලා - යමු යමු පැදලා
සුමිහිරි පානේ - පදමට ගහලා

1945 වසරේ නිකුත් වූ මෙම ගීතය ගායනා කළ “HMV තාරකාවන්” කවුරුන් දැයි ග්‍රැමොෆෝන් ගීත තැටි ලේබලයේ සදහන් ව නොමැත. එවකට මුද්‍රිත ගීත පොත් වල අඩංගු කරුණු සොයා බැලීමෙන් සහ ගායනයන්ට සවන් දීමෙන් තහවුරු වුයේ, ගීතය ගායනා කළේ එවකට ජනප්‍රිය HMV තාරකාවන් යුවලක් වුද, පසුව යුගදිවියට පිවිසුණා වුද, “ස්වර්ණ මන්ත්‍රී“ (විල්ෆ්‍රඩ් පෙරේරා) සහ “චිත්‍රලේඛා” (වී.පි.අනුලාවතී) ගායක යුවළ බවය. 1940 දශකයේ එම් . කේ වින්සන්ට් සමගින් ගැයූ “මාතා කුසයේ,” “ ප්‍රේමි මගේ ප්‍රේම හිමි මාගේ”, “ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ“, “ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ” ආදී ගීත වී.පී අනුලාවතී ගේ ජනප්‍රිය ගායනාවන් ය. ආනන්ද සමරකෝන් මහතා සමගින් බොහෝ ගීත ගායනා කළ වී. පී. ලීලාවතී මහත්මිය එතුමියගේ සොහොයුරිය යි. 1944 න් පසු සිය සැමියා වූ විල්ෆ්‍රඩ් පෙරේරා (ස්වර්ණ මන්ත්‍රී) සමගින් ගායනා කළ “සාර කෙතේහි ” සහ “කාන්ති දේ චන්ද්‍රා ලෝකේ“ ආදී ගායනා එම දෙපළගේ එවකට ප්‍රසිද්ධියට පත් වූ තවත් සුගායනයන් ය. වී.පී අනුලාවතී (චිත්‍රලේඛා) මහත්මිය එවකට ගුවන්විදුලි ගායිකාවක ලෙස ද, මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.
මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින්ම සදහන් කළ යුතුය. බටහිර වාද්‍ය භාණ්ඩ මුසුකර සිංහල සංගීතය නව මගකට යොමු කළ මුල්කාලීන සංගීතඥයින් අතුරින් බි.එස්.පෙරේරා මහතාට හමුවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෙම ගීතය සාමාන්‍ය බයිලා ගීතයක භාවිත කරන සංගීත භාණ්ඩ භාවිතයට වඩා සුසාදිත නිර්මාණ භාවිතයක් ප්‍රකට කරනු ලබයි. විශේෂයෙන් ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩයක් ප්‍රමුඛවත්, වයලීනය, ගිටාරය, වැනි බටහිර වාද්‍ය භාණ්ඩයන් ද, මෙම ගීතය සඳහා භාවිත කර ඇත. මෙම ගීතයේ පියානෝව වාදනය කළේ ද, බී .එස්.පෙරේරා මහතා විසිනි. තාල වාද්‍ය භාණ්ඩ භාවිතයක් මෙම ගීතය තුළ දක්නට නොලැබීම ද එක්තරා විශේෂත්වයකි. කාසියකින් බෝතලයකට ගසමින් තාලය සැපයීම ද, තවත් සුවිශේෂි ලක්ෂණ ලෙස පෙන්වාදිය හැකි ය. ගී තනුව ඉතා අවම ස්වර කිහිපයකින් නිර්මාණය කොට ඇති අතර අන්තර් වාද්‍ය ඛණ්ඩ ද, එක් තනුවක් ම පුනර් වැයිමෙන් ද, වැළකී සිටීම මගින් ගීතයේ කර්ණරසායනභාවය තීව්‍ර කිරීමට සමත් වී ඇත.

දශක ගණනාවක් කාලයේ වැලි තලාවෙන් මැකී ගිය, ශ්‍රාවක පරපුරු ගණනාවක් මෙම රසාලිප්ත ගීතයෙන් පිනැවූ සියලුම කලාශිල්පීන්ට අපගේ උපහාරය ම වේවා.

                    







තනිතරුවේ...

තනිතරුවේ ගීතය පේ‍්‍රමකීර්ති වික්ටර්ට ලියාදුන් තවත් අපූරු ගීතයකි. මේ ගීතය පේ‍්‍රමකීර්තිට ලියැවුණේ අහම්බෙන් බව කොහේදී හෝ අසා තිබිණි. ඒ ප‍්‍රශ්නයට පිළිතුර සොයා ගැනීමට මේ කදිම මොහොත නොවේදැයි සිතිණි. මේ ප‍්‍රශ්නය වික්ටර් රත්නායකයන් හමුවේ තබමි.

‘‘මගේ ‘ස’ ප‍්‍රසංගයක් තිබුණා ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක. ප‍්‍රසංගය ඉවරවෙලා මදුවිතකින් එහෙම සන්තර්පනය වෙලා මමත් ජෙනරාල් සුනිල් තෙන්නකෝනුත් කතාබහ කර කරා හිටියා. ඔය වෙලාවෙ ඇහුණ කවුරු හරි මහ හයියෙන් තනි තරුවේ කියල කෑ ගහනවා. මං කිව්වා කව්රු හරි කෑගහනව කියලා.

