Friday, December 18, 2020

මම නම් ආසයි ...

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා

මා හා හිනැහුණු අහිංසකාවිය

අදත් එදා මෙන් දකින්න ඇත්නම්

මට පෙම් කල මුදු නිසංසලාවිය

මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ

පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්

ලෝකය යනතක ගමනේ යද්දෙන්

පුංචි දැරිය යුවතියක වුනාදෙන්

මගේ බොළඳ හිත මට තිබුනාදෙන්

ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ

දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ


මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ගායනය හා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි 

පදරචනය - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර 


ඔබේ ආදරණීය බිරිඳට ලියූ ගීයක්ද මම නං ආසයි අහන්න නයනා ගීතය? 

එහෙම ම කියන්නත් බෑ ඉතිං. ඔහේ ලිව්වා. හැබැයි ඇගේ නම නයනා තමයි. අපි පාසල් කාලේ මුණගැහුණේ. ගීතය මං ලියලා තිබුණා. ඒ දවස්වල සනත් අයියලාගේ ගෙදර මගේ පොත් තිබුණා. මං නිතරම සනත් අයියා ඇසුරු කළා. එහෙ යනවා. පොත් අරං යනවා පැය දෙක තුනක් ඉන්නකොට පාඩම් කරනවා. මට වෙනම දීලා තිබණා මේසයක් එහෙම වාඩිවෙලා වැඩ කරන්න, නිදියගන්න, කන්න බොන්න දෙනවා ඉතිං එයාලා. ඉතිං එහෙ මගේ කටු සටහන් පොතක් තිබුණා. ඒක සනත් අයියා දන්නවා. එකේ ලියලා තිබුණ එකක් තමයි සනත් අයියා ඔය මටත් නොකියා රෙකෝඞ් කරලා තිබුණේ. මං කතරගම ද කොහෙද ගිහිල්ලා එනකොට සනත් අයියා ගීතය කරලා තිබුණා. මේක දෙවැනි ගීතය. මට මතක හැටියට උසස්පෙළ කාලේ වගේ ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




වලා අතුල සිරියහනේ ...

වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ජීවිතය වගේ මුමුණන

ආදරය වගේ දිලිහෙන

දිය තරංග පොකුරක්

එළියෙන් නලියනවා


නොදරුවෙකු අතින් බොඳවුන

සිතුවමක් ලෙසින් සුන්දර

පාට රෑනකින් දස අත

රටා වියනවා


කිරිවැදී නටන ගොයමට

මිහිදුමින් වැටුනු පිණිකැට

රන්දමක් වගේ ගෙල වට

රනින් දිළෙනවා


හෙටක් ගැන යමක් නොදකින

හෙටක් තිබේ දැයි නොසිතන

කෙනෙක් මධුවිතක් තොල් අග

තවරගන්නවා


වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - සුනිල් රත්නායක

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

දළ රළ පෙළ ටෙලි සිතුවමෙන්


සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු දළ රළ පෙළ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍ය​ය පිළිබඳව මතකය තවමත් අපේ ප්‍රේක්ෂකයා තුළ රැඳී තිබෙනවා. ඒකට එක හේතුවක් වන්නේ “වලා අතුල සිරි යහනේ” ටෙලි නාට්‍ය තේමා ගීතය. ඊට අමතරව එහි ප්‍රධාන චරිත නිරූපණය කළ සොමී රත්නායක සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ රඟපෑම. ගැමි පරිසරයක උපත ලබන තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක මානුෂික ස්වරූපය මේ ටෙලි නාට්‍යය තුළින් කතාබහට ලක් වුණා.


අපූර්ව සංගීතයකින් හා සිත ස්පර්ශ කරන අයුරින් කරන ගායනය සඳහා සරල බසින් මෙම ගීතය රචනා කර තිබෙන්නේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කල ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක මහතා.


(උපුටා ගැනීමකි)






Monday, December 14, 2020

පෙම් ලෝකෙ පුරා ...

පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


අත ගන්න ඔබේ

මම විඳපු දුකේ

හැටි දන්නෙ මෙමා විතරයි ...//


ඔබ දැක නොබලා

මට ඉන්නට බැහැ

ඒ හින්ද තමා

මම එන්නේ ඔබව සොයා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


ගායනය - ක්‍රිස්ටෝපර් පෝල්

පද රචනය - බැසිල් එම්. සිල්වා

තනුව - 1960 දී එල්විස් ප්‍රීස්ලි ගැයූ වුඩ්න් හාට් ගීයෙන් උපුටා ගෙන ඇත.


