Monday, March 8, 2021

බැහැයි කියලා බැහැයි කියලා බෑ ...

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බැහැයි කියලා බැහැයි කියලා බෑ

බෑ කියලා බැරිය මලේ බෑ කියලා 

බැරිය නගේ

බැහැයි කියලා බැහැයි කියලා බෑ


මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ

තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ

අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ

මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ


අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ

රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ

යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ

නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’


ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ


අපේ ළමා කාලයේ රූපවාහිනියෙන් ප්‍රචාරය වූ දොස්තර හොඳ හිත සැකිලි රූ කතාංගයකට ප්‍රේමකීර්ති රචනා කළ “බෑයි කියලා බෑයි කියලා බෑ” ගීය රචනා කළ ආකාරය ගැනද අපූරු කතාවක් ඇත. මෙම වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් මහඟු මෙහෙවරක් කළ ටයිටස් තොටවත්තයන් එකී කතාංගය සඳහා තේමා ගීයක් ලියන ලෙස ප්‍රේමකීර්තිට කියා ඇත. ටික කලක් ගත වුණත් ප්‍රේමකීර්ති අතින් යෝජිත ගීය ලිවීම අතපසු වී ඇත. දිනක් ප්‍රේමකීර්ති වෙත පැමිණි ටයි මහතා විසින් ටිකක් සැරෙන් “උඹට බැරි නම් බැහැයි කියපන්” යැයි ප්‍රේමකීර්තිට කියා ඇත. ප්‍රේමකීර්ති එකී ගීය පටන් ගෙන ඇත්තේ කනට ඇසුණ එම වචන කිහිපයෙන් ක්ෂණිකව ගීතය ලියා ටයිටන් තොටවත්තයින් වෙත ලබාදී ඇත.


ධනාත්මක චින්තයක් ගැන පැය ගණනක දේශනයකින් අත්නොවිඳින දෑ එම ගීතයෙන් උකහා ගත හැකිය.


මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ "බෑයි කියල බෑ" කථාව සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.


දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායකගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුල රන්සිරිලාල්ගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.


(උපුටා ගැනීමකි)




Wednesday, March 3, 2021

ඔබට වරම් නැති ...

ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...


ඔහුට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුනේ...


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමංසල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ...


පද රචනය - රංජිත් රූබසිංහ

සංගීතය - නාලක අංජන කුමාර

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


හා හා පුරා කියා කරන ආදරය කොයිතරම් පිවිතුරුද.... ඒත් ඒ පළමු පෙම විවාහයෙන් කෙළවර වෙනවා නම්..... නැහැ. හැම පෙම්වතෙකුටම ඒ වරම් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ ප්‍රථම ප්‍රේමය තාවකාලිකයි. කෙටි කලකින් මේ ආදර බැම්ම බිඳී යනවා.


ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ


ඔබේ ආදරය මටත් මගේ ආදරය ඔබටත් හිමිවෙන්න තරම් අපි වාසනාවන්තයින් නොවෙයි. අපි දෙන්නටම වරම් නැති ආදරය කොහේදොa සැඟවෙලා යන්න ගිහින්. නෙතගින් වැටුණ කඳුළු බිඳුවත් එක්‌කම දියවෙලා බොඳවෙලා නොපෙනී ගියේ අපේ ප්‍රථම ප්‍රේමයයි.


අවංකව ආදරය කළ පෙම්වතෙකුගේ හිත ශෝකබරිතව කතා කරනවා. රංජිත් රූබසිංහ මේ ගීය ලියුවේ රජරට සේවයේ වැඩකරන අතරේ. ඔහු තවමත් ඉන්නේ රජරට සේවයේ.


මම මේ ගීය ලියුවේ අසූව දශකය මුල. දිවුල්ගනේගේ සරල ගී වැඩසටහනක්‌ රජරට සේවයේ තිබුණා. එදා ඔහු එක්‌තරා ගීයක්‌ ගයන්න තෝරාගෙන හිටියා. ඒ ගීයේ තනුව නාලක අංජන කුමාරගේ. නාලකට ඒ දවස්‌වල වයස අවුරුදු දහසයක්‌ විතර ඇති. පාසල් සිසුවෙක්‌ වුණත් නිතර රජරට සේවයට එනවා. ඉතින් මේ තෝරාගෙන තිබූ ගීයේ පදමාලාවට දිවුල්ගනේ කැමැති වුණේ නෑ. රංජිත්, නාලකගේ මේ මෙලඩි එකටම ලස්‌සන වචන ටිකක්‌ දාමු කියලා දිවුල්ගනේ මට කිව්වා. එක්‌වෙන්න බැරිවුණ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන විරහ ගීයක්‌ හදමු කියා කිව්වා. මම ලියුවා. ඒ මගේ ළඟම මිතුරෙකුට වූ සත්‍ය අත්දැකීමක්‌ පාදක කර ගනිමින්.


මගේ මිතුරා සහ මම ඒ කාලේ කාර්මික විද්‍යාලයක ඉගෙන ගත්තා. ඔහුට රස්‌සාවක්‌ තිබුණේ නෑ. ගැහැනු ළමයෙක්‌ එක්‌ක යාළු වුණා. ඒ ඔහුගේත් ඇයගේත් කුලුඳුල් පෙම. මම තමයි උදව් කළේ. ඔහු ඇයට මා ලවා කවි ලියවා ගත්තා. ඔහු ඇත්තටම ඇයට ආදරය කළා.


ඔබට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුණේ


ඈ ඔහු දමා ගියා. දෙමව්පියන්ගේ විරෝධතාව නිසාම. හේතුව පෙම්වතාට රැකියාවක්‌ නැතිකම. ඇයට ඔහුගෙන් වෙන් වෙන්න හිත දුන්නෙම නැහැ. ඒත් දෙමව්පියන්ට අකීකරු වෙන්නේ කොහොමද දෙදෙනාගේ ආදර සබඳකම හොඳින්ම දැන සිටි පවුලේ ඥතියකු එක්‌කම අවසන ඈ විවාහ වුණා. පෙම්වතාට පුද කළ පළමු පෙම හරියට නොකිලිටි මලක්‌ වගේ. ඒත් ඒ නොකිලිටි මල ප්‍රේම පූජාසනයෙන් ආයෙත් අරගෙන තවකෙකුට පුදන්න පුළුවන්ද තවකෙකුට පුදන්නට නොකිළිට මල් පිපෙනවද... ඇය තවකෙකුට පිදුවේ පිවිතුරු වූ පළමු පෙම නොවේ. පෙති ගිලිහිලා විසිරී ගිය පරසතු මලක සුවඳක්‌ දැනෙනවද.. එදා ඔහුට පිදූ නොකිලිටි මල් සුවඳ කෝ කොතැනද...


මගේ මිත්‍රයා රට හැර ගියා. ඇයට දරදඬු තීරණයක්‌ ගන්න ඔහු ඉඩ තැබුවේ නෑ. දෙමව්පියන්ගේ කැමැත්තට අකමැත්තෙන් හෝ එකඟ වෙන්න. ඈ තීරණය කළා දෙමව්පිය නෑ සබඳකම් නිසා ඇයට කරකියාගන්න දෙයක්‌ නැතිවුණා. ඒත් අද ඇය හොඳින් පවුල් ජීවිතය ගත කරනවා.


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමං සල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ


අපි ආ මග වැරදුණා. තුංමංසලක අපි තුන්දෙනා බලා ඉන්නවා. පළමු පෙමට ආයුබෝවන් කියා. මා සිටි මංසලෙන් මා ඉවත් වෙන්නම්. තවත් හඬන්නට මගේ ඇස්‌වල කඳුළු නැහැ. මං ඔබට සමුදෙන්නම්. මගේ හිතේ වෛරයක්‌ නෑ.


