Monday, November 30, 2020

අවන්හලක ඉපදී...

අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //


මෙහි ඇති සුළු කලක විනෝදේ

මත දෙවියන් යැයි රඟන මෙවේලේ

මළ පසු මට හිමි සොහොන් කොතේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං


අමතක කර ආදර ලෝකේ

සැමදා බොමු මේ ජය පානේ

ජීවත් වන මේ සුළු කාලේ

මගෙ මිතුරා වේ මධු පානේ

මගෙ මිතුරා වේ මධු පානේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //

මේ අවන්හලේ මං


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ

පදරචනය - ජයන්ත ප්‍රනාන්දු

සංගීතය - ජයන්ත ප්‍රනාන්දු


අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ නමින් ෂෙල්ටන් ගායනා කළ, ගීතය ගැන චෝදනා එල්ල වුණා නේද?

‘ඒ ගීතය නැව්වල වැඩකරපු මගේ මිතුරෙකු වන ජයන්ත ප්‍රනාන්දු ලියල හදාගෙන කියපු ගීතයක්. පස්සෙ මම ඉල්ලගෙන ගායනා කළා. මම ගායනා කළාම ‍රසිකයන් අතරට ගියා. සමහරු මේ ගීතයේ අදහස ගැන විවිධ මත පළ කරල තිබුණ තමයි. ඒත් මධුලෝලියකුගේ සිතුවිලි කියවෙන ගීතයක් හැටියට මේ ගීතයට කැමති පිරිසක් ඉන්නවා.’

ඔය ගීතය මගේ අදහසක්වත් මම කියලා ලියවගත්ත එකක්වත් නෙවෙයි. ගීතය ගැයුවාට ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් හෝ කැමැත්තකුත් නෙවෙයි. ඇත්තටම මෙය මුළු ජීවිතයම මීවිත කියලා හිතන කෙනෙක්ගේ සිතුවිලි ගැන කියවෙන ගීතයක්. මෙය ලිව්ව ජයන්තගේ මාමා  කෙනෙක් ඉන්නවාලු "කෙනත්" කියලා. ඔහු මත්පැන් තමන්ගේ ජීවිතය කියලා හිතන කෙනෙක්ලු. ජයන්තගේ මේ මාමාගේ ක්‍රියාකලාපය මුල්කරගෙන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මේ ගීතයේ "මේ සසරේ පින්කර ඇති  එකම කෙනා මං" කියන පදවල "කෙනා" නමින් හඳුන්වලා තියෙන්නේ කෙනත් කියන නම කෙටි කරලයි. මොකද බොහෝ දෙනෙක් ඔහුව අමතලා තියෙන්නේ "කෙනා" කියලයි. මේ කෙනත් මාමා තමන්ගේ ජීවිතය මත්පැන් කියලා හිතපු පුද්ගලයෙකු ලු. 

මේ ගීතය රසිකයන් අතරට වේගයෙන් ගියා. බොහෝ දෙනා හිතුවේ මම මත්පැන්වලට ගිජු වෙලා ඒක ගැන සින්දුවක් කියනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි මේක.


(උපුටා ගැනීම - සාරවිට ශාන්ත කුමාර විතාන) 




නින්ද නැති රැයේ ...

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


කිළිපොලා සැළී යමින් නොහිමි සීතලේ

තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


ගායනය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - ගුණදාස කපුගේ


"නින්ද නැති රැයේ" ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් අදහස් දක්වමින්.... 

මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. 

ඇය වෙනුවෙන් හුඟක් කවි ලියා තියෙනවා ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.

මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරණයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහයකට විතර පස්සෙ නැවත පටිගත කරනවා. ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිටපිටම වසර 03 ක් පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි. 

(උපුටා ගැනීමකි)







පින්න මලේ සුද ...

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මුහුණ පුරා පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා //


දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් අත වනතේ

මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


පින්න මලේ....


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

එන්නෙ අළුත් අවුරුදු කාලේ

ගන්න එපා පර දේස සිරිත් නෙක

මේක අපේ සිංහල දේසේ


පින්න මලේ....


ගායනය - එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - අමරසේන කංකානම්ගේ


 "පින්න මලේ සුද" පේ‍්‍රම ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින්......