Wooden Heart ගීයේ පද


Can't you see

I love you

Please don't break my heart in two

That's not hard to do

Cause I don't have a wooden heart


And if you say goodbye

Then I know that I would cry

Maybe I would die

Cause I don't have a wooden heart


There's no strings upon this love of mine

It was always you from the start

Treat me nice

Treat me good

Treat me like you really should

Cause I'm not made of wood

And I don't have a wooden heart


Muss i denn, muss i denn

Zum Stadtele hinaus

Stadtele hinaus

Und du, mein Schatz, bleibst hier?


There's no strings upon this love of mine

It was always you from the start

Sei mir gut

Sei mir gut

Sei mir wie du wirklich sollst

Wie du wirklich sollst

Cause I don't have a wooden heart


"බෙල්ලෝ මුතු බෙල්ලෝ" ඒ ගීතයෙන් පස්සෙත් හරි අහඹු විදිහට ගීත කිහිපයක් නිර්මාණය වුණා නේද?


ඔව්. එක ගීතයක් ජනප්‍රිය වෙලා බැහැනේ. ඒ නිසා මට තවත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න ඕන වුණා. ඒ කාලේ සිංහල සංගීතය අහනවා අඩුයි. වැඩිපුර බටහිර සංගීතය තමයි ඇහුවේ. එල්විස් ප්‍රේස්ලිගේ Wooden Heart ගීතය හරිම ජනප්‍රියයි. මම මේක මගේ යාළුවා බැසිල්ට අහන්න දීලා “ඕකටත් සිංහල වචන ටිකක් දාලා දීපන් මම රෙකෝඩ් කරන්නම්.. කියලා දුන්නා. ටික වේලාවකින් බැසිල් 


පෙම් ලොකේ පුරා ඔබ සෙව්වා සුදා

මල්මාලා ගෙනා පළදින්න ගෙලේ මාලා


කියලා ලියලා දුන්නා. ඒකත් ලියවුණේ සල්ගාදු හෝටලේදීම තමයි. ඒකත් හොඳට ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම එතනිනුත් නැවතුනේ නැහැ. බටහිර තනුවකට සිංහල වචන දාලා මුලින්ම ගුවන් විදුලියේ ගීත ගයපු මුල්ම ගායකයා වුණේ මමයි. බොහෝ දෙනා හින්දි තනුවලට ගීත නිර්මාණ කළාට මම බටහිර තනුවලට තමයි වැඩිපුරම ගීත නිර්මාණය කළේ. මේ ගීතයට අම්මෝ පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. ගුවන් විදුලියෙන් දිගටම ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.

(උපුටා ගැනීමකි)











Thursday, December 10, 2020

ඉස්සර විදියට

ඉස්සර විදියට දුවපැන යන එක

මතකද තහනම් කරපු දිනේ...

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද

කියන්න පොඩි හාමුදුරුවනේ...


කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්

රෑ තුන්යම රජ මඟුල් කතී..

පාළුව දැනුනම මෙරු රැළ තරහින්

වැලි මාලිග වට කුලල් කති...


ඉස්සර විදියට...//


රෑ කල තනි යහනේ සැතපෙන විට

දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..

බුදු බණ එතකොට සිහියට එනවද

කියන්න පොඩි හාමුදුරුවනේ...


ඉස්සර විදියට...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි 

පදරචනය - අමරසේන කංකානම්ගේ 

සංගීතය - රෝහණ වීරසිංහ 


ඉස්සර විදිහට දුව පැන යන” ගීතය නම් අදටත් කා අතරත් ජනප‍්‍රියයි?