මේ ගීයට එදා රජරට සේවයේ වාදක මණ්‌ඩලය විසින් පසුබිම් සංගීතය සැපයුවා.


(උපුටා ගැනීම - ගීයක මිහිර)




Monday, March 1, 2021

ආසයි බයයි ...

 

සයුර බලා බඳ ලෙලවා

ඉවුරු තලා ගලා ගියා

මාතර ගං කොමලි නිල්වලා

මෙතර සිටිය අය කැඳවා

මරු තුරුලට අරං ගියා

මුළු සිරිලක දුකෙහි ගිල්වලා


වෙසක් සිරි නරඹන්නට

මාතර පුරවරය වෙතට

නොයෙක් දෙසින් සෙනග පැමිනුනා

නිල්වලා ගඟ ඔස්සේ

බෝට්ටුවට නැගි සතොසේ  ‍

සමහරෙකුට යන්නට හිතුනා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


බෝට්ටුවට ගොඩ වන්නේ

සතුටින් ඉපිලෙන්නේ

වේගයෙන් දියඹට ඇදුනේ

අත්තක බෝට්ටුව හැපුනේ

නොදැනිම ජලයේ ගිලුනේ

ඉරණම සැමගේම විසඳුනේ


වෙසක් සඳ නැග එද්දි

මළ කඳන් පාවෙද්දි

නෑදෑ හිතවතුන් වැළපුනේ

හද සෝකෙන් ලත වෙද්දි

නෙත් කදුලින් බර වෙද්දි

මළ මිනි ගොඩට ගෙනෙන්නේ


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


පිහිනන්නට බැරුව නියා

පෙම්වතා ගිලි ගියා

පෙම්වතී ලොවේ තනිවුනා

කරුමය මෙලෙස කියා

අන්තිම ගමන ගියා

මව්පියො හිතවතුන් වැළපුනා


ඒ සිදුවු විපත අසා

රුහුණම දු‍කෙන් වසා

දින ගණනක් දුක පල කෙරුවා

අහසට දෑතම ඔසවා

දෙවියන් යැද කීවා

මෙවැනි විපත් යලි නොමවේවා


ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි

යළි නොම එන්නට ගිය ගමනයි

දිය රකුසයි ගඟ මැද මරුවයි

ජීවිත ගණනක් බිලි ගත්තයි


ගායනය  - ඇන්ටන් ජෝන්ස්

ගී පද - ඩී.බී.ටී. එදිරිසිංහ


අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති. එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති. මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි. එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති. එදා ආසයි බයයි බෝට්ටුව අනතුරට පාදකවූ කඩාවැටි තිබූ කෝන් ගහේ බෝ පැලයක්ද මේ දිනවල දැක ගත හැකිය.


අඩි 36 එක් දින යාත්‍රාවක් වන ආසයි බයයි බෝට්ටුව අයිති සමිතියේ සභාපතිවරයා වන්නේද ලීලයියා නමින් හඳුන්වන ලබන පුද්ගලයෙකි. අප ඔහුගේ නිවසට ගියේය. ඔහු නමින් පී.බී ලීලාරත්නය.


72 හැවිරිදි වියේ පසුවන ලීලයියාට බොහෝ දේ මතකයේ ඇත. සිය හඩ මෙසේ ඔහු අවධි කළේය.


“අපේ කොටුවේ ධීවර සමිතියට බෝට්ටු තුනක් තිබුණා. මේ බෝට්ටු පැදෙව්වේ සමිතියේ සාමාජිකයන්මයි. එදා වෙසක් පොහෝයදා. විශාල සෙනගක් මාතරට ඇවිත් තිබුණා. මාතර නගරයේ අසිරිය බලන්න අප සාමාන්‍යයෙන් එක ගමනකට 30 ක් පමණ රැගෙන යනවා. මේ අය පටවගෙන මැද්දවත්ත හන්දියට ගිහින් නැවත එනවා. එක් අයෙකුගෙන් අය කරන්නේ ශත විසි පහයි. මේ ආපු පිරිස මේ බෝට්ටුවට 50 -60 ක් අතර පිරිසක් පැටෙව්වා. මම ඒ අයට කිව්වා. මේච්චර ගණනක් ගෙනියන්න බැහැ කියලා. ඒ අය ඇහුවේ නැහැ. මා දන්නවා සෙනග වැඩිවුණහම හරවන කොට අපහසු වන බව දැනගෙන හිටිය.


පිට ගම්මානවල අය තමයි වැඩියෙන්ම ඇවිත් හිටියේ. එන්න එන්නම සෙනග වැඩි වුණා. එහෙම පටවාගෙන ගිහින් මැද්දවත්තෙන් බෝට්ටුව හරවල නැවත එනවා. මේ බෝට්ටුව පැදෙව්වේ ටී.එච් සිරිපාලයි. මම සිරි ට කිව්වා බලාගෙන සිරි යන්නේ කියලා. මට මතකයි බෝට්ටුවේ සල්ලි එකතු කළේ පීටර් කියලා කෙනෙක්. පසුව මම පිට්ටනියට ගියා සෙල්ලම් කරන්න. ටික වේලාවකින් අපේ බෝට්ටුව පෙරලී ඇති බව ආරංචි වුණා. මා එහෙමම දිව්වා.


කෝංගහ නැමිලා තිබුණේ. මෙම ගසේ ගෙඩි කැඩීමට බෝට්ටුවේ ගියපු අය උත්සාහ කරලා තියෙනවා. ඒත් එක්කම සමබර බව නැතිවෙලා කෝංගහේ බදින්නට හරවද්දී බෝට්ටුව පෙරළිලා තියෙන්නේ”


අනතුරුව මෙම බෝට්ටුව පැදවූ ටී.එච් සිරිපාලගේ නිවැසට ගිය අතර රෝගාතුරව ඇඳ මත සිටිනු දක්නට ලැබුණි. කාලයක සිට ඔහු මෙසේ රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිය අප සමග පැවසුවාය.මේ පිළිබඳ අතීතය අවදි කරන්න සිරිපාල එතරම් කැමැත්ක් දැක්වූයේ නැත. එහෙත් බිරියගේ ඉල්ලීමත් සමඟ මෙසේ තම හඩ අවදි කළේය.


අපි හවස 1.30 ට පමණ තමයි සෙනග අදින්න පටන් ගත්තේ. මැයි මාසේ දිය හරිම සැරයි. දෙවන සැරේට සෙනග ගෙනියන කොට සෙනග එකසිය ගණනන් නැග්ගා. මට මතකයි යාන්තන් කෝංගහේ වැදුනා.‍ බෝට්ටුව හරවා ගන්නා බැරි වුණා. එක සැරේටම කට්ටිය කෝන් ගහේ එල්ලුනා. කෝන්ගහේ අත්ත කැඩුණා. එක පොදියටම ග‍ඟේ ගිලුනා. මාත් දියට වැටුනා. කොහොම හරි පීනලා ගොඩට ආව. මට මතකයි එහිදී පිරිමි ළමයෙක් බේරා ගත්තා. ඒ ළමය මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ බෝට්ටුවේ ගියේ එක ගෑනු ළමයයි. ඒ ළමයා ඉමදුවේ ප්‍රදේශයේ පුෂ්පරානි කියලා. එයාගේ මහත්තයා ගඟට වැටුනේ පුෂ්පරානිගේ අතේ සෙරෙප්පුව ඉතිරි කරලා.


මොවුන් දෙදෙනා අලුත විවාහවු අයෙකි. එතනින් එහාට මතකයක් නැහැ. මට සිහිය එන විට මා හිටියේ මාතර රෝහලේ. පසුව පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා. ඔහු අපහසුවෙන් මේ කරුණු අනාවරණය කළේය. ඔහුගේ මතකය අලුත් කරමින් අප සමඟ සිරිපාල ගේ බිරිය එච්.ජී සෝමාවතිද කථා බහට මෙසේ එකතු වුවාය.


