Wednesday, July 8, 2020

පොල් රුප්පාවේ ...

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ// 
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ගායනය - චන්දන ලියනාරච්චි 
පදරචනය හා සංගීතය - විශාරද නිහාල් ගම්හේවා

ගම ලස්‌සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය. කඳුවැටි. නීල ගොයම. ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක්‌ තියෙනවා. ඒ ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.

ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය. ගැහැනු පිරිමි වෙනසක්‌ නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.

පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

මේ තරුණයාට ළමා කාලය සිහිපත් වෙනවා. පුංචි කාලේ ඇය සමග පොල්රුප්පාවේ දඟකරමින් සෙල්ලම් කළ හැටි ළමා සිත කෙමෙන් කෙමෙන් මෝරා වැඩෙද්දී ඇය කෙරෙහි උපන් සෙනෙහස ආදරයකට හැරෙනවා. ඒත් ඒ බව ඇය දන්නේ නැහැ. ඇයට නම් ඔහු කෙරෙහි තිබෙන්නේ එදා වගේම සහෝදර ප්‍රේමයක්‌. ඇය වෙනකකු සමග දීගෙක යන වෙලාවේ ඔහුට අතීතය සිහිපත් වෙනවා. ඇය යන්නේ මා අමතක කර දමලා..... ඈ කෙරෙහි මෙතෙක්‌ මා සිතෙහි තිබූ බැඳීම මායාවක්‌ද......? මගේ හදවතේ උපන් ආදර පැතුම් ගිනිගන්නවා වගේ.

මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, සෝමසිරි, ප්‍රින්ස්‌ උදය ඇතුළු යොවුන් ගී කණ්‌ඩායමට කාලාන්තරයක්‌ තිස්‌සේ ගී ලියූ ශිල්පියා.

ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක්‌ මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක්‌ ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක්‌ කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක්‌ මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක්‌ ලියලා චන්දනට දුන්නා.

කාලයක්‌ ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක්‌ කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක්‌ කළා.

රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
සවනේ වැකුණේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌ දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක්‌ අඳෝනාවක්‌ වගේ. කිසිම කන්කළු බවක්‌ දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක්‌ ගීයක්‌ විලසින්.

මේ ගීය මධ්‍යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්‍රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක්‌ ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක්‌ දැනෙන්න තිබුණා.

ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස්‌ වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා.

චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක්‌ තිබෙන ගායකයෙක්‌. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්‌බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා.



Tuesday, July 7, 2020

සිරියා මේ සාරා ...

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //

හෝ...

දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //

හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (Duniya Ke Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීතය අපි කවුරුත් එදා ඉඳන්ම ආදරය කරපු ගීතයක්. ලොකු කුඩා කාටත් කටපාඩම් වුණ, විනෝද වෙන අවස්ථාවකදී වුණත් නිරායාසයෙන්ම මුවගට නැගෙන මේ ගීතය එච්. ආර්. ජෝතිපාලයන් මුල්වරට සිනමාවට හඳුන්වාදුන් ගීතය බව ඔබ දැන සිටියා ද? නමුත් මේ ගීතය සුරතලී චිත්‍රපටියෙන් ඉවත්කරන්නට ගිය බවත් චිත්‍රපටි අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නයන් දැඩි ස්ථාවරයක ඉඳගෙන මේ ගීතය චිත්‍රපටියට ඇතුළත් කලබවත් ඒ නිසාම ජෝතිපාල කෙනෙක් අපිට උරුමවුණ බවත් ඔබ දැන සිටියා ද? බලමු මේ කතාව. මේ කතාව හම්බවුණේ අර්නස්ට් වඩුගේ මහතා රචනා කල අමරණී‍ය ජෝති යන කෘතියෙන්.

එච්. ආර්. ජෝතිපාලයන් ඒ වෙනකොට චිත්‍රපටි තුනක් එනම් පොඩිපුතා, මතභේදය සහ පෙරකදෝරු බෑණා යන චිත්‍රපටි තුනේම අවස්ථා ලැබුණත් යම් යම් හේතුන් මත ගිලීහී ගියා. ඉතාමත් කළකිරීමෙන් හිටපු ජෝතිපාලයන් ලිබර්ටි සිනමාහල වෙතට යනවා සිරිල් පී. අබේරත්නයන් හමුවන්නට. එතුමා යන්නේ ස්ටැන්ලි ඕමාර් සහ එම්. පී. ගැමුණු යන කලාකරුවන් දෙපල සමගයි. අබේරත්නයන් ජෝතිපාලයන් එතෙක් ගයා තිබූ ගී තැටි අසා "මම හුඟක්ම කැමතියි අළුත් අයට අත දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හෙටම එන්න" කියා කියනවා. ඒ වෙලාවේ තමයි ජෝතිපාලයන්ට දැනුණේ, තමන්ට සිනමාවේ දොරටු විවර වුණා කියලා. එතුමාව තෝරාගන්නේ චිත්‍රපටියේ නළු ආනන්ද ජයරත්නයන්ගේ පසුබිම් හඬට. ඉතින් සිරිල් පී. අබේරත්නයන්ට පුදුම ඉවක් තිබුණා ද කියලා හිතෙනවා ජෝතිපාලයන් ගැන එවන් සිනමාවේ ආරම්භක යුගයේ මෙවැනි තෝරාගැනීමක් බය නැතුව කරන්න.