 

අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින් "ඒකත් එඩ්වඩ්ගේ ඉල්ලීමට ලියූ ගීතයක්. දවසක් ඔහු මට කිව්වා පොඩි හාමුදුරු කෙනෙක් ගැන ගීතයක් ලියලා දෙන්න කියලා. මං ඉතිං ඒ කාලේ මට තේරෙන විදිහට ගීතයක් ලියලා දුන්නා. එඩ්වඩ් මොකද කළේ මේක බලලා විසි කරලා දැම්මා මේවා සින්දුද කියලා. මට හරි ලැජ්ජයි. දැන් ඉතිං මට අභියෝගයක් තියෙනවා. මේක හොඳ නිර්මාණයක් කරන්න වෙනවා මෙයාගේ ඉස්සරහා. මේ නිර්මාණය කරන්න බැරි උනොත් මට ලැජ්ජයි. ඒක නිසා මං හිතලා හිතලා පළවෙනි පද දෙක ලියලා, මං හාමුදුරු කෙනෙක් ළඟට ගෙනිහිල්ලා මං ඇහුවා මෙහෙම මේ පොඩි හාමුදුරුවන්ට අවවාද අනුශාසනා දෙනවා නේද කියලා මහණ උනහම. ඔව් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ මම ගීතය නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ ගීතය මං විසි පාරකට වැඩිය ලිව්වා. මොකද අර ලැජ්ජාවෙන් බේරෙන්න ඕන හින්දා. ලියලා ලියලා මගේ හිතට ඇති වෙනකං, කම්මැලිකම කියන එක අයින්කරලා දාලා මම ලිව්වා. ලියලා ලියලා ඉවරවෙලා මේ දැන් ජනප‍්‍රිය වෙලා තියෙන ගීතය මං දුන්නා එඩ්වඩ්ට. ඒක බලලා මුකුත් කිව්වේ නෑ වචනයක්වත් කතා කළේ නෑ එහෙමම නාවලා සාක්කුවේ දා ගත්තා. හැබැයි මට මෙහෙම කතාවක් කිව්වා. මං අපේ හාමුදුරුවන්ටත් දුන්නයි කිව්වා හාමුදුරු කෙනෙක් ගැන ලියන්න කියලා සිංදුවක්. බලමු කිව්වා දෙකෙන් කෝකද හොඳ කියලා. මං කිව්වා ඔව් හොඳ එකක් ගන්න කියලා. කොහොම හරි ඊට මාසෙකට විතර පස්සේ එඩ්වඩ් ඇවිත් මට කිව්වා අන්න සිංදුව කළා; හරි ලස්සනයි කියලා. ඇත්තෙන්ම ඒ ගීතයේ පොඩි හාමුදුරුවන්ගේ පුංචි කාලේ තමන්ගේ ජීවිතයේ තියෙන දහසකුත් දුක් කම්කටොලූ තමයි කියවෙන්නේ. 83 සැප්තැම්බර් මාසේ දහඅට වෙනිදා මේක ලියලා තියෙන්නේ. හරිම ලස්සනට සංගීතය මුසු කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ කැසට් පටයේ නමත් ගීතයේ නමින් ඉස්සර විදිහටමයි. 

අපි මේ අහන්නේ ඔබ ලියූ සාර්ථක වූ ගීතය. එඞ්වඞ් ජයකොඩි විසිකර දැමූ ගීතයේ පද මතකද? 

ඒක මතක නෑනේ දැන් මට. හැබැයි මේක ප‍්‍රථම පුරුෂයෙන්නේ ලියන්නේ. අර විසි කරපු එක ලිව්වේ හාමුදුරු කෙනෙක් කියන හැටියට උත්තම පුරුෂයෙන්. ඒක එච්චර රසවත් වුණේ නෑ. ඒකනේ එඩ්වඩ් ඇහුවේ මේවා සිංදු ද කියලා. මට මතකයි මගෙත් එක්ක හිටියා පොඩි හාමුදුරු කෙනෙක්. ඉස්කෝලේ හතරේ හෝ පහේ ඉන්න කාලේ වෙන්න ඕන. අති දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ කාලේ පොඩි හාමුදුරුවරු පන්සලේ ඉඳන් බණ දහම් පොත් කට පාඩම් කරනවා, පාලි හා සංස්කෘත භාෂා වර නගලා කට පාඩම් කරනවා, තාලයට පිරිත් පොත් කියනවා, තාලයට ගාථා කියනවා, මේවනේ ඒ කාලේ කළේ. ඒ කාලේ ඒ පොඩි හාමුදුරුවොයි මායි ඉස්කෝලේ ඇරිලා ආවම අහල පහල පොඩි පොඩි ලඳු කැලෑවල දන්, කරඳ, බෝවිටියා, කිරිල්ල කඩන් කනවා. මට ඒ පුංචි කාලේත් මතකයට ආවා මේ ගීතය ලියද්දි. අනික අපි දන්නවනේ පොඩි හාමුදුරුවන්ට තනියෙන් වැඩ කර ගන්න බෑ. නහයෙන් අඬ අඬ පොඩි කාලේ ජීවත්වෙන ආකාරය දන්නවනේ. අම්මලා ළඟ හිටියා නං කවදාවත් අම්මලා ඔය තත්ත්වෙට මේ දරුවාව පත් කරන්නේ නෑනේ. අවුරුදු දහහතර පහළොව විස්ස උනත් දරුවන්ගේ සේරම දේවල් අම්මලා කරලා දෙනවා. පන්සලට ගියාම තමන්ම තමයි තමන්ගේ හැමදේම කරගන්න ඕන. ඉතිං ඒක නිසායි ඒ අන්තිම පදේ ලියන්නේ බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)