අප ‍මේ අනතුර සිදුවන විට හිටියේ ගංඟාවේ පහළ කොටසේ මෝයේ ගෙයක් හදා ගෙන. මට දෙවන දරුවා ලැබෙන්න හිටියා. හරියටම දස මසක් වෙනවා. මහත්තයා ධීවර කටයුතු කළේ. අමතර ආදායමක් ගන්න තමයි මේ බෝට්ටු සවාරි ගියේ. එදා මගේ මහත්තයා හොයන්න මා රෝහල පුරාම ඇවිද්දා.මෝචරියේ පවා ‍හෙව්වා. පසුව රෝහලේ ප්‍රතිකාර ලබන බව දැන ගන්න ලැබුණා. මගේ මහත්තයා මේ සිදුවීමෙන් වසර ගණනාවක් මාව බේරගන්න කියලා. හීනෙන් කෑගහන බවත්, මේ සිදුවීම අවදිකරන්න මහත්තයා මැලිකමක් දක්වන බවද ඇය අප සමග කීවාය.


මේ බෝට්‌ටුවේ නිල්පාටයි, රතු පාටයි, සුදු පාටයි ආලේප කරලා තිබුණේ. නිල්පාට පසුබිමේ සුදුපාට අකුරින් තමයි 'ආසයි බයයි' කියලා නම ලියා තිබුණේ. සිද්ධියෙන් පසුව මේ බෝට්ටුව අලුත්වැඩියා කර දෙවිනුවර පියසේන නැමැති අයෙකුට විකුණා තිබෙනවා. පසුව එම බෝට්ටුව නම් කරල තිබෙන්නේ 'යළි ඉපදේ ' යන්නයි.


(උපුටා ගැනීම - ටී.කේ. මහින්ද වැලිගම දිනමිණ සමූහ)







දන්නෝ බුදුන්ගේ ...

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා

පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...//

ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ //

රහතුන් නිවසනා පාය ප්‍රකාශේ //


භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ

පේනා මෙපුර මුණි සාසන වාසේ ...//

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ //

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ //


මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී

ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...//

සේරූ පන්තී පන්තී පීනති බෝසේ //

අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ //


ගායනය - ලෝරන්ස් පෙරේරා 

පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා

තනුව - විශ්වනාත් ලව්ජි

සිරි සඟබෝ (1903) නෘත්‍යයෙන්.


මුල් ගීතයේ පද රචනය ආරම්භ වූයේ ‘දන්නෝ බුදුන්ගේ’ ලෙසින් නොව ‘ධර්ම බුදුන්ගේ’ යනුවෙනි. පසු කාලීනව මෙය ශබ්ද රසය හා මාත‍්‍රා පිහිටීම මත 'දන්නෝ බුදුන්ගේ' ලෙසින් වෙනස් කොට ගායනා කරන ලදි. මුල් වකවානුවේදී ගීතය ගායනය කළ ශිල්පීන්..


W.A.ලෝරන්ස් පෙරේරා

W.A.අප්පුසිංඤො

W.D.S. ජේමිස්

හර්මන් රාජපක්ෂ (1920 මුල් ගායනය සොප‍්‍රානෝ ඔපෙරා ශෛලියෙන් 


පසු කාලීනව විවිධ පුද්ගලයන් විසින් ගායනා කරණ ලදී.


රුක්මනී දේවි

අමරදේව

නන්දා මාලිනී

බුදු සසුන සශ්‍රීකව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේම රචනා වූ එකම ගීපද රචනය ලෙස දැක්විය හැකිය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරයය. එම ගීතයේ විශේෂය නම් අනුරාධපුර පූජනීය පරිසරයකට ආගන්තුකව සපැමිණුන කුමාරවරුන් තිදෙනෙකුගේ තුන්විධ මනෝභාවයන් අනාවරණය වීමය.

වංශ කථා තොරතුරු අනුව ව්‍යවහාර වර්ෂ තුන්වැනි සියවසේ මුල් කාලයේ මහියංගණය මිනිපේ ජනපදයේ ප්‍රාන්ත පාලකයකු වූ ලම්භකර්ණ වංශික සේලාභය කුමරුන්ගේ පුතුන් තිදෙනා වූ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමාරවරු නන්ද තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජ්‍ය උරුමය සොයාගෙන අනුරාධපුරයට පැමිණෙති. කෙමෙන් පූජනීය නගරයට පිවිසෙන ඔවුන් නෙතට හසුවන පරිසරය පිළිබඳ සිතැඟි වදන්වලට නැඟී ප්‍රකට වන පරිද්දෙන් ගීතය නිර්මාණය වී ඇත.

සංඝතිස්ස :


“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

පේ වී රකිති සොඳ සීල නිබන්ධා

ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේ ය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ”


සංඝබෝධි :


“භූ ලෝ මතේහී දෙව් ලෝ පෑවා සේ

පේනා මෙපුර මුනි සාසන වාසේ

එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ”


ගෝඨාභය :


“මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී

ඇත්තේ පොකුණුවල බෝ ජල රාසී

සේරූ පන්ති පන්තී පීනති බෝ සේ

අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ”

කුමාරවරුන් තිදෙනා පියවරින් පියවරට කෙමෙන් කෙමෙන් අනුරාධපුර නුවර මධ්‍යයට පා ගමනින් යන ආකාරය ධ්වනිත කෙරෙන සේ ගීතයේ පද මාලාව සංවිධානය කොට තිබේ. හැම වදනකම දැවටී ඇත්තේ පුරවරයේ ආගමික හා පාරිසරික සමෘද්ධිය ධ්වනිත කෙරෙන හැඟීම්ය.

සංඝතිස්ස කුමරා පෙර තමන් අසා තිබූ බෞද්ධාගමික පරිසරයත්, එහි වෙසෙන ගිහි පැවිදි උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණයත් පිළිබඳ ප්‍රසාදය පළ කරමින් පෙරටුව ගමන් කරයි. කෙමෙන් නගරයට අවතීර්ණ වන සංඝබෝධි කුමාරයාගේ සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යයි. ඔහුගේ උද්දාමය පළ කිරීම සඳහා උචිත භාවික වදන් ජෝන් ද සිල්වා සූරින් යොදා ඇති ආකාරය අතිශයින් ගැළපෙයි. සංඝබෝධි කුමරු අනුරපුරය දකින්නේ මහ පොළව මත දිව්‍ය ලෝකය පහළ වූවා සේය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුරපුර රජදහන වසා පැතිර පැවතීමයි. අහසින් වැඩම කරන්නා වූ සිය දහස් ගණන් රහතන් වහන්සේලා කුමරුන්ගේ ඇස ගැටෙයි. අහසින් වැඩම කරන ‘රහතුන්ගේ සෙවණැල්ලෙන් හිරු රශ්මිය වැළකී යනු’ එතුමා දකියි. වී පැදුරක්වත් වේළා ගැනීමට නොහැකි තරමට රහතන් වහන්සේලා ඒ සමයේ අහසින් වැඩි බවට ජනප්‍රවාදයෙහි පවත්නා සඳහන සඟබෝ කුමරු පැවසූ අර කියුම හා සැසඳෙන අපූරුව කදිමය.