මෙතන විජිත කියලා මගෙ මිතුරෙක් හිටියා. මම කිව්වා විජිතට ගිහින් බලන්න කියලා. බලන්න ගිය මිනිහා මෙන්න ගිය ගමන්ම ආපහු ආවා. පෑනකුයි කඩදාසියකුයි දෙන්න විජිත කිව්වේ කලබලෙන්. කව්ද කෑ ගහන්නෙ කියලා මං ඇහුවා.

පේ‍්‍රමකීර්ති. එයා ගල් තලාවක නිදාගෙන අහස බලාගෙන කෑ ගහනවා. මට කොලේකුයි පෑනකුයි අරගෙන එන්නලූ.

ජෙනරාල්ගෙ අතින් කඩදාසියකුයි පෑනකුයි අරගෙන ගිය විජිතට, පේ‍්‍රම් කියලා තනි තරුවේ ඔබත් ඔතන ඔහොම ඉන්න. මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා. එච්චරයි. සිංදුවෙ ඉතිරි ටික ලියවුනේ කොළඹ ආවට පස්සෙ මම මේ සිංදුව පටන්ගත්තෙත් තනිතරුවේ කියලා කෑගහලා. මං ඒ ටික ගත්තෙ එදා පේ‍්‍රමකීර්ති කෑ ගහපු තාලෙටමයි.’’

තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

තනිතරුවේ.................///

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

වචනයට යා හැකි දුර නතර වූ තැන උපදින්නේ සංගීතයයි . ඒ සඳහා තනි තරුවේ නම් වූ නිර්මාණය කදිම නිදසුනක් වේ. ප්‍රේමකීර්තිගේ වචන නිශ්චිත ඉලක්කයක් කරා එල්ල වන්නක් නොවේ. එහෙත් හදවත පසාරු කරගෙන යන පාළු වේදනාත්මක බවක් ශ්‍රාවකයා තුළ ඉතිරි කිරීමට මේ ගීතය සමත්වෙයි.

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

කෙතරම් අපූරු චිත්‍රයක් ද? තරුව සිටින්නේ අහසේ ය. තමා සිටිනුයේ මහ පොළවේය. දුරස් වී එකිනෙකා දෙස බලා සිටිනු මිස වෙන කුමක් කරන්නද? තරුවක් තනිවී ඇත. ඔහුත් තනිවී ඇත. ඉතින් අපි දෙතැනක හිඳ එකිනෙකා දෙස බලා සිටින්නෙමු.

මේ තරුව කවුද? ඒ ප්‍රේමවන්තියක් හෝ බිරියක් විය නොහැකි ද? නමුත් ඇය තරුවක්ම ය. ජීවිත කාලය තුළ ඔහු ඇගෙන් එළිය බිඳක් හෝ ලබාගෙන තිබේ. ඇය අහසේ සිටියත් වෙන්වී දුරස් වුණත් ඇය තරුවක් ම ය. ඒ නිසා ඔහුට කෙසේවත් ඇයට වෛර කළ නොහැකිය. කළ හැක්කේ බලාසිටීම පමණක් මය.

”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ....."

මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා වූ තරුවකි. ඔහුට ආදරය කළ තරුවකි. ජීවන ගමන්මඟ එළිය කළ තරුවකි. තනි නොවී සිටි තරුවකි. එහෙත් දැන් තනි තරුවකි.



මා තොටින් එන ...

මා තොටින් එන උතුරු සුළඟේ
ගිනි සිඹින මඩු පල්ලියේ...
දෑස්‌ අග මුතු කඳුළු හංගන
සරෝජා... මගෙ දෝණියේ...

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක්‌කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි ඔබ
ඒත් අපි එක පංතියේ....

කරවටේ අත දමා හිනැහුන
කෝ නුඹේ පොඩි යාළුවන්....
දයාවක්‌ නැති ලෝකයක්‌ දැක
උන් ගිහිං පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත්
අත වනන තුර කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ
කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්....

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක්‌ දැක සිත නිවා ගන්නට
දුවේ ඩිංගක්‌ හිනැහියන්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පදරචනය - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - රෝහණ වීරසිංහ

මහින්ද චන්ද්‍රසේකර, එහි එවැනි සුන්දරත්වයක් දුටුවේ නැත. පානම වැවේ නෙලුම් මල් පිපුනද ඒවා සිව්දිගෙන්ම ඇසෙන වෙඩි හඩට බයේ පෙති අඩක් හකුළුවාගෙන උන්නාය. එහි උන් සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දරු පැටවුන් මේ නෙළුම්මල් මෙන් වෙඩි හඩින් බයවී එකම පන්තියක එකට බයෙන් වෙලී අකුරු කරන හැටි මහින්දයන් දුටුවා.

මේ ත්‍රස්තවාදීන් විසින් දෙමළ ළමයින් පැහැරගෙන ගොස් ඔවුන්ගේ මීනීමරු ත්‍රස්තවාදයට යොමුකර සිංහල දරුවන් මරා දැමූ යුගයක් වුණා. මේ නිසා ඇතැම් දරුවන් පාසල් ගමන් නතර කර ගමෙන් බාහිර මහා මන්දිරවල බැල මෙහෙවර කම් වලට ගියේ තම පණ බේරා ගැනීමටයි. ගුරුවරුනට සිදුවූයේ මේ සියල්ල දෙස බලමින් අසාධාරණයට අයුක්තියට හිස නමමින් නිහඩව කම්පා වීමටයි.