ඉතින් ජෝතිපාලයන් කැටුව මේ පිරිස ඉන්දියාවේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරය වෙත යනවා මුලින්ම ගීත පටිගත කරන්න. මීට එකතුවෙනවා ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න (සිරිල් පී. අබේරත්න මහතාගේ දියණිය), අබේරත්න මහතාගේ බිරිඳ සහ පුතාත්. හැබැයි චිත්‍රපටියේ මේ ගීතය පටිගත කරන විටත් නැවතත් ප්‍රශ්නයක් ජෝතිපාලයන්ට පැන නගිනවා. එයට හේතුව ඒ චිත්‍රපටියේම එන "ප්‍රේමේ මෝරන කාලේ" ජී.එස්.බී.රාණි පෙරේරා / ධර්මදාස වල්පොල ගීතයට ජෝතිපාලයන්ට පොඩි කොටසක් ගයන්න තියෙනවා. ඒ කොටස ඇහුවායින් පස්සේ, චිත්‍රපටියේ කාර්මික අධ්‍යක්ෂ වූ ඉන්දීය ජාතික කේ. වෙම්බු නමැත්තා "අපෝ මෙයාට Screen Voice එකක් නැහැ. මෙයාව ගන්න එපා ෆිල්ම් එකට. එහෙම වුණොත් ෆිල්ම් එක සවුත්තු වෙනවා" යනුවෙන් පවසනවා.

දැන් අබේරත්න මහතා කල්පනා කරනවා මොකද කරන්නේ? අළුත් ගායකයෙක්ව තමුන් එක්කගෙන ආවා. මේ අතරේ මානසිකව වැටුණු ජෝතිපාලයන් අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණා අබේරත්නයන්ට සහ පුතණුවන්ට ඉතාමත් හැඬූ කඳුලෙන් කියා සිටිනවා "අයියෝ බබා. මට ආපහු ලංකාවට යන්න බැහැ. කොල්ලෝ මට ගල් ගහලා මරා දමාවි. මම බදුලු කෝච්චියට ගිහින් 'ටකස්' වෙනවා" යනුවෙන්. ඉතාමත් දුක හිතුණු ස්වර්ණා දියණිය තම මවට අබේරත්න මැතිණියට මේ ගැන පවසනවා. අවසානයේ දී අබේරත්න මහත්මිය තම සැමියාට පවසනවා, "වෙම්බු නෙමෙයි ලංකාවට යන්නේ. ඔයයි ෆිල්ම් එක අරගෙන ආපහු ලංකාවට යන්නේ. ඔයා වෙම්බුට අවනත වෙන්න එපා. එහෙම වුණොත් ඔයාට ජීවිතයකටත් වග කියන්න වෙයි. ඒ නිසා ඔය ළමයව නිකම්ම යවන්න එපා. ගීත දෙකක්වත් දෙන්න" කියා. සාමාන්‍යයෙන් අබේරත්න මහතා තම බිරිඳට ගරු කරන කෙනෙක්. ඒ නිසාම තමන්ගේ දැඩි ස්ථාවරය තබාගෙන කාර්මික අධ්‍යක්ෂකට යටත් නොවී අබේරත්නයන් චිත්‍රපටියේ මේ ගීතය සමග ගීත 4 ක්ම ජෝතිපාලයන්ට ලබාදෙනවා. 

ඉතින් මේ ගීතය චිත්‍රපටියට පෙර තැටිගත කරලා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ නිසාම ජෝතිපාලයන්ගේ හඬ ශ්‍රාවක අවධානයට යොමු වී තිබුණා. ඒ කාලයේ අද වගේ නෙමෙයි. චිත්‍රපටියට පෙර එහි ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ගීත පොත් පවා නිකුත් වෙනවා. ප්‍රේක්ෂක අවධානය ඒවාට යොමුකරලා තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නේ. එතකොට සිංදු හොඳ නම් ෆිල්ම් එක නැගලා යනවා. ගුවන්විදුලිය ඒ සඳහා මහඟු මෙහෙවරක් කලා. ගී තැටි සමාගමුත් ඒ සඳහා උදව් කලා. ඉතින් මේ ගීතයත් HMV (His Masters Voice) WN586 අංක දරණ ගීත තැටියේ (LP Record) තැටිගත වෙලා තියෙනවා. 