Monday, December 7, 2020

රජ මැදුරක ඉපදී ...

රජ මැදුරක ඉපදී සිටියා නම්

නුඹත් රජෙකි පුතුනේ

හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි

අද නුඹෙ සිරියහනේ...

හීනෙන් හිනා නොවී

මා හඬවාපන් මේ රෑ යාමේ...


පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලී

දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී

අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ඉද හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ

දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ

ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ගායනය: විශාරද මාලනී බුලත්සිංහල

ගී පද: ලූෂන් බුලත්සිංහල

සංගීතය: එච්. එම්. ජයවර්ධන 


රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතයට පදනම් වූ ඔබේ ළමා කාලයේ මතකය?

ඉස්කෝලේ ඉන්දැද්දී අපි ගීත නාට්‍ය එහෙම කරනවා. ඒ කාලේ ජනප‍්‍රිය ගීතවලට මම මගේ වචන දානවා. ඒවා සභාවේ කියනවා. එහෙම තමයි මං ගීත රචනය මුලින්ම කළේ. ඒ එක්කම රඟපාන්න මං ආසයි. ඉතිං මාත් එක්කම හිටියා ලයනල් රණසිංහ කියලා මගේ යාලූවෙක්. බොහොම දක්ෂයෙක්. මට මතකයි ගුවන්විදුලියේ එයාට තිබුණා සම්බන්ධයක්. ඉතිං ඒ ලයනල් රණසිංහ තමයි මාව ගුවන්විදුලියට පළවෙනි වතාවට එක්කං ගියේ. ඒ කාලේ දරිද්‍රතාවය හුඟක් තදින් තිබුණා. තාත්තා විතරයි හම්බ කළේ. අපේ කියලා කිසිම දෙයක් අපිට තිබුණේ නෑ. අපේ තාත්තා තද බල සමසමාජ කාරයෙක්. එයා බොහොම තද විදිහට වෘත්තීය සමිති කටයුතු කළා වරායේ. ඒවත් අපිට බලපෑවා ජීවිතේට. දුප්පත්කම තමයි ඉතිං අපි වැඩියෙන්ම ඇසුරු කරපු දේ. රජ මැදුරක ඉපදී සිටියා නම් අපේ කතාව. එක්තරා මොහොතක තාත්තා ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා. ඒ ඔක්කොම මැද්දේ අපි බොහොම අමාරුවෙන් ඉහ ගහගෙන හිටියේ. ඒ කාලේ තිබුණා රෝහල් ලොතරැයිය කියල එකක්. අපේ තාත්තා ඉතිං දුප්පත්කම හින්දා වෙන්නැති හැමදාම ඒ කාලේ ලොතරැයියක් ගන්නවා. එක සැරයක් මං අපේ ලොකු නැන්දගේ ගෙදර ඇවිත් ඉන්නකොට තාත්තා ඇවිල්ලා මට චෙක් එකක් පෙන්නලා මගෙන් ඇහුවා මේ ගාණ කියන්න පුළුවන්ද උඹට කියලා. මං කිව්වා රුපියල් තිස්දාස් එකසිය විසි පහයි කියලා. අපේ තාත්තට අර ලොතරැයියේ දෙවැනි තෑග්ග ඇදිලා. ඉතිං අපි රත්මලානේ හිටපු අපේ ඒ දරිද්‍රතාවයෙන් මදක් මිදිලා පාමංකඩට ආව. මේ අත්දැකීම් තමයි ගීයේ තියෙන්නේ. 