 

එඩ්වඩ් දවසක් මට කිව්වා ”අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඩ්වඩ්ට කිව්වා අනේ එඩ්වඩ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඩ්වඩ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොම හරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.

 

ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා? 

අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඩ්වඩ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඩ්වඩ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඩ්වඩ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඩ්වඩ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ. 

මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ. 

පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදුද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.

 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Monday, November 23, 2020

රූ රැසේ අඳිනා ...

රූ රැසේ අඳිනා ලෙසේ අත්

ලෙළ දි දී විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

නාදනූ පා තබ තබා..


කම් පසේ දෙන සැර ලෙසේ දෙස

බල බලා නෙතඟින් සබා..

මම් කෙසේ පවසමි එසේ වර

සුර ළඳුන් දුන් රඟ සුබා....


පුන් මදාරා මල් දමින් මුදු

දිගු සුනිල් වරලස ගොතා..

මන්මදා කිතු ලිය ලෙසින්

උරතුර සරා දිලි මුතු ලතා....


මන් නදා වන මිණි මෙවුල් නද

වෙණ නදින් එක්කොට ඉතා..

උන් එදා දුන් රඟ දුටොත් තව

සක් සැපත් කවරෙක් පතා...


පිපි සමන් කුසුමන් පටින් තන

රන් හසුන් මෙන් මන් බැඳේ..

ලඹ සවන් දිගු රන් පසින් දන

නෙත් නුවන් බඳිමින් තදේ....


මඳ පවන් වැද ලෙළ පහන්සිළු

මෙන් රැඟුම් දෙන රන් බඳේ...

දිලි ඔවුන් රූ සිරි නුවන් වන්

බඹ වුවත් දැහැනින් මිදේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න හා ලතා වල්පොල 

සංගීතය - සුසිල් ප්‍රේමරත්න 

ගුත්තිල කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ ගීතයකි.


සුසිල් ප්‍රේමරත්න මහතා කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඉතාම දක්ෂ ගායකයෙක්. එතුමාගේ පියා ලංකාවේ බිහිවූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීයෙකු වූ සාර්ලිස් මාස්ටර්. මේ ගීතය ගයන ලතා වල්පොලගෙ මුල්ම නම රීටා ජෙනිවීව්. ගායන කටයුතු වලට ගැලපෙන විදිහට ඇයට ලතා කියල නම දාල තියෙන්නෙත් සුසිල් ප්‍රේමරත්න මහතා විසින්. 

මේ ගීතයෙන් කියවෙන්නෙ ගුත්තිල-මූසිල වීණාවාදන තරඟයෙදි ගුත්තිල ගුලි තුනක් උඩ දැම්ම හා දිව්‍ය ලෝකයෙන් මිහිපිටට පැමිණෙන දිව්‍යාංගනාවන් දැක්වූ රැඟුම් විසිතුරු වර්ණනාවයි.

අසූව දශකයේ රූපවාහිනීයෙන් දක්නට ලැබුණු සුසිල් ප්‍රේමරත්න රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරමින් දෙවඟනක් චිත්‍රයට නඟන අයුරු එවක අපගේ සිත්ගත් මතකයේ රැඳුණු දසුනක්.  

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා

රන් රසේ එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා

මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....


මේ කවිය තරම් ජනප්‍රිය වූ තවත් කවියක් පුරාණ කාව්‍යවලීන්හි ඇත්දැයි සිතීමද දුෂ්කරය. එපමණ අලංකාර වූ මේ කවිය ඇත්තේ, නොපරදින මෙවන් කවි 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයේය. පන්සිය පනස් ජාතක කථා වලින් 235 වන ජාතකය වන ගුත්තිල ජාතකය ඇසුරෙන්. "ගුත්තිල කාව්‍යය" රචනා කරනු ලබන්නේ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, 1450 දී පමණය.

පෘතුගීසී ආධිපත්‍ය පැතිරයමින් හා දේශපාලන ප්‍රවාහය අවුල් වියලු වෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයක් වන කෝට්ටේ යුගය එකළු කරමින් ස්වර්ණමය සාහිත්‍ය යුගයක් බිහිකළ මෙකල සාහිත්‍ය නිර්මාණ අතරින් මුල් තැනක ගුත්තිල කාව්‍ය වැජඹේ.

තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පරිවේණාධිපතිකම දැරු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝල නමක් වූ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, "ගුත්තිල කාව්‍ය" රචනා කරනු ලබන්නේ තම ගුරු හිමියන් සමඟ වූ ඇතිවූ ආරවුලකදී, කොපමණ ආරවුල් පැමිණීයද තමන් ගුරුන් වහන්සේ අභිබවා නොයන බව පෙන්වා දීම සඳහායැයි මතයක් පවතී.  

රාහුල වෑත්තෑවේ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑවේ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි. දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ද නොතිබිණී. එය විදාගම මෛත්‍රී හා රාහුල අතර පැවති ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය. තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය. රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා අතර විරසකයක් ඇතිවිය. මෙහිදී රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේ යැයි කියමනක්ද ඇතිවිය.

මේ තත්වය මත, තමන් කිසිවිටෙක ගුරුවරයා ඉක්මවා කටයුතු කරන බව සනාථ කිරීමට, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය ලියා, ගුරු ස්වාමීන් වහන්සේට පිළිගැන්වීය. එහි ආරම්භය මෙසේ විය...


සියපින් සිරින් සරු

දෙතිස් ලකුණින් විසි තුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝගුරු


කාව්‍ය දුටු සැණීන් ශාස්ත්‍රාණුකූලව, කාව්‍ය ඇරඹී ඇත්තේ වායු ගණයෙන් බව වටහා ගත් රාහුල හිමියන්ට, වෑත්තෑවේ හිමියන්ට සිවුර පමණක් නොව රට හැර යන්නටද සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. ජනප්‍රවාදයේ එන්නේ තම ගෝල හිමිනම වූ වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යය බැලූ ගුරු හිමි වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් "වෑ වැත්තේ මේ වැත්තේ - නැව් නොනැගත්තේ (වෑත්තෑවේ මේ වතාවේ නැව් නොනඟීද?) යනුවෙන් ඇසූ බවය.

එලෙසම ග්‍රත්තිල කාව්‍ය රාහුල හිමියන්ට පිදූ වෑත්තෑවේ හිමියෝ, සිවුරු හැරදා - විදෙස් ගත වූ බව සඳහන්ය.  


(උපුටා ගැනීමකි)




මගෙ අමල් බිසෝ ...

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා

හොඳ පරිස්සමින් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්


යස ඉසුරු අරන් සුදු මහත්වරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි

නුඹ නොදැක්ක සේ ඉඳපන්


මගෙ අමල් බිසෝ…


ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්

නුඹ හෝදිසියෙන් ඉඳපන්


මගෙ අමල් බිසෝ… //


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය - රෝහණ වීරසිංහ


 "මගේ අමල් බිසෝ” ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

විවෘත ආර්ථික ක‍්‍රමයත් එක්ක විදේශ සංචාරකයින්ගේ පැමිණීමත් එක්ක අපේ රටේ ඇතිවෙච්ච කලබගෑනි ප‍්‍රශ්න තිබුණා. මූහුදු බඩ පළාත්වල ඒ සංචාරක ව්‍යාපාරය නිසා ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවුණා. ඇතැම් වෙලාවට මත්කුඩු වගේ දේවල් නිසා. සමහර තැන්වල මේ ළදරු තවාන් කියලා වචනයක් අපේ සංස්කෘතියට එකතු වෙනවා. කුඩා දරුවන් එක තැනකට එකතු කරලා ඒ දරුවන් මුදලකට විකුණනවා සංචාරකයින්ට. ඒ කාලේ මාධ්‍යවල මේක ප‍්‍රචාරය වුණා කියවන්න ලැබුණා. ඉතිං එක අහලා මට ඇතිවෙච්ච හැඟීම තමයි මං ගීතයක් හැටියට ගොනු කළේ.