ඉතින් පොදුජන ගායකයා ලෙස විරුදාවලිය ලත් ජෝතිපාලයන්ට ඒ තත්ත්වෙට පත්වෙන්න සිරිල් පී. අබේරත්න මහතා ඇතුළු පවුලේ සැම කරපු උදව්ව ගැන අපි කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ට ගරු කල යුතුයි.

සුරතලී චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1958 සැප්තැම්බර් 19
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
කතාව හා දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - සිරිල් පී. අබේරත්න
කාර්මික අධ්‍යක්ෂණය - කේ. වෙම්බු (ඉන්දීය ජාතික)
නැටුම් - ශේෂා පලිහක්කාර සහ පිරිස
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය (මදුරාසිය)
ගීත සංඛ්‍යාව - 12

(මාධව විජේසේකර)



වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ...

තම පුතු විසින් සංගීතවත් කල ගීතයක් ගායනය කරන්නට ලැබෙන්නේ නම් මවකට එය මහත් භාග්‍යයක් නොවන්නේද. එමෙන්ම තම ස්වාමියා විසින් සංගීතවත් කල බොහෝ ගීතද ගායනා කරන්නට ඈ වාසනාවන්ත වූවාය.
නමුත් අපගේ අවාසනාවට අද ඈ අප අතර නැත. මාලනී බුලත්සිංහ ගුරු මෑණියනි ඔබ අපේ සිත් තුල සදා අමරණීයයි.......

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා

ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස් (ආදි ආනන්දියෙකි)

මේ ගීතය ලියැවෙන්නේ 99/ 2000 කාලයේදී. මෙය එක්වරම බිහිවුන ගීතයක් වන්නේ නෑ. මාලනිය තමාට ගීතයක් ලියාදෙනමෙන් විදුරගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇය ඔහුගේ දක්ෂතා පිලිබඳව වැටහීමක් තිබෙන නිසාවෙන්. ඔහු විසින් රචිත යුග ගීයක් මාලනියගේ සිත්බැඳ ගන්නා නිසා තමයි මාලනිය එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ. විදුර ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ මාලනිය නිකම් කියූ දෙයක් කියා සිතායි. නමුත් දෙතුන් වතාවක් ඔහුට මෙය කියන නිසාවෙන් ඔහුට මෙය සිදුකරන්නටම වෙනවා.

මාලිනී ඇන්ටි හමුවෙන ගාණෙම අහනවා සින්දුවක් ලිව්වද කියලා. මම 'ඔව්' ලියනවා කිය කියා හිටියා. ඔය අතරේ අපේ ගෙදර අය පදිංචිය වෙනස් කරනවා. තාත්තා වරායේ වැඩ කරන නිසා බ්ලූමැන්ඩල්වල වරාය නිවාසවලට එන්න වෙනවා. ඒ වෙනකොටත් මම ප්‍රේමයක පැටලිලා හිටිය නිසා මේ දුරස්වීම මට හොඳට දැනෙනවා. නිතර හමුවුණ එක නැති වෙනවා. ටෙලිෆෝන් තිබුණෙත් නැති නිසා ලියුම්වලින් විතරයි ගනුදෙනුව. මගේ ප්‍රේමවන්තිය දිග ලියුම් එවනවා මල් පෙති එහෙම දාලා. මම ලියුම් ලිව්වට දාන්න මට සල්ලි නෑ. ඒවා මගේ සාක්කුවෙම තියෙනවා. ඒ නිසා සිත් තැවුල් තිබුණා. ඔය කාලේ තමයි මාලනී ඇන්ටි සින්දුව ඉල්ලන්නේ. එයාට දෙන්න හිතාගෙන මම බර වචන දාලා සින්දුවක් ලියනවා.

මේ දළු ලෑ ඝනදුරට හොරෙන්
සඳ සුවඳ දැනේ නම්
නොමියේ මැයි සඳ සිසිල සිතින්
ගනදුරට බියයි මං . . .

මේක යුග ගීයක්. නමුත් මාලිනී ඇන්ටිගේ CD එකට ඒ වෙනකොටත් යුග ගී 2 ක් තිබුණ නිසා මට වෙන ගීතයක් ලියන්න වුණා. ඒක ලිව්වේ කසුන් කරපු melody එකට. කසුන් ගිටාර් එක play කරත්දි ඒ melody එකට මට ආව වචන ටික තමයි 'ගී පද කීමට මාල ගිරා' කියන වචන ටික. ගීතය ඉවර කරන්න මාසයක් විතර ගියා. කසුන් වරින් වර හදන melody එක මට දුරකථනයෙන් කියනවා. මම ඒක අහගෙන පද ලියනවා. ඒ කාලේ දුරකථන පහසුකම් නැති නිසා අල්ලපු ගෙදර දුරකථනයට තමයි කසුන් ජචතත දෙන්නේ.