රාජ්‍ය ලෝභය යටි හිතේ දරා පැමිණෙන ගෝඨාභය කුමරුන්ගේ මනෝභාවයන් සිය දෙටු කුමරුන්ගේ සිතැඟිවලට වඩා හාත්පසින් වෙනස්ය. ඔහු බුදු සසුන ගැනවත්, රහතන් වහන්සේලා ගැනවත් කිසිවක් නො කියයි. ඔහුට පෙනෙන්නේ යස ඉසුරින් සපිරුණු අනුරාධපුර නගරයේ භෞතික හා සෞන්දර්යාත්මක පරිසරයයි. මානෙල් නෙළුම් හා ඕලු ආදි පුෂ්පයෙන් ගැවසී ගත් වැවු සමූහය මහා පොකුණු සේ ය ඔහු දකින්නේ. වැවු තලා මතින් පීනා යන සේරුන් පන්ති එකිනෙකා ලුහුබැඳ දිවයන්නා මෙනි. අනුරාධපුර නගරය සිත් සේ (ඕසේ) දැකබලා ගන්නා ඔහු ලෞකික ආශාවන්ගෙන් ප්‍රබෝධයට පත්වෙයි.

ලක්දිව කැත්කුල පරපුරක දෙවැනි පරපුර ඇරඹෙමින් ලමැණි ගොත් රාජ පෙළපතට රාජ්‍ය බලය මාරුවන අවස්ථාව සංඝතිස්ස රජුගෙන් ඇරඹෙයි. ජෝන් ද සිල්වා නාට්‍යවේදියාණන්ගේ අරමුණ වී ඇත්තේ සිරිලක බෞද්ධ රාජාවලියේ මුදුන් මල්කඩක් බඳු සිරි සංඝබෝධි බෝසත් චරිතය නිරූපණය කොට සිංහල බෞද්ධ උරුමය සමකාලීන ලාංකේය ජන සමාජය වෙත ඉස්මතු කොට දැක්වීමයි.

දහනව වන සියවසේ අගභාගය වන විට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ බුදු දහම හා සිංහල භාෂාව යටපත් වී ගිය පසුබිමක පහළ වූ දේශප්‍රේමියකු ලෙසත්, කලාකරුවකු ලෙසත් නිතීඥ ජෝන් ද සිල්වා සිරිසඟබෝ නාට්‍යයෙන් පමණක් වුව ද ලක්වැසි ජනතාවගේ සදා බුහුමනට ලක්විය යුතු වෙයි. තම නිවසේදීවත් සිංහල කතා කිරීම, සිංහල සිරිත් අනුව ජීවිත ගත කිරීම හෙළා දුටු සමයක, ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ සිංහල පවුලක දරුවකු ලෙස උපන් එතුමා දේශවාත්සල්‍යය හා බෞද්ධ උරුමය පණ ගැන්වීම සඳහා මාධ්‍ය කොට ගත්තේ වේදිකා නාට්‍යයයි.

දහඅටවැනි සියවස අග වන විට අනුරාධපුරය පොළොන්නරුව ආදි පැරණි නටඹුන් නගර ඝන කැලෑවෙන් වැසී පැවතිණ. සියවස් ගණනාවක් පරසතුරු උවදුරුවලට හසුවී ජනශුන්‍යව පැවති රජරට පෙර පැවතී ශ්‍රී විභූතිය නාටක මගින් හෙළි කොට ඊට උචිත සංගීතයෙන් පණ පොවා බෞද්ධ ජනකාය අවදි කිරීමේ උදාර කාර්යය ජෝන් ද සිල්වාගෙන් ඉටු විය. තත් කාලවකවානුවේ දී මේ කාර්යය අනගාරික ධර්මපාලතුමාගේ දේශනයෙන් ද, පියදාස සිරිසේන නවකථාවෙන් හා කවියෙන්ද, බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පුරාවිද්‍යා තොරතුරු සම්පාදනයෙන් හා බෞද්ධ උරුමය රැක ගැනීමෙන් ද ඉටු කළහ.

හින්දුස්ථාන් සංගීතඥයකු වූ විශ්වනාත් ලව්ජි ලවා සිංහලයෙන් ගීත රචනා කිරීමට පොළඹවාගෙන ඔහු ගායනා කොට පෙන්වූ ‘පෙයාර් නිර්මල තේරී’ නම් හින්දුස්ථාන් ගීතයට අනූව ජෝන් ද සිල්වා රචනා කළ මුල්ම බෞද්ධ ගීතය වූයේ ‘තේරී නිර්මල ධර්ම තිලෝනා’ නම් ගීතයයි. එතැන් සිට සිංහල නාට්‍ය නිෂ්පාදනයේ යෙදුණ ඔහු ‘සිරිසඟබෝ’ නාට්‍යය නිර්මාණය කරමින් සර්වකාලීන අගයෙන් යුතු විශිෂ්ට බෞද්ධ ගීතයක් සිංහල ජාතියට දායාද කොට දුන්නේය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය හෙළ බසින් පැතිර ගිය ආකාරයත්, ඒ නිසා මෙරට ජනතාව සමෘද්ධිමත් වූ සැටිත්, ඉන් පරිසරය පවා ප්‍රබෝධවත් වූ අයුරුත් “දන්නෝ බුදුන්ගේ” නම් ගීතයෙන් වර්ණිතය. එදා මෙදා තුර ශ්‍රාවක ජන සමූහයා ආගමික හා දේශ වාත්සල්‍යයෙන් ප්‍රබෝධවත් කරවන මේ ගීතය දේශ දේශාන්තර වල ප්‍රචලිත වී ඉංග්‍රීසි හෝ වෙනත් බසක වැරදි උච්චාරණයෙන් ගැයුවත් රසය අඩු නොවන අපූර්වතම භක්ති ගීතයක් වන්නේය.

(උපුටා ගැනීම - මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති)


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය වර්ෂ 1903 දී වේදිකාගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ සිරිසඟබෝ නූර්තියට ඉන්දීය සංගීතඥ විශ්වනාත් ලව්ජි සංගීතවත් කළා වූ මෙම ගීතය නූර්තිය සඳහා රඟපෑමෙන් ඉදිරිපත් කළේ ලෝරන්ස් පෙරේරා නම් නූර්ති ශිල්පියකු විසින් යැයි පිළිගැනීමක් ඇත. දේශීය සංගීතයේ ප්‍රථම ස්වතන්ත්‍ර ගී තනුවක් වශයෙන් මෙම ගීතයේ තනුව හඳුන්වාදිය හැක. නමුත් මෙම තනු නිර්මාපකයා ඉන්දීය ජාතිකයෙකි. 

දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් ග්‍රැමෆෝන් තැටි සොයාගැනීම ඉතාම දුෂ්කරය. සමහරවිට තැටියක් දෙකක් කොතැනක හෝ තිබෙන්නට ද පුළුවන. වර්ෂ 1906 දී සිංහල ගීත තැටිගත කිරීම් ආරම්භ වූ නිසා නාඩගම්වල ග්‍රැමෆෝන් ගීත අඩුවෙන් නිෂ්පාදනය වූවා සේ 1906 ට පෙර නූර්ති වල ගීත ද ග්‍රැමෆෝන් තැටි වලින් නිකුත් වූයේ නැති දැයි සැකයක් මතු වේ. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව තිබූ මෙම ගීතයට නව මුහුණුවරක් එක්කරමින් 1940 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි නිවේදකයකු වූ හියුබට් රාජපක්ෂ මහතා විසින් "Lanka Film Company" තැටියකටත් "H.M.V" තැටියකටත් ඉංග්‍රීසි ගීතයක ශෛලියෙන් සිංහල උච්චාරණය කර ගායනා කරන ලදි. මෙය ඔපෙරා ශෛල්‍යයෙන් ගායනා කරනු ලැබුවේ යැයි ද කියති. මෙම ගීතය ඉංග්‍රීසි ගීතයක තනුවක් යැයි සමහරුන් වරදවා වටහාගෙන ඒ පිළිබඳව මත පළකරති. නමුත් මෙය කිසිම තැනකින් උපුටාගත් තනුවක් නොව විශ්වනාත් ලව්ජි සංගීතඥයාගේ නිර්මාණයකි. 