ගීතය ලියනකොට මට මතක් වුණේ අපි කුඩා කාලයේ අත්දැකපු ජනප‍්‍රවාදයේ එන කතන්දරයක්. ඒක තමයි අමල් බිසෝ කතන්දරේ. ගීතයේ හැටියට ගීතයේ ඉන්න පුද්ගලයා රට ගිය කෙනෙක්. මූහුදු බඩ පළාතක තමයි පවුලේ අනිත් උදවිය ඉන්නේ. රට ගියාට බයයි පවුලේ අයට අතවරයක් කරදරයක් වෙයිද කියලා. ඒක හින්දා ඒ රට ඉඳගෙන පවුල අමතා කියන ආමන්ත‍්‍රණයක් හැටියට තමයි ඒ ගීතය ලියවුණේ. ඒ දෙකම මං ඒකට සම්බන්ධ කරගත්ත. රෝහණ වීරසිංහ මේ ගීතය අවබෝධ කරගෙන ඉතා උචිත නාද මාලාවක් සකස් කළා. සුනිල් එදිරිසිංහ ඉතා හැඟීම්බරව ගායනා කළා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 18, 2020

එගොඩ ගොඩේ මල් නෙලනා ...

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ

එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ

නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ


දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා

දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා

ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා

පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා

මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා


කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා

පැදුරු වියා ලස්සන රටා මවනවා

අඳුර මකා හවසට හඳ පායනවා

සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා


ගී පද - රවී රණසිංහ 

සංගීතය - මිල්රෝයි ධර්මරත්න 

ගායනය - පෝල් ප්‍රනාන්දු


ගී පදරචක රවී රණසිංහ මෙම ගීතයට පසුබිම පැහැදිලි කරමින්....


"ගොළු හදවත විවර කරන්න" ගීතයට පෙරාතුව පෝල් ප්‍රනාන්දුට නිර්මාණය කර දුන්නේ ‘මල් එතනෝ’ ගීතයයි. සැබැවින්ම මේ ගීතය පෝල්ගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් ඒක වඩා නිවැරැදියි.

පෝල් මගේ හැකියාව දැනගෙන හිටියා. ඔහු නිතරම ‘ගැමි’ ශෛලියට ගීතයක් හදලා දෙන්න කියලා මට කියනවා. දවසක් අපි යාළුවෝ කට්ටිය එක්ක ඉන්න වෙලාවක කටුබැද්දේ මල්ලිකා හෝටලයේදී මම මේසෙට තට්ටු කරමින් මේ ගීතය කිව්වා. ඒක අහපු පෝල් එකපාරටම කිව්වා "අන්න මචං මට ඕනෑ සිංදුව" කියලයි. මේසෙට තට්ටු කරමින් පෝල්ට එදාම මම ඒ ගීතය පුහුණු කළා. පස්සේ ගීතය පටිගත කළා. පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ‘බයිලා කුමාරයා’ හැටියට ප්‍රසිද්ධ වෙලා ඉඳපු පෝල්ගේ ගායන ශෛලිය එහෙම පිටින්ම කනපිට හැර වූ ගීතය එයයි

මේ ගීතයට පසුබිම් වූ "මල් එතනා" මගේ හදේ ඇඳුණු රුවක්. හැබැයි පුංචි අත්දැකීමක් අනුසාරයෙන් තමයි මේ ගීතය මගේ අතින් රචනා වෙන්නේ. එක්තරා අවස්ථාවකදී මම ගියා ඥාතියකුගේ තුන් මාසේ දානෙකට අම්බලන්ගොඩ පැත්තේ. දවස් කිහිපයක් මම එහේ නතර වෙලා හිටියා. ඒ පැත්තේ අය නාන්න යන්නේ වැවට. වැවේ ඕලු මල් පිරිලා, හරිම සුන්දරයි. දවසක් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් වැවට ගිහින් නාගෙන එද්දී, රේල් පාර දිගේ ගෑනු ළමයි කට්ටියක් නාලා යනවා. චීත්ත, හැට්ට ඇඳගෙන, උකුළු මුකුළු කරමින්, හරි සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඔවුන් ගියේ. මෙන්න මේ පුංචි සිදුවීම තමයි මට ‘මල් එතනෝ’ ගීතය ලියන්න පාදක වුණේ.


(උපුටා ගැනීම - සරසවිය පුවත්පත)




Tuesday, November 17, 2020

ජීවිතේ කවියක් ...

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට


ජීවිතේ කවියක්..


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 


මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.

"ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්”  ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන් පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. 

අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...