දුරකථනයෙන් ගලා ආපු කසුන්ගේ melody එක විදුර ලිව්ව පද පේළි සුන්දර ගීතයක් නිර්මාණය කළා. මාලිනී බුලත්සිංහල කළ අවසන් සංයුක්ත තැටිය වුණ 'මොනාලිසා'ට එය ඇතුළත් වුණා.

ගීතය පටිගත කළ දවසේ මාලිනී බුලත්සිංහල විදුරට ද ආරාධනා කළා. අහම්බයකින් ඒ දිනය විදුරගේ උපන් දිනය වුණා.

'ඒ කාලේ ගීත රචකයෙකුට සින්දුවක් ලිව්වම රුපියල් 2000/- ක් දුන්නා. මාලිනී ඇන්ටි මට ඇඩ්වාන්ස් එකක් විදියට රුපියල් 1000/- ක් දුන්නා. ඒ ආසන්නයේම දිනක ඈ විදේශ සංචාරයකට පිටත්ව ගියා. ඒත් ඈ ආපසු ආවේ නෑ. ඊට පස්සේ මම කසුන්ට 'සොඳුරු සිතුවම්' ගීතය ලිව්වා. ඔහු ඒක ගායනා කළේ නිරංජලා මංජරීත් එක්ක.'

මාලිනී බුලත්සිංහලට සින්දු ලියන කොට ප්‍රේමයේ සිත් තැවුල් මැද සිටි විදුර සිය ප්‍රථම ප්‍රේමයම වූ ඇය අද ඔහුගේ ප්‍රිය බිරිය කරගෙන සිටී. ඇය සමිතාය. එසේම 'සිහෙල තෙසරණ' පුතුය. ඔවුන් සමඟ ආදරණීය ජීවිතයක් ගෙවමින් වර්තමානයේ බොහෝ පොත් දොරට වැඩීම්, ගී දොරට වැඩීම් ඔහුටම ආවේණික ගැඹුරු හඬ පෞරුෂයකින් ඉදිරිපත් කරමින් කලා ලොව දිගු ගමනක නියුතු වෙනවා.

(සරසවිය)



Monday, July 6, 2020

ලොව නිසසල වී නවතින මොහොතේ...

ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී...

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී...

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සරල ගී පරීක්‍ෂණයට සහභාගි වෙන දවස්වල ඉඳලම මම පේ‍්‍රමකීර්ති ද අල්විස්ට කියලා තිබුණා මට ගීතයක් ලියලා ඕනෙ කියලා...

ඒත් සරල ගී වැඩසටහන ලැබෙනකම්ම පේ‍්‍රමකීර්ති අයියා මට ගීතයක් ලියලා දුන්නෙ නෑ.

මම දැන් ඉන්නෙ හරිම අවුලක. මම දයා අක්කටත් කිව්වා හරි වැඬේනෙ වුණේ.. පේ‍්‍රමකීර්ති අයියා මට සිංදුවක් ලියලා දුන්නෙ නැහැනෙ කියලා. ඔන්න එදා හවස පේ‍්‍රමකීර්ති අයියා දුවගෙන ආවා. ඇවිත්,

‘‘නංගී... හෙට උදේ හත වෙනකොට ඔයා වික්ටර්ගෙ ගෙදරට එන්න..’’ කියල කිව්වා.

‘‘හෙට උදේ?’’

මම ඇහුවේ ඇස් දෙක නළලට අරන්..

එතකොටත් මගෙ පපුව ගැහි ගැහි තිබුණේ.

මගෙ පළවෙනි සරල ගී වැඩසටහන නිසා මේකෙ ගීත ගයන එක මට හුඟාක් ලොකු වැඩක්.

‘‘හෙට උදේනෙ මට සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙන්නෙත්.’’

මම කිව්වෙ චෝදනාවක හඬින්

‘‘හරි ඉතින් රෙකෝඩින් එක තියෙන්නෙ කීයටද?’’

පේ‍්‍රමකීර්ති අයියා බොහොම සැහැල්ලූවෙන් ඇහුවා.

‘‘අට හමාරට’‘

‘‘ඒකනෙ ඔයා හත වෙද්දී වික්ටර්ගෙ ගෙදරට එන්න. ඔයා එනකොට වික්ටර් සිංදුවක් හදලා තියයි. ඇවිත් ටිකක් පුරුදු වෙන්න පැයක්ම තියෙනවා...’’