ධම්ම බුදුන්ගේ නමින් හියුබට් රාජපක්ෂ මහතා මෙම ගීතයේ ගා‍යන ස්වරූපයේ වෙනස් කිරීමට හේතුවක් ද ඇත. එනම් මෙම වකවානුවේ ලංකාවේ ග්‍රැමෆෝන් පැවතියේ පිටිසරබදව නම් ගමකට එකක් හෝ දෙකකි. වැඩිවශයෙන් නාගරිකව මධ්‍යම පන්තියේ සහ දනවත් පවුල් වල ඉංග්‍රීසි පැලැන්තියට හුරු වූ ජනතාව අතර ග්‍රැමෆෝන් යන්ත්‍ර තිබූ අතර ඔවුන් ඉංග්‍රීසි ගීත ශ්‍රවණයට වැඩි රුචියක් දැක්වීය. සිංහල ගීතයක් ඉංග්‍රීසි ගීතයක ශෛල්‍යයෙන් ගායනා කිරීමෙන් මෙම ගීතයත් ඉංග්‍රීසි භාවිතා කළ ජනතාව අතර ජනප්‍රිය වේ යැයි සිතන්නට ඇත. පසුගිය කාලයේ රාජ්‍ය උත්සවයකට කිෂාණි ජයසිංහ නම් ඔපෙරා ගායිකාවක් හියුබට් රාජපක්ෂ මහතාගේ ගායනය මෙන් මෙම ගීතය ගායනා කිරීමෙන් විවිධ මත පළවී ඇත.


(උපුටා ගැනීම - සචින්ත කුලසේකර මද්දුමගේ)


















Wednesday, February 24, 2021

සුදු හාමිනේ ...

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ

ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ


උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන

කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන

වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන

මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන


දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී

මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ

ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ


ගායනය - නන්දා මාලිනී

සංගීතය - නන්දා මාලිනී

ගී පද - සුනිල් ආරියරත්න


කිරිකැටි දරුවන් වී හිඳින සඳ උන් හැමදාමත් ළය උණුසුමේය. අම්මාගේ කිරි සුවඳේ තාත්තාගේ පපුතුරේ රැඳි ස්නේහයේ උණුසුමේ උන් දැවටෙයි. උන් ආදරය ඉල්ලා හිඳියි. සුරතල් සිනා, කතා අපේ ලෝකයේ පාළුව සංකාව දුරකට රැගෙන යයි. දුක්ඛ දෝමනස්සයන් සිනහවකට පරිවර්තනය කරන්නේ උන්ගේ ලෝකයේ නිර්මලත්වය සහ ආදරයයි. එහෙත් තනියෙන් ඉගිල යන්නට අත්තටු ලැබුණු දා උන් කූඩුව හැර ඉගිලී යයි. උන්ට අවැසි ලෝකය සොයාගෙන උන් අපේ ලෝකයෙන් බොහෝ දුර ඈතකට ඉගිලෙයි. ස්නේහයේ පොහොසත්කම් ඉගෙනගත් ජීවිතයේ මහ රුත් දැනහඳුනාගත් දවසක් සපැමිණියහොත් ඒ දවසක උන්ට උන්ටම කියා අත්තටු ලැබ දුන් කැදැල්ලේ අතීත ජීවන සුවඳ සිහිපත් වෙනු ඇත. එහෙත් එවන් දිනක් නොපැමිණෙන අහේතුවෙන් බිම්බරක් හද සුසුම් දරාගෙන වාවාගෙන උහුලනු බැරි තනිකමෙන් සංකාවෙන් ඇස් අග කඳුළු දරන අම්මාවරුන් මේ විශ්වයේ කොතෙකුත්ය. පියවරු කොතෙකුත්ය.


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ... යැයි තමන්ගේ ලෝකයේ මුතු ඇටයක් සදිසි වූ තම දියණියගෙන් විමසන මව්වරු පියවරු අප්‍රමාණයැයි මට සිතේ.

ඒ ඇතැම් අම්මාවරු තාත්තාවරු වියපත් ජීවිතයේ අවසාන පරිච්ඡේදය ගෙවන්නේ එක්කෝ වැඩිහිටි නිවාසවලය. සාර සිප් සොයා පරතෙරට ගිය දරුවන් විල්ලුද රතු පලස් මතින් පියමං කර ශිල්ප චාරිකාවේ සක්විති ඔටුනු දරද්දී සාරධර්ම මනුෂ්‍යත්වය ඒ ඔටුන්නේ මුතු මැණික් දියමන්ති වී ඔටුන්න සරසා නැත. අලුත් ලෝකයක්, අලුත් පන්තියක්, අලුත් බලාපොරොත්තු මහමෙරක් ජීවිතය වෙනුවෙන් පොදිබැඳ උන් මහා තරගයකට වැටුණු අශ්ව සේනාවක් සේ දුවයද්දී ලෙයින් කිරෙන් උන් තැනූ තාත්තා අම්මා කොතැනකදැයි උන්ට මතකයක් නැත. අතට ගත් බත් කටත් තම කුසගින්න පසෙක තබා දරු පැටවුන්ගේ කුසගින්න නිවන්නට උන්ටම කැවූ අම්මාගේ දානපාරමිතා ගුණ උන්ට මතක නැත. නොඉල්ලා කිසිවක්ම බෝධි සත්ත්ව ගුණ පුරමින් ළය ලෙයක් කිරට පරිවර්තනය කළ අසමාන ස්නේහයක ඝනකම උන්ට මතක නැත. ආශා පූර්ණ ලෝකයක උන්ට තාත්තා වැගිරූ දහදිය සමුදුරක මුතු ගුණ මතක නැත.


එහෙත් එදවසකත් ඒ හදවත්හි ස්නේහය එලෙසමය...


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ... ස්නේහය අංශුමාත්‍රයක් හෝ දියවී ගියානම් සුදුහාමිනේයැයි අමතනු කෙලෙසද?


සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ 

දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ 

ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ 

මං විතරයි තනියම දැන් මගෙ නිවසේ 


දීග ගිය දියණිය දරු පිරිවරක් මැද යෙහෙන් කල් ගෙවයි. වියපත් මව් පිය ස්නේහය ඇගේ ජීවිත අභිලාෂ පරමාර්ථ අස දුහුවිල්ලක් වන්නට පුළුවන. පුතු බිරිඳත් සමඟ තවත් ජීවිතයක් සොයාගෙන ගියේය. ඒ ජීවිතයේද ඉඩහසරක් අම්මාටත් තාත්තාටත් හිමි නැත. ඉඳින් ජීවිතය හැර නොයන ජීවිතය අස නිති නැවතුණ සුමිතුරා තනිකමම පමණකි. විවාහයෙන් ඉනික්බිති දුවා දරුවන් මව්පිය ඇසුරෙන් දුරස්වීමට නන් විධ හේතු බලපාන්නට පුළුවන. සම්ප්‍රදායික නැන්දම්මා ලේලි ගැටුම් මෙන්ම දුවා දරුවන් පය ගසන වර්ණවත් ලෝකයට මව්පියන් වර්ණ වියැකී ගිය පෞරාණික භාණ්ඩයන් යැයි යන ආකල්පය තවත් හේතුවක් වෙන්නට පුළුවන.


ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ...

මේ ගී පදයේ පුතුගේ බිරිඳ අමතන්නේ ලේලිය යනුවෙනි. එහෙත් පුතු මගේ පුතුය. ලේලිය ලේලියක් නොවී දියණියක්ම  වුණානම් ඇයත් මගේ දුවක් වුණානම් වරෙක මේ තනිකම උරුම නොවන්නටද ඉඩ තිබුණි. විවිධ දිශානතීන් ඔස්සේ මේ ගීතයේ කියවෙන ගැඹුරු හා ඉතා සංවේදී මෙම මානුෂීය ගැටලුව විචාරයට ලක් කළ හැකිය.