තවදුරටත් පානම මහා විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට බැරි නිසා මහින්ද චන්ද්‍රසේකරයන් අම්පාරේ සිංහලයන් වැඩි පෙදෙසක පාසලකට මාරුවීමක් රැගෙන ගියා. තවත් කලකට පසුව ගල්නෑව මැදි විදුහලට ගියත් පානම්දී දුටු යුද්ධයට බියෙන් සිටි පුංචි සරෝජලා ඔහුගේ සිත නිරන්තරයෙන් කම්පාවට පත්කලා.

මෙතෙක් කලක් සිතට වදදුන් මේ සිද්ධි සමූහය මහින්ද චන්ද්‍රසේකරයන්ගේ සිතෙන් එලියට පැන්නේ වචන ගොඩාක් ලෙසටයි. ඒ 1992දී පමණ. අත්දැකීම පානමට අයත් වූවත් පරිසරය ඔහුට හුරුපුරුදු මැදවච්චිය, මඩුපල්ලිය, මන්නරම වැනි ප්‍රදේශ වලට බද්ධ වෙමින් ලියවුණා.

මෙය ලියාගෙන ගිය මහින්ද චන්ද්‍රසේකරයන්ගේ මතකය 1989 කලබල සිද්ධිවලින්ද සසල වුණා. ඔහු අනුරාධපුරයේ විදුහලක සේවය කල සමයේ විදුහල අසල බෝම්බයක් පුපුරා ගියා. ඒ හඬට වයසක විදුහල්පතිවරයාගේ අතෙහි තිබූ පෑන බිමට වැටුනේ ලියමින් සිටි අකුරක්ද ඇදකරමින්. වචන පොලිමේ ආවේ මහින්දයන්ටත් හොරාය.

මහින්ද චන්ද්‍රසේකර කවියෙක් බැවින් එතුමා කවියකැයි සිතූ මේ පද මාලාව ඔහුගේ මිතුරු කරුණාරත්න දිවුල්ගනේමහතගේ මැදිහත්වීමෙන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායිකාවට ලැබුනි. රෝහණ වීරසිංහයන් වෙතට ගීතය රැගෙන ගියේත් කරුණාරත්න දිවුල්ගනේ මහතාමයි. මේ ගීතය නිර්මාණයේදී වචන අඩුකර දෙන ලෙස රෝහණයන් දීපිකාගෙන් මෙන්ම මහින්දගෙන්ද ඉල්ලා තිබෙනවා. එහිදී කලින් තිබූ අපූර්වත්වය මහින්දගේ නව පද මාලාවෙන් ගිලිහී ගොස් තිබෙනවා. එබැවින් රෝහණ වීරසිංහයන් පරණ පද වලටම අපූර්ව තනුවක් නිර්මාණය කර තිබෙනවා.

එදා මෙදා තුර හැමදාමත් රසික සිත් සතන් කම්පාවට පත්කල මේ ගීතය, ජ්‍යත්‍යන්තර සාම ත්‍යාගය සදහා නිර්දේශ වුණා. ගුශි ජ්‍යත්‍යන්තර සාම සම්මන උලෙල 2012 නොවැ 28 පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණා. එහිදී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මේ ගීතය ගයා සම්මාන ලබා ගත්තා.


සිනා මල් ගොඩක් ...

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්

බලන්න ආසයි බටහිර සැන්දෑ අහසේ 
ඉගිල්ලෙන්න ද  මම කුමාරියක් වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ 
අහුලා ගන්නද සවනට මිහිරියි  අම්මේ
අහුලා ගන්න ද ඒ ගී සවනට මිහිරියි අම්මේ
ගෙයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු පිරෙයි
ඒ  ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...

සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්

ගායනය - නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග 
පදරචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන 
තනුව - විජේරත්න රණතුංග 

මේ ගීතය රචනා කලේ ප්‍රවීණ ගීත රචක රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා. එතුමා ගේ වචන වලින්ම මේ ගීතය රචනා වූ ආකාරය මෙසේ සඳහන් කරන්නම්.

"විශාරද විජේරත්න රණතුංග සහ විශාරද නිර්මලා රණතුංග කියන්නේ මගේ ජීවිතේ මට ගොඩාක් සමීප, ඒ එගේම ලෙංගතු ළබැදියන් දෙදෙනෙක්. මම ආධුනික ගීත රචකයෙක් හැටියට ඔවුන් හමුවෙන්න මිරිහානේ තිබු ඔවුන්ගේ නිවසට යන හැම වෙලාවකම ඔවුන් දෙපල මාව පිලිගත්ත සුහදශිලි භාවය මේ සටහන ලියන මොහොතෙත් මට සිහිපත් වෙනවා.

මා ගීත රචකයෙක් ලෙස කෙෂ්ත්‍රයේ ස්ථාවර වෙන්න ඒ දෙපලගෙන් ලැබුන සහය කියා නිම කරන්න බැහැ. ඒ කාලේ ඇයගේ (නිර්මලා රණතුංග) හැම සරල ගී වැඩසටහනක් සදහාම මගේ ගීතයකුත් තෝරගෙන ගයන්න තරම් ඇය නිහතමානි වුනා. මම ඇයට ආදරෙන් ආමන්ත්‍රනය කෙරුවේ නිම්මි අක්ක කියලයි. ඒ තරම් බැදිමක් අප අතර තිබුනා.