හිනාවෙලා එහෙම කියපු පේ‍්‍රමකීර්ති අයිය යන්න ගියා.

ඒ වෙනකොට අනිත් සිංදු ටික මම පුරුදුවෙලත් ඉවරයි.

පේ‍්‍රමකීර්ති අයියා කොහොම කිව්වත් මං හිටියෙ පුදුම විදිහට බයවෙලා. සිංදුවක් කියනව කියන්නෙ ලේසි පාසු වැඩක්ද?

කොහොම හරි පහුවෙනිදා උදේ හය හමාර වෙනකොට මම වික්ටර් අයියගෙ ගෙදරට ගියා. ඒ කාලෙ වික්ටර් අයිය හිටියෙ පාගොඩ පාරෙ ගෙදරක.

පේ‍්‍රමකීර්තිගෙ ගෙවල් තිබුණෙත් ඒ කිට්ටුව. ඉතින් මං වික්ටර් අයියගෙ ගෙදර යනකොට සංගීත භාණ්ඩවල සද්ද වගයක් එහෙම ඇහුණා.

‘‘එන්න.. එන්න නංගී....’’

පේ‍්‍රමකීර්ති අයියයි වික්ටර් අයියායි දෙන්නම කිව්වෙ එකට..

‘‘අපි ඔයාගෙ සිංදුව හදලා ඉවරයි. දෙපාරක් කියන කොට ඔයාට මේ සිංදුව පුරුදු වෙයි නංගි කියලා පේ‍්‍රමකීර්ති අයියා මට එයා ලියපු සිංදුව දුන්නා. මම ඒ වචන ටික කියෙව්වෙ පසුව ගැහි ගැහි...

ලොව නිසසල වී නවතින මොහොතේ

යටිහිත් මතුකොට සිනාසලා

ලොව දොඩමළු වී නෙත් මානන කල

අපි දෙදෙනා ඉමු තරග වෙලා..

පුදුම ලස්සන වචන ටිකක්.

ඒ වෙද්දී මම හිටියෙ තාරුණ්‍යයෙ එළිපත්ත උඩ... ඉතින් මේ ආදරණීය වචන ටික මගෙ සිතට පුදුම විදිහට කිට්ටු වුණේ. ඔය කියන හැත්තෑව දශකයෙදීත් යොවුන් ආදරය රහසක් විදිහට තමයි තිබුණෙ. කරුණාසේන ජයලත් ගොළු හදවතේ ලියලා තිබුණු ආදරයම තමා හැත්තෑවේදීත් තිබුණෙ.

ආදරය කියන්නේ බැල්මකට, පුංචි හිනාවකට, ලියුමකට සීමා වුණු බැඳීමක්...

චුට්ටකින් වික්ටර් අයියා වාදනය පටන් ගත්තා. මට තිබුණෙ සිංදුව කියලා ටිකක් පුරුදු වෙන්න... පළවෙනි පාර චුට්ටක් වැරදුනා දෙවෙනි පාරත් ටිකක් වැරදුණ. ඒත් තුන්වෙනි පාර හරියටම සිංදුව කියාගන්න මට පුළුවන් වුණා. තව දෙපාරක් පුරුදු වෙලා මම කෙලින්ම ගියේ ගුවන් විදුලියට. වික්ටර් අයියයි පේ‍්‍රමකීර්ති අයියයි දෙන්නත් මගෙත් එක්කම ගුවන් විදුලියට ආවා...

එදා සරල ගී වැඩසටහනේ කියපු ගීත අතරින් වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ මේ ලොව නිසසල වී ගීතය. ගීතය ලොව නිසසල වී වුණාට මොකද මේ ගීතයෙන් ලොව සසල වුනා. නිරංජලා සරෝ්ජනී ගායිකාවක් විදිහට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා.

අදටත් මං ගයපු ගීත අතුරින් වැඩියෙන්ම ජනප‍්‍රිය ගීත ගොන්නේ මේ ගීතයත්, අකලට වට මහ වරුසාව ගීතයත් තියෙනවා.


විරාග රාගය අතරේ....



සම්මාන උළෙලකදී අමල් පෙරේරාට ඇතිවුන සිතුවිල්ලක් අනුව එනම්, ජ්‍යෙෂ්ඨයකු සමඟ ගීතයක් ගැයීමේ අදහසින් එම කැමැත්ත ඉටු කර ගැනීමේ අරමුණින් මෙම ගීතය  බන්දුල නානායක්කාරවසම් අතින් නිර්මාණය වූ බව අමල් පෙරේරා පවසයි. 