මං විතරයි තනියම දැන් මගෙ නිවසේ..

දරුවන්ගේ තාත්තාත් නිවසේය. එහෙත් වදනක්වත් නොදොඩා මුනිවත රකින ඒ තාත්තා හුස්මක් වැටෙන හෙයින් ජීවත් වෙනවා පමණය. ඒ ජීවිතයට පෙර දවසක ජීවිතයක් රැගෙන ආ දරු පැටවුන් බොහෝ දුරකය. අනන්තයත් සැතපුමක් සේ දැනෙන තරමට අසංඛ්‍යාත්මක දුරකය. මවක් ලෙස ඇය විඳින කටුක හුදෙකලාව කෙතරම් වේදනාවක්දැයි යන්න ඒ ගී පදය මැනවින් දෙස් දෙයි.


උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන

කවදා දූ පුතුන් ඒදැයි බලාගෙන

වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන

මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන


සැන්දෑ සමය ජීවිත පරිච්ඡේදය වී හමාරය. ප්‍රාර්ථනා උඩු හුළඟ බොහෝ දුරකට රැගෙන ගොස් ඇත. මිනිසුන් ජීවත් කරවන්නේ ඉටු නොවුණු බලාපොරොත්තු සහ ප්‍රාර්ථනායැයි මට සිතේ. තාත්තාගේ නෙත සොයන එකම රුව දරුවන්ය. නෙතට සතුටක් සුවයක් සැනසිල්ලක් ගෙනෙන එකම රුව දරුවන්ගේ රුවය. සිත වියපත් වෙද්දී ඒ අම්මලා තාත්තලත් නොදැරුවන් සේ ආදරය අයදියි. රැකවරණය ආරක්ෂාව අයදියි. ලෙඩකට දුකකට බෙහෙතක් රැගෙන දෙන්නට කෑමට ප්‍රිය හොද්දක් බතක් හදා දෙන්නට අම්මේ තාත්තේ මතකද ඒ කාලේයැයි අසමින් තුරුලේ දැවටුණු යටගියාව සිහිපත් කරන්නට දුවා දරුවන් ඇවිත් යන්නට හෝ ඒයැයි සිතමින් අම්මලා තාත්තලා වියපත් දෑස් දල්වා බලා සිටිති.


වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන..


වේවැල් කැඩුණු පුටුව ඔවුන්ගේ ජීවිත වෙළාගත් දරිද්‍රතාවය කියාපාන සංකේතයක් වැන්න. තාත්තා ඒ වේවැල් කැඩුණු පුටුවේ වකගැසී නෙත ඉල්ලා හිඳින රුව දකිනු රිසින් පෙර මඟ  බලා සිටියි. තමන් තමන්ටම තුරුල් වන්නේ ජීවිතයේ අනේක අසරණකම් හිත කීතු කීතුවලට ඉරා පාරද්දීය.


මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන..


මහපොළොවක් සේ අකම්පාව සියල්ල දරාගත්තී ගැහැනියයි. ඇස් අග්ගිස්සට කාන්දු වෙන කඳුළද ඇය එලෙසින්ම දරා ගනියි. ඇස් පාමුල සැත්කම් කරන්නට නොදී ඒ කඳුළ ඇය දෑස් සීමාවේ රඳවා ගනියි. ඇගේ හඬන හදවත උදෙසා සාක්ෂි දරන්නේ දිලිසෙන දෙඇස පමණි.


දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමි

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි

මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමි

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී


කිරිකැටියන් දවස දරුවන් ඇඟලා ඇඳුම් පොඩිවල සුවඳ තවමත් එලෙසින්ම රුඳී ඇත .ඒ සුවඳ උන්ගේ කිරි සිනා බොළඳ තෙපුල් පිරි අතීත සුවඳ මතකය අබිමුවට කැඳවයි. මනසින් ඒ අතීත රස සුවඳ නෙක සිතුවම් චිත්‍රණය කරයි. ජීවමානව විඳින්නට සෙනෙහසක් අහිමි සඳ ඒ සුවඳ ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට හයියක් දෙයි. ජීවිතයේ ද්වාරය  මරණය කොයි මොහොතක හෝ පිළිගන්නට හදවත ලක ලෑස්ති වී හිඳියි. ඒ නියත දහමට අවසඟව යන්නට බැරි බව දනිතත් ඒ අවසන් නිමේෂයට පෙර සිත ඉල්ලන එක් පැතුමකි


ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී...

ඒ සෙනෙහස ඉන් එහා නිර්වචනය කරන්නට මා දුප්පත් වැඩියැයි මට හැඟේ.


(උපුටා ගැනීම - දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර / දේශය)




Monday, February 22, 2021

සරාගයේ ...

 නිය රටා.. මවනවා..

අපතරේ… වූ කතා

රැය පුරා උණුහුමේ

මල් පෙති තලා…


සයනයක් නිදනවා

මේ රැය අපගේ වූ නිසා..

ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


කාමරේ මුළු පුරා..

නෙක සලුපිලි තනිවෙලා…

මා සිතින්.. හඩනවා..

දෙස බල බලා…


මං මුලා.. වූ සිතින්..

මා මල් සුවදක් විදිනවා…

බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…


උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


ගායනය හා සංගීතය - සනුක වික්‍රමසිංහ 

පදරචනය - මනුරංග විජේසේකර 


මිනිස් සිතක උපදින ආදරණීය සිතුවිලිවලට නැවැතුමක් නැහැ. නොසිතන මොහොතක නොසිතන වරදේ කෙනකු පැටලෙන්නෙත් මේ හින්දා වෙන්න පුළුවන්. වරදක බැඳෙන්න අකමැති වුණත් සොඳුරු වරදක බැඳෙන්න කවුරුවත් දෙපාරක් හිතන්නෙ නැහැ. ඒ වරදේ ප්‍රතිවිපාකය දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. අහඹු විදිහට ඇති වන මේ අසම්මත බැඳීම්වල අවසාන උරුමය වෙන්නේ බොහෝ වෙලාවට වේදනාවක් විරහවක් හෝ පශ්චත්තාපයක් විතරයි. මේ වේදනාවෙන් බොහෝ අය කලක් යනතුරුම විඳවනවා. සමහරු ජීවිත කාලය පුරාවටම විඳවනවා. තවත් අතකට විඳවන්නේ නැතිව එය මොහොතකින් අමතක කර දමන අයත් අපි අතරෙ ඉන්නවා. මේ විදියට ඇති වන අහඹු හමුවීම් නිසා වේදනා විඳින පශ්චත්තාප වන මිනිසුන් මේ ලෝ‍කේ මොනතරම් නම් ඇත්ද?


අපේ ජනප්‍රිය ගීත රචකයකුටත් මේ විදියට අහඹු හමුවීමක් නිසා වේදනා විඳින්නෙකු ගැන අපුරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ සිදුවිම ඔහු අතින් අපුරු පද රචනයකට පෙරළෙනවා. සනුක වික්‍රමසිංහගේ සොඳුරු තනුවක් එයට තාලය දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගීතයට ආකර්ෂණීයව හඬ දෙන්නේත් නව පරපුරේ දක්ෂ ගායක සනුක වික්‍රමසිංහයි.


මේ ගීත රචනයට පාදක වූ සිදුවීම ගැන මේ ගීතයේ රචක මනුරංග විජේසේකර අපිත් එක්ක කතාබහ කළා.