ලූෂන් බුලත්සිංහල තම “සෙවණැලි නොමැකේ නම්” ගීත සංග්‍රහයේ එක් පිටුවක මෙලෙස අතීත කතාවක් දිග හරියි. මාලනී බුලත්සිංහල තම පළමු ගුවන් විදුලි සරල ගී වැඩසටහනට සිංදුවක් ඉල්ලා සිටින්නේ ලූෂන් බුලත්සිංහලයන් ගෙනි. “රජ මැදුරක ඉපදී සිටියා නම්” යනු එම ගීතය බව පවසන ලූෂන් මෙසේ විග්‍රහ කළේය.

“රජ මැදුරක ගීයට මාලනී වගේම එච්. එම් ජයවර්ධනත් ආදරය කළා. හැමවෙලාවෙම ඒ ගීතයට ඔහුගේ ඇති ආධ්‍යාත්මික සමීපතාවය ගැන උද්දාම වුණා. දුප්පත්කම අපි තුන්දෙනාගේම ජීවිත වලට විශාල ආලෝක දහරාවක් එල්ලකොට තිබීම මේ උද්දාමයට හේතුවයි. අපේ බාල සන්දියේ දී දුප්පත්කම එක්ක අපි සෙල්ලම් කළ හැටි තමයි මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ”


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




සොඳුරු අතීතයෙ ...

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී...


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී...


නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇතී

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ගී පද - මාලනී ජයරත්න

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - ටී. එම්. ජයරත්න


මේ සිංදුව ලියුවේ මම බිරිඳක්‌ වූ පසුවයි. ඒ අසූ දෙක අසූ තුන කාලෙදි. අසූ හතරෙදි ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට තමයි මගේ මහත්තයා මේ සිංදුව ගායනා කළේ. රෝහණ වීරසිංහ තනුව හැදුවා. ආදරය කියන්නේ පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. සොඳුරු අතීතය කියලා මම අදහස්‌ කළේ යහපත් අතීතය. යහපත්වූ අතිතය හරිම සුන්දරයි. ගී පද රචිකාව පැවැසුවා.

ආත්මයෙන් ආත්මය එකට බැඳී ඉන්න බොහෝ පෙම්වතුන්. පෙම්වතියන් පෙරුම් පුරනවා. අඹුසැමියනුත් එහෙමයි. ඒත් ඒ විදිහට සංසාරෙන් සංසාරෙට එක්‌ වෙන්න වාසනාව ලැබනේනේ කීයෙන් කී දෙනාටද?

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුල ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී


අපි අද ආදරෙන් බැඳිලා. මේ බැඳීම සංසාරගත පුරුද්දක්‌ වෙන්නැති. ඉහත ආත්මෙදිත් අපි දෙන්නා එකට ඉන්න ඇති. සමහරවිට ආත්ම ගණනාවක්‌ මගේ පිවිතුරු පැතුම වෙන්න ඇත්තේ ඔයාම තමයි. ඒ අතීත ආත්මවල අපේ ජීවිත අතිශයන්ම සුන්දර වෙන්න ඇති. ඒ හින්ද තමයි අපි ආයෙත් මේ ආත්මෙදි ආදරෙන් එකතුවෙන්න ඇත්තෙ.

බිරිඳකගේ සුන්දර පැතුමක්‌ ගයන්නේ ඇගේම සැමියා. මාලනී ජයරත්ත ගීපද රචිකාව. ගීය ගැන දැක්‌වූ අදහස මේ.

මේක පෙම්වතෙක්‌ පෙම්වතියත් අතර ඇතිවන කතාවක්‌ නොවේ. බිරිඳක්‌ සහ සැමියෙක්‌ අතර බැඳීමක්‌. ඕනෑම පවුලක වගේම මටත් ප්‍රශ්න තිබුණා. ඒත් ඒවා ජයගත් බව මට දැනුනා. ආදරය තුළ හිඳිමින් ඕනෑම ප්‍රශ්නයක්‌ ජයගන්න අපිට පුළුවන්. ප්‍රේමය කියන්නේ බැඳීමක්‌. ඒ ගැන තමයි මේ ගීයෙන් මම කියන්නේ.