බන්දුල නානායක්කාරවසම්ගේ අදහසට අනුව, ආදරය පිළිබදව හෝ ආදරයේ දෙව්රුව පිළිබඳව ඔහු කොතෙකුත් ගී පද  නිර්මාණය කර ඇති නමුත්, මේ ගීතය නිර්මාණය කළේ ඔහු කැමැතිම නව කතාව පාදක කර ගෙන යනුවෙන් පවසයි. විරාගය කැමැතිම නව කතාවයි. කැමැතිම චරිතය අරවින්දයි. සමාජය විසින් අරවින්ද ආදරයේත්, ජවිතයේත් පරාජිත පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇත. එම ප‍්‍රස්තුතය ඔස්සේ මේ ගීතය නිර්මාණය කළා යැයි ඔහුගේ අදහසයි. 

ඇය තරුණය. ඇයගේ සැමියා මැදිවියේය. හුදකලාව ගලා ගිය ඇගේත් ඔහුගේත් කැඳල්ලට පැමිණි පිටස්තරයා සියල්ල වෙනස් කළේ ය. නමුදු ඒ පිටස්තරයා තුළ ඇත්තේ පේ‍්‍රමය ද, රාගය ද යන්න දන්නේ ඔවුන් පමණි. ආදරය විඳිය යුතුය. ජීවිතය දිනිය යුතුය. සිතක සඟවා ඇති පේ‍්‍රමයකින් ඇයට ද, ඔහුට ද ඇති ඵලය කුමක් ද? ඔවුන්ගේ කැඳල්ලට පිටස්තරයකු පැමිණීමට ඉඩ හැරියේ ඔහු ද? මේ සියල්ල විරාග රාගය ගිතයේ ඇතුළත්ය.

ගැහැණිකයගේ මුණිවර දහම පිළිබඳව බන්දුල නානායක්කාරවසම් මේ ගීතය තුළින් අදහසක් දක්වා නොමැත. ආදරය, පේ‍්‍රමය, පතිවත පිළිබඳව ගැඔුරු විශාල යටි පෙළ අරුතක් මෙහි ගැබ්ව ඇත. ගැහැනිය එක් එක් අයුරින් විවිධ සංස්කෘතීන්ට අනුව අර්ථ දක්වනු ලැබේ. ඇනාකරලිනා නව කතාවේ ඇනා ද, එමා බොවාරි නව කතාවේ එමා ද, මළගිය ඇත්තෝහි නොරිකෝ ද නිදසුන් ලෙස දැක්විය හැකිය. ඒ අතර ශ‍්‍රී ලාංකීක විවාහක ගැහැනිය පිළිබඳව විශාල සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ ගෙන ඇති බවත්, ඇයට එල්ලවන සමාජ අපවාද සාධරණද යන්න මේ ගීතයේ පද තුළින් ඉස්මතු වේ.

විරාග රාගය අතරේ
තනි වූ 
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ - තනි වූ ආලය                                 
දුරලයි තනිකම ලබමින් - මගේ සරාගය...
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා 

ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු -
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා - ඈ අසරණ වූවා...
නුරා එගිනි දලූ - ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති - ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

පුමිතිර බව හා ලිංගිකත්වය අප ජන්මයෙන් දායාද කොට ගත්තාද එය ආවේණිය මතම රඳා පවතින්නක් නොවේ. අපේ හැඩරුව සේම දේහ ක‍්‍රියාකාරීත්වය හා චර්යා රටාවන් ද එයට ආවේනික ලෙස හැඩගැස්වීමේ ප‍්‍රතිඵලයකි. නමුත් මේ සියල්ලම කාලය හා පරිසරය, උෂ්ණත්වය අනුව වෙනස්වීම්වලට ලක්විය හැකිය. ආදරය ද, ජිවිතය ද එලෙසම ගතික ස්වභාවයක් ගනු ලබන හැඟීමකි. 

පේ‍්‍රමය කියන්නේ හදවත මුල්කරගත්තු කාරණාවක්. මනෝමූලික සංකල්පයක්. ජීවත් වීමේ දී අප හුරුපුරුදු කර ගත්ත සම්ප‍්‍රදාය, සංස්කෘතිය වැනි කාරණා නිසාවෙනුත් පේ‍්‍රමයට බලපෑම් එල්ල වෙනවා. අනෙක් අතට අප තුළ පේ‍්‍රමය උපදින්නේ අපට උගන්නපු රාමුවක් ඇතුළතයි. අකලංක, පරම, නිර්මල, නික්ලේෂි වගේ විශේෂණයන්ගෙන් යුක්ත වූවකි. ඒ කෙසේ වෙතත් පේ‍්‍රමය නිසාවෙන් උපදින මනෝභාවයන් ශරීරයේ ජීව විද්‍යාත්මක සංයුතුයට බලපෑම් කරන්න තරම්ම ප‍්‍රබලයි. අන්න ඒ හේතුව නිසාවෙනුයි රාගය උපදින්නේ. නමුත් ජීව විද්‍යාත්මක ඇත්ත සමඟ පමණක් අපට රාගය විඳින්නට ඉඩක් නොමැත. අපේ පේ‍්‍රමයට බලපෑම් කරනු ලබන සදාචාර නීති මාලාව ද අවි අමෝරාගෙන ඉදිරියට පැමිණේ. පේ‍්‍රමයේ දී අප කළ යුතු හා නොකළ යුතු දෑ තෝරා බේරා වෙන්කර දීමට ලියවුණු පොතක් ලෙස එය හැඳින්විය හැකිය. ආදරයේ දී අප දන්නා නමුත් නොදන්නා මෙන් සිටින ඇත්ත ද මෙයයි. 