"මම හුඟක් වෙලාවට යුරෝපීය කලා නිර්මාණ රසවිඳිනවා.පොතපත කියවනවා.යුරෝපීය සිනමා කෘති නරඹනවා. මේවා බලන විට ඒවා අහන දකින විට ඒ නිර්මාණ ඔස්සේ රසවත් සිතුවිලි මගේ මනසට ගලා එනවා. මගේ අතින් බටහිර ආභාසයේ ගීත වැඩිපුරම රචනා වෙන්නෙත් ඒවා බොහෝ විට විචාරයට විවාදයට ලක් වෙන්නෙත් මේ නිසා වෙන්න ඇති. සරාගයේ ගීතය ගත්තම ඒ ගීතයට ප්‍රස්තුත වෙන්නේ මගේ හිතේ කාලයක් පුරා ඇති වී සැඟ වී තිබූ රසවත් සිතුවිලි සමුදායක්. කොටින්ම කිව්වොත් මේ ගීතය බටහිර ආකෘතියේ ගීතයක්.මෙහි සංගීතය බටහිර ආභාසයෙන් යුතුවයි නිර්මාණය වෙන්නේ. සනුක කියන්නේ අති දක්ෂයෙක්. ලෝකයේ මේ දවස්වල යන සංගීත රටාව අපූර්වත්වයෙන් යුතුව එහි සැර බාල කරලා ලංකාවට අවශ්‍යකරන පදමට සනුක නිර්මාණය කර තිබෙනවා. එයත් ගීතයේ සාර්ථකත්වයට බලපාලා තිබෙනවා."


සිතේ කොනක සැඟව පැවැති රසවත් සිතුවිල්ලක් මේ ගීතයට පාදක වූ බවයි මනුරංග පවසන්නේ.


"ඔබ හිතන්න ඔබ යනවා ලොකු උත්සවයකට. අනර්ඝ ඇඳුම් පැළැදුමෙන් සැරැසුණු ගැහැනු පිරිමි විශාල ප්‍රමාණයක් එහි සිටිනවා. උත්සවයට පැමිණි ඔවුන් සමඟ මධුවිතින් සන්තර්පණය වන ඔබ හුඟක් සතුටු වෙනවා. මධුවිත තොලගාමින් නටනවා. ගයනවා. එතැනින් පසුව ඔබට සිදු වූ කිසිවක් මතක නැහැ. පසුදින ඔබ අඩසිහියෙන් අවදිවෙනවා. ඔබ සිටින්නේ සයනයක් මත. ඔබට එහා පැත්තේ ඔබ නොදන්නා කාන්තාවක් නිදා සිටිනවා. ඔබට රාත්‍රියේ වූ කිසිවක් මතක නැහැ. ඔබ ඇය කවුදැයි කියා සොයනවා. ඔබගේ ඇඟ පුරාම සීරුණු නිය පාරවල්. ඔබම හිතනවා! මේ ඇඟ පුරා ඇඳුණු නියරටා අතරම ඇය කවුද කියා ලියලා තිබුණා නම් කියලා. ඔබ නැඟිට කාමරයට දෙනෙත් යොමනවා. එය යුද පිටියක් හා සමානයි. තැන් තැන්වල ඇඳුම් විසිරී ගිහින්. සමහර විට මේ අනපේක්ෂිත හමුවීමට මුහුණ දුන් ඔබ විවාහකයෙක් වෙන්න පුළුවන්.තනිකඩයෙක් වෙන්න පුළුවන්. ඒත් මේ අහඹු සිදුවීමෙන් ඔබ සිතේ ඇති වන්නේ වරදකාරී හැඟීමක්. මෙය තමයි මනුෂ්‍ය ස්වභාවය. මධුවිතයි ස්ත්‍රියයි ගින්දරයි පුළුනුයි වගේ කියා කියන්නෙත් මේ හින්දා වෙන්න ඇති."


කාලයක් තිස්සේ මනුරංගගේ හිතේ පැවතුණු මේ සිතුවිල්ල මුල්කරගෙනයි ඔහු 'සරාගයේ 'ගීතය ලියන්නේ. ඔහු අතින් එය ලියැවෙන්නෙත් අපුරු විදිහකට.


"එක දවසක් උදේ පාන්දරක සනුක අපේ ගෙදරට එනවා. ඒ මට කියලා ගීතයක් ලියවා ගන්න. ඔහු නිකම්ම නෙවෙයි එන්නේ. රසවත් තනුවකුත් එක්ක. මෙලඩි එකක් තියෙනවා. පද ටිකක් දමුම ද? ඔහු යෝජනා කරනවා. ඒ වන විට 'සරාගයේ'ගීතයට පාදක වු සිතුවිල්ල මගේ හිතේ තිබුණා. මම එකින් එක පද තනුවට යෙදුවා. එය හරි අපූරු සුසංයෝගයක් වුණා." අසම්මත අහඹු හමුවීමක ආදර අවනඩුවක් වූ නිසාදෝ මේ වන විට යොවුන් පරපුරෙන් මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.


"මම දකින විදිහට මේ ගීතය ගීත ලෝකයේ වෙනස්ම මාතෘකාවක් රැගත් ගීතයක්. සරාගයේ ගීතය ඇතු‍ළේ තිබෙන්නේ අහඹු ලිංගික හමුවීමක්. මේ අන්තර්ගතය බටහිර රටවල අතිශය සාමාන්‍ය සුලබ කතාවක්. බටහිර කලා නිර්මාණ වල මෙය හෝ මෙය අතික්‍රමණය කළ නිර්මාණ සිදුවෙනවා. ලංකාවේ මෙවැනි සිදුවිම් සිදු වුණත් ඒවා සමාජයට විවෘත නැහැ.මට මේ ගීතයේ අවශ්‍ය වුණේ මට අවශ්‍ය කරන මේ සිදුවීම සංයමයකින් යුතුව ඉදිරිපත් කරන්නයි. ලංකාව සංස්කෘතික සදාචාරාත්මක වටපිටාවක් ඇති රටක්.කලා කෘතියක් නිර්මාණය කිරීමේ හා එළිදැක්වීමේ සම්පූර්ණ නිදහස කලාකරුවාට තිබුණත් එය අපේ සංස්කෘතියට අභියෝගයක් නොවිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. සම්ප්‍රදාය කියන බැම්ම කඩාගෙන අලුත් දෙයක් නිර්මාණය කළ යුතු නම් එය කළ යුත්තේ කලාත්මකව මිස ගල් ඉන්නක් අරගෙන ඇනගෙන ඇනගෙන ගිහින් නෙවෙයි."


සරාගයේ ගීතය හැම කාලයකටම හැම සමාජයකටම පොදු අත්දැකීමක් බව එහි පද රචනය,භාෂා යෙදුම් රටාවන් අනුව පෙනී යයි.


"මෙවැනි සිදුවීම්වලට බටහිර සංස්කෘතියේ සරලව කියන්නේ 'One night Stand'(එක රැයක් පමණයි)කියලයි. මෙලෙස ඇතිවන අහඹු හමුවීම් අපේ රටේ අප සමාජයේ සාමාන්‍ය කරණු කාරණා. මා මේ කියන සිදුවීම එදා අපේ රටේ සංචාරක ගැල්කරුවන් අතරත් සිදු වී තිබෙනවා. කැලේ ගමන් කරන දඩයක්කරුවන් අතින්ද සිදුවී තිබෙනවා. පුරාණ සංචාරක වෙළෙන්දන් අතින් ද සිදු වී තිබෙනවා.මෙකල සමාජයේත් විවධ රැකියාවන් හා විවධ සමාජ ක්‍රම ආශ්‍රිතවත් මෙවැනි දේ සිදු වෙනවා. නගරය ද ගම ද කියා මෙවැනි බැඳීම්වලට වෙනසක් නැහැ."


මනුරංග 'සරාගයෙන් 'පවසන දේ සත්‍යයක් බව හැඟී යන්නේ අද සමාජය දෙස බලන විට එහි සැරිසරන විට හමුවන විවිධ දේ අහන දකින විට ය. පවතින සමාජයේ මිනිසාට දැනෙන දේ මිනිසාට දැනෙන සරල භාෂාවෙන් ඉදිරිපත් කරන ඔහු පවසන්නේ කලාකරුවා ආග්‍රහණය කළ යුත්තේ ද සාමාන්‍ය සමාජයේ මිනිසා ආග්‍රහණය කරන සුවඳම බවයි. ඔහු අතින් ලියැවුණු සාරාගයත් ඒ වගෙයි.