මම ඒ කාලේ රණතුංග නිවසට යන කොට සෙව්වන්දි දුවට වයස අවුරුදු 10 ක් විතර ඇති. බොහෝම හුරතල් කෙලි පොඩිත්ත. අම්මා තාත්තා වගේම සෙව්වන්දි දුවත් මට බොහෝම සමීප වුනා. ඇයටත් අම්මාගේ ගායන හැකියාව කුඩා කාලේ ඉදන්ම පිහිටා තිබුනා. ඒ කාලේ නිම්මි අක්කා ඇයගේ පළවෙනි කැසට් පටය සදහා සූදානම් වෙමින් හිටියේ. ඇය මට කිවුවා "මල්ලී මට දුවත් එක්ක කියන්න ගීතයක් ලියලා දෙන්න" කියලා.

ඒක ඇහුවම මට ලොකු සතුටක් දැනුනා. ඒ සතුටට එක හේතුවක් තමයි ඒ දෙන්නට යුග ගීතයක් ලියන්න ආරාධනා ලැබීම. දෙවෙනි කාරණාව තමයි කැසට් පටයකට ගීතයක් ලියන්න අවස්ථාවක් ලැබීම. මොකද ඒ යුගයේ ගායක ගායිකාවන්ගේ කැසට් පට වලට ගීත ලියුවේ ප්‍රේමකිර්ති ද අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල, කේ. ඩි. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, දයා ද අල්විස් වැනි කේෂ්ත්‍රයේ අති දැවන්තයන්. ඉතිං මේ ලැබුන අවස්ථාව ආධුනිකයෙක් හැටියට මට මහමෙරක් තරම් වටිනවා.

නිම්මි අක්කා සහ සෙව්වන්දි දුව අම්මා - දුව වගේම හොද යෙහෙළියන් දෙදෙනෙක් වගේ තමයි ජීවත් වුනේ. දරු සෙනෙහස, මව් සෙනෙහස මම ඒ කලේ ඒ දෙදෙනා තුලින් උපරිමව දැක්කා. ඒ නිසා මට හිතුනා මේ අම්මගෙයි දුවගෙයි ජීවිතම ගීතයකින් නැවත් ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ කියලා.

ඒත් ඉතිං කාලයක් ගත වුනත් මගේ අතින් ඒ ගීතය ලියවුනේ නැහැ. හිතේ ලියන්න නිමිත්තක් තිබුනත් ගීතය ලියන්න හොද ආරම්භයක් ගන්න මට හැකිවුනේ නැහැ.

ඔය විදිහට ගීතය කොහොම ලියන්නද කියල හිත හිතා ඉන්නකොට එක දවසක් කියවමින් හිටපු සගරාවක තිබුන එක් රූපයක් මගෙ හිත ගොඩාක් චංචල කලා. මල් වත්තක තියෙන පාරක් දිගේ ඇවිද ගෙන යන අම්මා කෙනෙකුගෙයි පුංචි දුවෙකුගෙයි ජායාරූපයක් තමයි එ සගරාවෙ පල වෙලා තිබුනේ. ඒ රූපයේ හිටපු දුව පාරේ ඇවිදගෙන යන ගමන් මල් දිහාට අත දික් කරමින් ඉන්න ඉරියව්වක් තමයි ඒ ජායාරූපයේ සටහන් වෙලා තිබුනේ. ඔන්න ඕක තමයි මගේ හිතේ ඇදිලා තිබුන රූපය සහ ඔන්න ඕක තමයි මේ ගීතය ලියවෙන්න ආරම්භයත් වුනේ.

“සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කදුලු මල් ගොඩක් පාර දෙපැත්තෙ
නෙලා ගන්න එපා මගේ පුංචී මල් කුමාරියේ

සිනා මල් ගොඩක් - නෑ කදුලු මල් ගොඩක්"

ක්ෂණිකව ඔන්න ඔය පද ටික මගේ හිතට ආවා. ඒ මොහොතෙම මම කොලයක් පැනක් අරගෙන ඒ පද ටික ලියා ගත්තා. මුල් වචන ටික හිතට ආවත් එක්කම අර හිතේ තිබුන නිමිත්ත ක්ෂනිකව අකුරු වෙලා ගීතය ලියවිලා ඉවරත් වුනා. හිතන්න ලොකු කාලයක් ගත වුනත් මේ ගීතයත් මම බොහෝම කෙටි කාලයකින් ලියලා ඉවර කරපු ගීතයක්.

බලන්න ආසයි සෑන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ
සිනා මල් ගොඩක් - නෑ කදුලු මල් ගොඩක්

අහන්න ආසයි තුරු හිස කුරැළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දු දන්නේ

මට මේ ගීතය ඒ විදිහට බොහෝම කෙටි කාලයකින් අකුරු කරන්න පහසු වුනේ ඒ අම්මාගේ (නිර්මලා රණතුංග) සහ දුවගේ (සෙව්වන්දි) දරු සෙනෙහස සහ මව් සෙනෙහස මම උපරිමයෙන් අහල දැකලා තිබුන නිසා වෙන්න ඇති. ඒ වගෙම මේ ගීතය මට ලොකු වාසනාවක් ගෙනාපු ගීතයත් උනා. රත්මලේ බන්දුල ගුණවර්ධන කියන පුද්ගලයාට ගී පද රචකයෙක් විදිහට කෙෂ්ත්‍රයේ ස්ථාවර වෙන්න බලපාපු එක් ගීතයක් තමයි මේ ගීතය. ඒ වගේම සෙව්වන්දි රණතුංග කියන දියනිය ගායිකාවක් බවට පත් කෙරුවේත් මේ ගීතයයි.