විරාග රාගය නිර්මාණයේ දී අපිට මුණගැහෙන්නේ ගීතයෙන් කියන ආකාරයට පෙමින් තොරව කතරක් වූ විවාහක යුවලක් හා පිටස්තර පෙම්වතෙක් පිළිබඳවය. සැමියෙක්, බිරිඳක් සහ සම්මත සමාජ රාමුවට අනුව අනියම් පෙම්වතෙක්. මෙවැනි තුන්කොන් ආදර අන්දර පිළිබඳව විවිධාකාරයේ කලා ක්‍ෂේත‍්‍රයන්හි නිර්මාණ බිහි වී ඇත. මෙය සම්මත සමාජයට පොදු කරුණක් නොවුනට එසේ නැත්තෙත් නැත. කුසගින්න එක්කෙනෙකු තුළ ඇති වුව ද එය මුළු මහත් සමාජයටම බලපාන්නකි. එකම අත්දැකීම එක් ස්ත‍්‍රියක් විෂය පථය කරගත් පිරිමි දෙදෙනෙකුගේ ඇනුම්පද විලාසයෙන් දෙදෙනාම විවරණය කරනු ලබන අවස්ථාවක් ලෙස ගීතය මුළුමනින්ම දිගහැරෙන අතර අද සමාජය තුළ දක්නට ලැබෙන්නේද මේ දෙයමය. 

එකම ගැහැනිය ආදරය දෙපාරකට විඳින්නට සහ එකවිට විඳින්නට උත්සාහ දරද්දී ඇය විශාල ගැටුම්වලට මුහුණ පායි. නීතියෙන් හමුවුණු තමාගේ ස්වාමි පුරුෂයාත්,පෙම්වතාත් ඇයගේ පතිකුලයත් පවත්වා ගෙන යාමට ඇය උත්සාහ දරයි. එකම අත්දැකීම විඳින්නට පරම්පරා දෙකක දෙදෙනෙකු සූදානම් වන අරුමය,

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා
ඈ මුකුලිත වූවා 

මේ ගීතය තුළ සැමියාගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම චෝදනා පත‍්‍රයකි. ඔහු තමන්ගේ විරාග රාගය පිළිගන්නා නමුත්, ඒ හිස්තැන සම්පූර්ණ කිරීමට තම කැදැල්ලට රිංගාගත් පෙම්වතාට ඇඟිල්ල දිගුකරයි. 

කර ගනු ඈ සතු
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා...

ගැහැනිය ගත් කල ඇත්තෙන්ම ආදරය හා රාගය අතරේ අතරමං වේ. ඇය සිය ජිවිතයම ආදරය කරගන්නියෙකි. ආසියාතික කලාපීය රටවල ගැහැනිය එහි දී ප‍්‍රතිමූර්තියක් බඳුය. ඒ ප‍්‍රතිමූර්තිය බිඳලනු එක් අවස්ථාවක් ලෙස තනිකම දැක්විය හැකියි. සරාගි හැඟීම් ඉස්මතු වීම නිතැතින්ම සිදුවේ. තුන්වැන්නකුගේ බලපෑම අවශ්‍යතාව මතු වීමත් ඇගේ පවිත‍්‍රතාවත් තනිකමත් සමඟම ගිලිහී යාමත් සිදුවේ. 

ඇයට අවශ්‍ය ආදරය විඳින්නටය. මනසින් පෙම් කිරීම හෝ එය වචන බවට නොපෙරලීම ඇයට වන අසාධාරණයකි. ඔහුගේ මුනිවත රකින ආදරය ඉදිරියේ ඇය සිය සතුට සොයයි.

නුරා එගිනි දලූ
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ
තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා... 

ආදරය රාගයෙන් වියුක්ත කිරීමට හෝ රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවිණි. එමෙන්ම අසීමාන්තික, අසම්මත බැඳීම් ද කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කෙසේ නමුදු හෘද සාක්‍ෂියට එකඟ නොවූ හැඟීමක් බැඳීමක් සමඟ ඒ මොහතේ මතුපෙළ සතුට සමඟ කිසිදා නොමියෙන යටිපෙළ දුකක් ද පවතී. 