(උපුටා ගැනීම - ගීයක අරුම / සිළුමිණ)




වෙරළු ගෙඩිය ...

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන

උන් අපි එදා සත් කුළු පව් විලාසෙන

පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන


පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන

හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //

මහගෙයි බිමට තනි උරුමය කියාගෙන

සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන


වෙරළු ගෙඩිය...


තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති

ලන්දක කකා ලන්දක කල් යල් හරිති //

එක මිහි සයන කාටත් නිදි සුවය දෙති

බිම් පංගුවට ලොල් වී මළගම් නොයති


වෙරළු ගෙඩිය...


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය: වසන්ත කුමාර කොබවක

සංගීතය: වික්ටර් රත්නායක


මෙම ගීතය රචනා කළේ සුභාවිත ගී රැසක නිමැවුම් ශිල්පියකු වන සම්මානනීය පද රචක වසන්ත කුමාර කොබවකය.


“වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන...”


වසන්ත කියූ ගීතයේ පසුබිම් කතාව අපූරුය!


“මේ කතාව බොහොම දිගයි. මගේ පවුලේ ඉන්නේ මමයි අක්කයි. අම්මා ගුරුවරියක්, තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. අපේ නිවෙස තිබුණේ ලොකු වත්තක. තේ ගස් තිබුණට ඒක ගන කැලෑවක්. අම්මා අක්කා ලැබෙන්න කාසල් රෝහලේ නතර වෙලා ඉන්නකොට තාත්තා හැමදාම යනවාලු අම්මාව බලන්න. ඒ ගිහිල්ලා එන්නේ රෑ වෙලාලු. දවසක් එහෙම ගිහින් එනකොට තාත්තාට ඇහෙනවාලු වත්ත කෙළවරකින් පොඩි දරුවෙක් අඬන හඬ.


හොයල බලන කොට ඒ රෑ අසල්වැසි යුවළක් කුඩා දරුවෙක් සමඟ යාන්තම් පැලක් අටවගෙන ඉන්නවාලු. ඒ හිතුවක්කාරකමට විවාහ වුණ අසල්වැසි නිවෙසක ගැහැනු කෙනෙක්. ගමේ අය කියලා ඉඩම ලොකු නිසා වෙද මහත්තයා ඉඩම් කෑල්ලක් දෙයි, එහෙන් ඉන්න, කියලා. අපේ ඉඩම අද්දර දොළෙන් එහා පැත්ත කෑල්ල පහුකාලීනව ඒ අයට ලියලා දුන්නා. ඒත් ඒ මනුස්සයා අපේ ඉඩමෙන් තව තව අල්ලගන්න හැදුවා. මේ පවුලේ දරුවෝ නවදෙනෙක්. එක දරුවෙක් මගේ වයසේ. ඔහු මා සමඟ යාළු වුණා. ඒත් ඔහුගේ පියා මගේ පියා එක්ක තරහයි; රණ්ඩු කරනවා; මගේ තාත්තට බනිනවා. මේ මනුස්සයා ගහකින් වැටිලා කකුල කැඩුණාම ඒක හොඳ කළෙත් අපේ තාත්තා. ඒත් ඔහු නැවතත් තාත්තට බනිනවා. ඒත් උදේට මේ අය වේවැල් කපන්න කැලේට යනකොට මාව ඉස්සරහට හමු වෙලා තමයි යන්නේ. “මහත්තයා හමු වෙලා ගියාම අපට සරුයි...” ඔහු කිවුවේ එහෙමයි. එත් ඔහු මගේ තාත්තා එක්ක තරහයි. “මට වෙදමහත්තයා දැක්කාම තරහව ඉවසන්න බෑ.” ඉන්න හිටින්න තැනක් නොතිබුණු ඔහුටයි දරුවන්ටයි ඉඩම් කෑල්ලක් ලියලා දුන්න තාත්තා ගැන ඔහු කිව්වේ එහෙමයි. මේ අදහස මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා.


පහුකාලීනව මම කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒ කාලේ මම මාලනී බුලත්සිංහල හඳුනනවා. සින්දු ලියලා ඇයට යවනවා. දවසක් මම මාලනී අක්කා හමු වෙන්න ඇය ඒ දවස්වල සිටි නිවෙසට ගියා. ඈ කිවුව පාර දිගේ මඟ සලකුණු ඔස්සේ ගියේ. මඟ දිගට අහපු අහපු හැමෝම යන විදිහ කිව්වා. අන්තිමට ආව නිවෙස ගාවින් ඇහුවාම කිව්වා එහෙම කෙනෙක් ගැන දන්නේ නෑ කියලා. මම ඒ නිවෙසට එහායින් තිබුණු නිවෙසින් ඇහුවා. එතකොට මාලනී අක්කාගේ අම්මා ඇවිල්ලා කිව්වා ඒ ගෙදර කියලා.


මම මේ විස්තරය මාලනී අක්කාට කිව්වාම ඇය කිව්වා ඒ නෑයෝ වැට මායිම් ප්‍රශ්නයකට තරහයි කියලා. මේ අදහසත් ටික කාලයක් මගේ හිතේ තිබුණා. පුංචි කාලේ කොයි තරම් එකමුතුව හිටියත් වයසින් වැඩෙන කොට එකම පවුලේ සහෝදරයෝ අතරේ වුණත් ප්‍රශ්න ඇති වෙනවා. මේ හැමදේම ගැන හිතිලා තමයි පද පෙළ ලියවුණේ. මම එක්වර ගීතයක් ලියා නිම කරන්නේ නෑ. 1979 වසරේ තමයි ගීතය ලියැවුණේ. 1980 තමයි ගීතය පටිගත කෙරුණේ. සුනිල් එදිරිසිංහ මහත්මයා අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රසංගවලට එනවා. මම මේ ගීතය ඔහුට ලියා යැව්වා. වික්ටර් රත්තනායකයන් බොහෝම කැමැත්තෙන් මේ පදපෙළට අපූරු තනුවක් නිර්මාණය කර තිබුණා. අද වගේ පද රචකයෝ පද පෙළක් ලියාගෙන එය ගීතයක් බවට පත් කරගන්න දුක් විඳින්න අවශ්‍ය නෑ. ඒ කාලේ ගුවන්විදුලියේ අලුත් ගීත බිහි කළා. සුනිල් එදිරිසිංහයන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක්. ඔවුන්ට ගුවන් විදුලියෙන් සරල ගී ගායනා වැඩසටහන් වෙන් කර තිබුණා.


මේ වැඩසටහන් වලට අලුත් ගී ගැයුණා. මගේ මේ ගීතයට ඉඩක් ලැබුණේ ඒ විදිහට. ඒ වගේම තමයි අපේ පැරණි කතාවක් තමයි වෙරළු ගෙඩිය හරි හතකට කපලා මවුපියන්ටත් කොටස් වෙන් කෙරුවා කියන එක. ඒත් මට හිතුණා යමක් කොටස් හතකට සමානව කපන්න බැහැ කියලා. අපට යමක් කොටස් අටකට නම් සමානව කපන්න පුළුවන්. ඒ නිසා මම එය කොටස් අට කියලා වෙනස් කෙරුවා.”


වසර ගණනාවකට පෙර ලියවුණ ගීතය ගැන වසන්ත කුමාර කොබවක පවසන්නේ එසේය.


(උපුටා ගැනීම - ඉනෝකා සමරවික්‍රම/සිළුමිණ)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...