මේ ගීතය බොහෝම ජනප්‍රියත් වුනා. ඒ වගේම අදත්, එදා වගේම එකසේ ජනප්‍රියයි. සැම මවු කෙනෙකුටම දියනියකටම අදාල ගීතයක්. එදා නිම්මි අක්කා සහ ඇගේ දියනිය මේ ගීතය ගැයුවා වගේම මම මේ ලගදි පත්තරේක දැක්කා සෙව්වන්දි ඇගේ දියනිය සමගත් මේ ගීතය ගායනා කලා කියලා.

මෙහි තනුව සහ සංගීතය නිර්මාණය කෙරුවේ විශාරද විජේරත්න රණතුංගයන්. මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි තාත්තා සංගීතවත් කරලා අම්මා සහ දුව විසින් ගායනා කිරිම. මේක රණතුංග පවුලේ නිර්මාණයක්. මම මේ ගීතයෙන් කියන්න උත්සාහ කෙරුවේ පවුලක අම්මා සහ දියණිය අතර කුමන සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුද, කුමනාකාරයේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුද කියන කාරණාවයි.

විශේෂයෙන් යෞවනෝදයට එළඹෙන වයසේ දුවක් සිටින අම්මා කෙනෙක් ඒ දුව සමග යෙහෙලියක සේ සිටිය යුතුයි. එහෙම ඉන්න අම්මා කෙනෙක් ලබන දුව ඇත්තටම වාසනාවන්තයි. ඇය හැම විටම ආරක්ෂිතයි. එහෙම අම්මා කෙනෙක් ලැබෙන දුවකට කිසි දාක වරදින්න හේතුවක් නැහැ. අන්න ඒ පණිවිඩය තමයි මම මේ ගීතයෙන් සමාජ ගත කරන්න උත්සාහ කෙරුවේ."



එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ...

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ  ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ       ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

මේ තොටියා යනු අන් කවරෙක්වත් නොව වියපත් වූ පිරිනිවන් පාන්නට සූදානමින් සිටින බුදුරජාණන්වහන්සේයි. ඩෝල්ටන් අල්විස් මහතා ඉතාම ඇලුම් කරපු සූත්‍රයක් තමා මහා පරිනිබ්බාණ සූත්‍රය. ඒ ඇසුරින් තමා මේ ගීතය රචනා වී තිබෙන්නේ. එතුමාගේ බොහෝ ගී පද රචනා හොඳින් නිරීක්ෂණය කලොත් වචන ඉතාම අඩුයි. හැබැයි තේරුම ඉතා ගැඹුරුයි. මේ පද මාලාවෙන් ඒ බව මොනවට ඔප්පු වෙනවා.

බෞද්ධ සාහිත්‍යයේ සංසාරය මහා සයුරකටත්, බුදුන් තොටියෙකුටත් සමාන කළ අවස්ථා ඕනෑ තරම් දකින්නට පුළුවන්. හොඳම උදාහරණයක් තමයි කෝට්ටේ රජ කළ සිරි පැරකුම්බා රජුන් විසින් ලියන ලද “රුවන් මල් නිඝණ්ඩුව” කියන කෝෂ ග්‍රන්ථය.

“නමවූ කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත්වගසෙන්
කොළඹට අළෙ මහත්මා”“බිය ජනක සසර සයුරෙහි (වැටී) භ්‍රමණය වන්නා වූ සත්ත්ව සමුහයා, මහොත්තමයන් (මහත්මා – බුදුරජාණන් වහන්සේ) විසින් සෙත් ශාන්තිය නැමැති තීර්ථය  (කොළඹ) හෙවත් නිර්වාණය නැමැති නැව් තොටට පමුණුවන ලද්දේය”.

බෞද්ධ දර්ශනය වෙනත් සෑම ආගමකින්ම වගේම වෙනත් සෑම දර්ශනයකින්ම වෙනස් වන ප්‍රධානතම කාරණාව දැඩි අනම්‍ය නීති රීති කිසිවක්ම බෞද්ධ දර්ශනයේ දකින්නට නොහැකි වීම. ඒ නිසා බුදුන් කියන්නේ මග පෙන්වන්නකු එහෙමත් නැතිනම් සංසාර සාගරයෙන් එතෙර කරන්නෙකු මිසක් ප්‍රඥප්ති හෝ නීති රීති පනවන්නෙකු නෙමෙයි. ඔබ මේ මග ගියොත් මෙන්න මෙතැනින් ඔබේ ගමන කෙළවර වේවි, අනෙක් මාර්ගයෙන් ගියොත් අන්න අතනින් ඔබේ ගමන කෙළවර වේවි කියන අන්ත දෙක ඉතාම පුළුල්ව විග්‍රහ කරලා මාවත පෙන්වුවා මිසක් ඒ මගම යන්නට කියලා කිසිම බල කිරීමක් බුදු දහමේ කොතැනකවත් නැහැ. ඒ නිසාම බෞද්ධ දර්ශනයේ ඕනෑම තැනක් යළි යළි විමසා බලන්නට, ප්‍රශ්න කරන්නට (ඒහි පස්සිකෝ ගුණය) ආරාධනාව කරන්නෙත් වෙන කවුරුවත් නෙමෙයි ඒ දර්ශනය ලොවට පෙන්වා දුන්නු බුදුන්මයි. ඒ ප්‍රශ්න කිරීම පාපයක්වත් බෞද්ධ සම්ප්‍රදායට පටහැණිව යාමක්වත් විදියට නොසලකන තරමටම බුදු දහම විවෘතයි. නම්‍යශීලීයි. මේ නිසා කිසිදා පන්සලකට පා නොතැබූ කෙනෙකුට වුවත් ඉතා හොඳ බෞද්ධයෙකු වන්නට පුළුවන්. මේ ගීතයෙත් “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ” කියන පද මාලාව මේ කාරණාව ඉස්මතු කරන තැනක්. ඔබට මේ බියකරු සංසාරයෙන් එතෙර වන්නට ඕනෑ නම් අගුලට නැගිය යුත්තේ ඔබම මිස එය බලහත්කාරයෙන් ඔබ තුළ පැටවීම බුදුන්ගේ දහම නෙමෙයි. ඒත් පමා වුණොත් අන්ධකාරයෙන් වෙළා ගන්නේ ඔබේම ජීවිතයයි.