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී


ආදරේ කරමින් යන ගමනේදී ඉවසීම අවශ්‍යයි. කැපවීම අවැසියි. එහෙම යන ගමනේදී සෝ සුසුම්, කඳුළු ආගන්තුක නෑ. සතුට සිනාව. ඒත් එහෙම තමයි. ඉතින් විටෙක කඳුළු සලමින්. සුසුම් හෙළමින් තවත් වෙලාවක සතුටු වෙමින් සිනාසෙමින් මේ භවය පුරාම ඔයා මා ළඟ ඉන්න ඇති. මේ භවයෙදි වගේම ඒ භවයෙදිත් මම ඔයා වෙනුවෙන්ම කැප වෙන්න ඇති.

නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇති

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ආදරවන්තයන්ට, අඹුසැමියන්ට තරම් බාධක තවත් කාටද. ඒත් අපි ඒ බාධක හමුවේ නොසැලී සිටියා. හරියට මහ සාගරය මැද තියෙන ගල්පරයක්‌ වගේ. සැඩ සුළඟ කොතරම් බිහිසුණු වුණත්, රළ පහර කොතරම් ප්‍රචණ්‌ඩ වුණත් ගල්පරය සැලෙන්නේ නෑ. ඒ වගේ කිසිම බාධකයකට බැරිවුණා අපව වෙන් කරන්න. ඒ නිසාම තමයි අපේ පෙම ජයගන්න ඇත්තේ. බුදු හාමුදුරුවෝ මේ සංසාරෙදි නිවන් දකිනතුරු යසෝදරාවන්. උන්වහන්සේ පසුපස ආත්ම ගණනාවක්‌ ආවේ හරියට හෙවැනල්ලක්‌ වගේ. ඒ වගේම මේ හැම ආත්මෙකදිම අපි දෙන්නට අපි දෙන්න පුරුදුයි. අපි අද වාගෙම ඒ හැම ආත්මෙකදිම ආදරයෙන් එකතුවෙලා ඉන්න ඇති.

ආදරය, සෙනෙහස පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. ඕනෑම දුකක්‌ කරදරයක්‌ විඳගැනීමට විශේෂයෙන්ම බිරිඳකට පුළුවන් වෙන්න ඕන. එවිට ජිවිතය ජයගන්න පුළුවන්. මාලිනි ජයරත්න පැවසුවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




Thursday, December 3, 2020

පාරු පාලමෙන් ...

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා

ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා

සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා

කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා


කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා

බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා

කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා

සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා


මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා

නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා

ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා

ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා


පාරු පාලමෙන්...


ගායනය : සුනිල් එදිරිසිංහ 

පද රචනය: අශෝක කෝවිලගේ

සංගීතය: රෝහණ වීරසිංහ

සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ලද ‘පාරු පාලමෙන් එගොඩට ගැල්පේළිය සැපත් වුණා‘ ගීතය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් අශෝක කෝවිලගේ අදහස් දක්වමින් "මං එක්තරා දවසක ප්‍රංශ තානාපති කාර්යාලයට සම්බන්ධ ආයතනයක තිබුණු ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹන්නට ගිය මොහොතකදියි. විදෙස් ඡායාරූප ශිල්පියකු විසින් ගත් ඡායාරූප ප්‍රදර්ශනයක් වූ එහි පැරැණි කොළඹ තේමාව කරගත් අපූරු ඡායාරූප ගොන්නක් තිබුණා. වර්ෂ 1900 හා 1910 අතර කාලවකවානුවේ කොළඹ නගරයේ දසුන් මේ ඡායාරූප පෙළ අතර තිබුණා. ඒවා මගේ හිතට තදින්ම කාවැදුණා. පාරු පාලමෙන් ගීතය බිහි වුණේ ඒ අනුවයි. එය හරි අපූරුවට සුනිල් එදිරිසිංහයන්ගේ හඬට ගැළපුණා. ඊටම සරිලන අපූරු සංගීත සංයෝජනයක් රෝහණ වීරසිංහයන් නිර්මාණය කළා."


(උපුටා ගැනීමකි)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...