ගඟුල අනෝමයි – අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ – අගුලේ නැගිලා
එගොඩ මෙගොඩ යනවා

පරිනිර්වාණයට ආසන්න මොහොතේ ලෝකයා වෙත බුදුන්ගෙන් ලැබුණු අවසාන උපදේශයත් ‘අප්පමාදෝ අමතපදං’ කියන බුදු වදනයි. ඒ කියන්නේ පමා  නොවී කුසල් රැස්කර සංසාරයෙන් එගොඩ වෙන්න කියන ආරාධනාව. මේ තොටියාගේ මුවින් පිටවෙන්නේත් ඒ ආරාධනාවමයි. මේ සංසාරය හෙවත් ගංගාවේ කෙළවරක් නැහැ. අනෝමයි. ඒ වගේම මා දැන් මහළුයි, මහන්සියි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. මට තාමත් පුළුවන් සංසාරයෙන් එතෙර කරන්නට, ඒත් ඒ ඔබ කැමැති නම්… “පමා නොවන්නේ අඳුර වැටෙන්නේ – යනවා නම් එන්නේ”.

මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන විශාරද ෂෙල්ටන් පෙරේරා මේ ගීතයට කොයි තරම් නම් සාධාරණත්වයක් ඉෂ්ට කළා ද කියනවා නම් ඔහුගේ ඒ කටහඬ වියපත් බුදුන් වහන්සේගේ වෙහෙසකාරී බව විතරක් නෙමෙයි, එහා ඉවුරේ සිට මෙහා ඉවුරට ඒ කියන්නේ මේ සංසාර සයුරේ ඔබ මොබ යන සෑම සියලු සත්වයන්ටම ඇහෙන තරම්. මේ ගීතය වෙනුවෙන් ෂෙල්ටන් පෙරේරා තෝරා ගත්ත ජන සංගීතයත්, පාරු කවිවල එන දීර්ඝ අන්තයන් සහිත ස්වර පරාසයන් මුහුවුණු තනුවත් නිසා සිංදුවේ කියැවෙන දාර්ශනික අර්ථය තොටියෙකුගේ ස්වාභාවික දින චරියාව එක්ක හරිම අපූරුවට පෑහෙනවා. ඒ වගේම ජල තරග ගැටෙන හඬත් එක්කම මුසුවන සෝබර සංගීත රාවයට දීර්ඝ ස්වර එක් කරන ෂෙල්ටන් පෙරේරාගේ වෙහෙසකාරී කටහඬ බුද්ධ චරිතයේ එක් අවස්ථාවක් සිහිපත් කරනවා…  “පිපාසයි ආනන්ද – ක්ලාන්තයි ආනන්ද”.

බුද්ධත්වයෙන් පසුව ගත වෙච්ච අවුරුදු 45ක කාලය බුදුන් අතින් සිදුවුණේ සංසාර ගංගාවේ ගිළුණු ලෝකවාසී සත්වයන් එගොඩට මෙගොඩ කිරීමයි. ඒ වගේම තමන් පවා මේ සංසාරය තුළ දී ඉපදෙමින් මැරෙමින් ඒ කියන්නේ එගොඩ මෙගොඩ යමින් මේ ගමන පැමිණි ආකාරය විස්තර කෙරෙන උන්වහන්සේගේ අවසන් සූත්‍ර දේශනාව වුණු මහා පරිනිබ්බාන සූත්‍රය අපට සිහිපත් කරන්නට ඩෝල්ටන් අල්විස් – ෂෙල්ටන් පෙරේරා සුසංයෝගය සාර්ථකව සිදු කර තියෙනවා.

‘If you meet the Buddha on the way, kill him’. ( ‘මහමගදී ඔබට බුදුන් හමුවුවහොත් ඔහු මරා දමන්න’) කියන යෙදුම සෙන් බුදුදහමේ බොහොම ජනප්‍රිය පාඨයක්. මේ යෙදුමෙන් අදහස් කරන්නේ ඔබ ගමන් කරන්නේ ධර්ම මාර්ගයේ නම් කිසිම කරුණක් සම්බන්ධයෙන් බැඳීමක් හෝ ඇලීමක් හෝ තබා ගන්න එපා කියන බොහොම ගැඹුරු ධර්ම කාරණාව. නිර්වාණය දක්වා යන ඔබේ ගමනාන්තයේ දී බුදුන් ගැනවත් එහෙමත් නැතිනම් ඔබේ ධර්ම ගුරුවරයා ගැන පවා තියෙන බැඳීමත් අත්හැර දාන්න කියන මේ කාරණාව මතුවෙන්නේ බෞද්ධ දර්ශනයෙන්මයි. ධර්මය කියන්නේ සසර ගමන කෙළවර කරගන්නට තියෙන පහුරක් මිසක් ඒ පහුර කර තබා ගෙන නොයා යුතුය යන බුද්ධ භාෂිතය බෞද්ධ දර්ශනයේම මිසක් වෙනත් කිසිම ආගමික සංස්ථාවක දකින්නට නැති අසහාය ධර්මතාවක්.

මේ ගීතයේ මතුවන තොටියා, ගංගාව, අගුල, අඳුර කියන සෘජු සංකේත වගේම ‘පමා නොවන්නේ’, ‘අදුර වැටෙන්නේ’, ‘ගගුල අනෝමයි’, ‘අද මට වෙහෙසයි’, ‘එගොඩ මොගොඩ යනවා’, ‘තව කවුරුද ඉන්නේ’ කියන මේ හැම යෙදුමක්ම බෞද්ධ සම්ප්‍රදායේ සහ බුද්ධ චරිතයේ අවස්ථා සහ සිද්ධීන් සිහිපත් කරනවා. එසේ නොවන එකම වචනයක්වත්, එකම යෙදුමක්වත් මේ මුළු මහත් පද මාලාවේම නැහැ. මේ හැම දේටම වඩා ප්‍රබල වෙන්නේ මේ ගීතයේ මතුපිටින් පෙනෙන අතිශය සරල බස් වහර.

මෙතරම් සරල බස් වහරකින් මෙතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක් දෙන්නට ඩෝල්ටන් අල්විස් හැරෙන්නට වෙනත් කිසිවෙක් සමත් වේවිද?

මේ ගීතය ෂෙල්ටන් පෙරේරාගෙන් පස්සේ ඔහුගේ පුතණුවන් වගේම තවත් බොහෝ ප්‍රවීණ හා ආධුනික ගායකයන්ගේ මුවින් අසන්නට ලැබුණත් ඒ හැම විටෙකම මතුවුණේ ඒ ගායකයන්ගේ මියුරු හඬ පමණක්ම කියන කාරණාව මෙහිදී සදහන් කරන්නේ ඒ විශිෂ්ට ගායකයන්ට අගෞරවයක් පිණිස නෙමෙයි. ඒත් ඩෝල්ටන් අල්විස්ගේ සරල බස් වහර හදවතටම උකහා ගෙන තමන්ගේම තනුවකින්, තමන්ගේම සංගීතයෙන්, තමන්ගේම වෙහෙසකාරී කටහඩින් ෂෙල්ටන් පෙරේරා ගයද්දී අප සිත් තුළ චිත්ත රූප මැවෙන්නේ පරිනිර්වාණයට ළං වූ ජීවමාන බුදුන්ගේ මිස ෂෙල්ටන් පෙරේරා නම් වූ ගායකයාගේ නම් නොවේ. එවන් පෙළහරක් පාන්නට ෂෙල්ටන් පෙරේරා හැර වෙනත් කිසිම ගායකයෙක් සමත් වේවිද?

මෙහි සංගීතයෙත් විශේෂත්වයක් තිබෙනවා. තොටගමගේ ෂෙල්ටන් පෙරේරා මහතා මෙහිදී බෙංගාලි ජන සංගීතයත් ශ්‍රී ලාංකීය ජන සංගීතයත් දෙකම මුසුකරමින් තමා තනුව නිර්මාණය කර තිබෙන්නේ. මේ ශෛලීන් දෙකම හාත්පසින්ම වෙනස්. නමුත් ඒ දෙකම එකවර යොදා ගැනීම විශේෂ හැකියාවක්.

බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි.

මෙහිදී තොටගමගේ ෂෙල්ටන් පෙරේරා විසින් එගොඩහ යන්නෝ.......... මෙගොඩහ යන්නෝ.................. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්. ඉතින් අපේ ජන සංගීතයෙත් එන පාරු කවිවලත් මෙය දකින්න පුළුවන්. එසේ දීර්ඝ ලෙස උච්චාරණය කරන්නේ ගඟේ එගොඩ සිටින අයටත් ඇසෙන අයුරින්. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හැදෑරු ෂෙල්ටන් පෙරේරා මහතා මේ දෙකම අවබෝධ කරගත් හැටි අපූරුයි නේද?

එතුමාගේ තනු නිර්මාණ ගැනත් විශේෂත්වයක් තියෙනවා. බොහෝ තනු වල අන්තරා කොටස් verses ගත්තොත් පලවෙනි අන්තරා කොටසේ තනුවත් දෙවන කොටසේ තනුවත් හාත්පසින් වෙනස්. විශ්වාස කරන විදියට මේ pattern එක ලංකාවේ ආරම්භ කලෙත් මෙතුමා විය හැකියි. ඒ වගේම හින්දි බස ගැන මනා දැනුමක් එතුමාට තිබුණා. එතුමා විවාහ වුණේත් ඉන්දියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පසුව ශෂී පෙරේරා නම් වූ ඇය මෙතුමා සමග ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කලා. එසේම ෂෙල්ටන් පෙරේරා මහතාත් කලක් හින්දි සේවයේ කටයුතු කල අතර එම සේවයෙන් ඉන්දියාව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික නිවේදකයා ලෙස එතුමා වාර්තා අතරට එකතු වෙනවා.

බොහෝදෙනා නොදන්නවා නමුත් එතුමා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඉන්දියාවේ මොහොමඩ් රාෆි වැනි ප්‍රවීණයන්ට පවා තබ්ලා වාදනයෙන් පසුබිම් වාදනයෙන් දායක වූ අයෙක්. එතුමා ගැයූ ගීත සංඛ්‍යාව ඉතාම අල්පයි. සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි ගණනත් ඉතාමත් අඩුයි. දරුදුක, හදවත නැත්තෝ, සිංගප්පූරු චාලි, ඉවසන දනා යනු ඒවාට උදාහරණ කීපයක් පමණයි.

එතුමා ජීවත්වූ‍යේ වසර 47ක් පමණයි. එතුමාගේ මරණින් පසු ඒ අනන්‍යතාව ඉදිරියට රැගෙන ඒමට එතුමාගේ පුත් සතිෂ් පෙරේරාත් දියණිය වූ අනුරාධා පෙරේරාත් සහෝදරයා වූ ඩන්ස්ටන් පෙරේරාත් සමත් වූවා. පියාගේ ගීතවලට නව සංගීත ආරක් එක් කරමින් අපේ සිත් වසඟ කල සතිෂ් පෙරේරාත් අවාසනාවට අපට අහිමි වුණා.



මේ ප්‍රථම වසන්තයයි ...

ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම් හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම් සුන්දරද.......

තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක්‌ ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක්‌ නැහැ... අපේක්‍ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි...

ප්‍රේමයේ ඇති සංවේදීතාවය නොලද තරුණයෙක්‌..... දිගු කලක්‌ හුදෙකලාව දිවි ගෙවූ චරිතයක්‌..... දැන් ප්‍රේමවන්තයෙක්‌ වෙලා...... පළමු පෙම..... ජීවිතයට වසන්තය උදාවෙලා. කුළුඳුලේ ආ වසන්තය..... ඔහුගේ ජීවිතය පුරා මල් පිපිලා.... ඒ විතරක්‌ද.. ඒ මල් රොන් සොයා එන බිඟුන්ගේ නාදය.......වසන්තය කොතරම් සුන්දර ද......

සනත් නන්දසිරිගේ කැසට්‌පටයට සිංදු දෙකක්‌ ලියාදෙන්න කියලා කිව්වා. මනෝඡ් පීරිස්‌ මට පොඩි ඉඟියකුත් දුන්නා.... අයියේ.... සීත රෑ යාමේ වගේ සිංදුවකුත් හොඳයි කියලා. ප්‍රේමය වස්‌තු විෂය වූ ගී තමයි ඉල්ලන්නේ. ඉතින් විරහ ගීයක්‌ නැතිව ප්‍රේමයේ ආනන්දය, චමත්කාරය ඇතුළත් කෙටි වචන ටිකක්‌ යොදමින් මම මේ ගීතය ලියුවා. ගීයේ පද රචකයා කුලරත්න ආරියවංශ පැවසුවා..

තරු නැගෙනතුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ...

ආදරයේ අත්දැකීම් නොලත් මේ හිරිමල් යෞවනය පාළුවෙන් ගත කළ ජීවිතය... අන්ධකාරයි... හුදෙකලාව සිටිද්දී බලාපොරොත්තු පොදියකින් හිත පිරිලා.. තාරුකා මල් පිපෙන තුරා නිද්‍රාශීලීව සිටි අම්බරය වගේ... සඳ පායා එනතුරා අඳුර රජ කළා සේ.... හුදෙකලා ජීවිතයට ඇය ආවා. හරියට අන්ධකාර රාත්‍රියට සඳ එළිය වැටුණා වගේ...

වචන අඩුවෙන් සංගීතඥයාට වැඩි ඉඩක්‌ දීලා.. ප්‍රේමයේ සතුට උද්දීපනය වන ආකාරයට මේ පද පෙළ ලියෑවුණා කියා මම හිතනවා..... රෝහණගේ තනුව, සංගීතය ඉතාම මධුරයි.. සනත්ගේ හඬ. අවුරුදු හතළිහකට කලින් ඇසූ තාරුණ්‍යයේ හඬ.... තරුණ්‍යයේ හැඟීම්.. ගායනයෙන් ඉස්‌මතු වුණා. කුලරත්න ආරියවංශ .... ගායනය තනුව ගැනත් තෘප්තිමත්.

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ...

ගිනියම් වූ කතරක ඉමක්‌ නොපෙනෙන මිරිඟුව දෙස බලමින් පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒත් ඒක මායාවක්‌... ඒ අතරේදි දිය පොදක්‌ සැබෑවටම ලැබුණොත්.... කර්කශ පොළොවක්‌ ඇති කතරක ගමන් කරද්දී සිසිල් ජලය සහිත දොළක්‌ හමු වුණොත්.... "ඕ ... මේ තරුණයාගේ ජීවිතයට ආවේත් හරියට කතරක හමුවන සිහිල් දොළක්‌ වාගේ....... ඇත්තටම වසන්තය ආවා වාගේ.....

ගීයෙ පද මාලාව ... සනත් නන්දසිරිගේ ළගන්නා හඬ වගේම රෝහණ වීරසිංහගේ මාධුර්යය ගී තනු.... එක්‌තැන් වී හැදුණු මේ ගීය අසද්දී ඇතිවන ආදර හැඟුම්..... වසන්තයක අසිරිය නොදැනෙන හිතක්‌ ඇද්ද.....

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ

පද: කුලරත්න ආරියවංශ
තනු: රෝහණ වීරසිංහ
හඬ: සංගීත් නිපුන් සනත් නන්දසිරි

- අජිත් අලහකෝන්
(දිවයින පුවත්පතින් උපුටා ගත්තකි)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...