සත්ත්ව සංහතිය තුළ ජිවත් වන මිනිස් ජිවියා තුළ හැඟීම් සිතුවිලි වූ කලී මාරුතයක් සේය. විටෙක නිහඬව සිටින මාරුතය තවත් විටෙක චණ්ඩ මාරුතයක් වී කෙසේ හෝ ගලා යාම සිදු විය. ආදරය, පේ‍්‍රමය එහි මූල බීජය ලෙස හඳුනාගත හැකිය. 

තුන්කොන් පේ‍්‍රමයක ගැහැනිය සිටිද්දී පිරිමින් දෙදෙනා හෝ පිරිමියා සිටිද්දී ගැහැනු දෙදෙනා හෝ කතාව ඉදිරිපත් කරන්නේ නැත. ප‍්‍රධාන කතා නායකයා එක් පුද්ගලයකු නොවී මේ විප්ලවීය ගීතයේ පුද්ගලයන් දෙදෙනාම ප‍්‍රධාන කතා නායකයන් ලෙස බන්දුල නානායක්කාරවසම් පද රචන තුළින් සහෘද සිත් තුළට සමීප කරලයි.

මිනිස්සු යනු සමාජශීලී සත්ත්ව කොට්ඨාශයකි. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදකලාව හෝ තනිව ජිවත් වීම ප‍්‍රතික්‍ෂ්ප කරයි. ආදරය නැමැති බැඳිමේ දී එය මිනිසාට විශේෂයෙන් බලපානු ලබයි. එහි දී ඔහු තම හුදකලාව, තනිකමෙන් ගිලිහීමට විවිධ ක‍්‍රියාකාරකම් වල නියැලනු ඇත. එහි එක් ප‍්‍රායෝගික අත්දැකීමක් විරාම රාගය ගීතය තුළින් ඉස්මතු කරලනු දැකිය හැකිය.
                             
ඔබේ මිලින ගති 
ඇයට නොවේ රුති  පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

එකඳු රාගික හැඟීමක, බැඳීමක එනම්, සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවන පෘථග්ජන පුද්ගලයයෙකුට වෙනෙකෙකු පිළිබඳව රාගය ඇතිවිම නිරායාසයෙන්ම සිදුවිය හැකිය. සමාජය ඒ හැඟීම කෙසේ පිළිගනීද යන්න ප‍්‍රශ්නයකි. නමුත් එම හැඟිම ඉතා  සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමක් ලෙස මෙම පද සංඝට්ටනාව හුවයක් සේ ගලපා ඇත. එහිදී පවුලක බිරිඳ හෝ සැමියා යන දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු ගත් කළ ඔහු අවිවේකී වීම නිසා තනිවන්නට සිදුවන පුද්ගලයාට හුදකලාවීම නිසා එමඟින් පහර විඳීමට සිදුවේ. එයින් ඇයට පරාජ සිතුව්ල්ලක් ඇති කරවයි. ඒ පරාජයනම් තනිකමයි. එය දුරුකරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේ දී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල්වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවේ. එම සිතුවිල්ල හේතුවෙන් පවුල තුළ සිදුවන විනාශය එනම්, ඈ රාගයට පෙම් කරන බැවින් ද එයට සහේතුක කාරණාව ඈ ආදරය තුළදී තනිවීම නිසා ජිවිතය කතරක් වීම යැයි ද ඉතාම කුඩා හැඟුම් ගැඹුරින් රසිකයාගේ සිත්තුලට ප‍්‍රබල අර්ථකථනයක් දේ.

         ----------------------------------------------------------------------------------------------------------
පේ‍්‍රමය හා විරහවත් ඒ අතර මැද මුහුණ දීමට ඇති භාවාත්මක චින්තනය විරාග රාගය ගීතයේ පදවැල් තුළින් එකිනෙක ඉතා අරපරිස්සමින් බන්දුල මහතා ගැහැනියගේ හෝ පිරිමින් දෙදෙනාගේ සිත් නොරිදෙන ආකාරයෙන් දිගහරින අතර පේ‍්‍රමයනම් භාවනාවේ දී විශේෂයෙන්ම විවාහක ගැහැනියකට මෙවැනි අවස්ථාවේ දී එල්ලවන සමාජ අපවාද සාධාරණ ද අසාධාරණ ද යන්න සියුම්ව රසික බුද්ධිකලම්බනයකට ලක්කරනු ලබයි.         

කේ. ඒ. එන්. පෙරේරා විසින් රචිත ආදරය කලාවකි නමින් පරිවර්ථනය කළ එරික් ෆ්‍රොම් නමැති ජර්මාණු මනෝ විශ්ලේෂකයාගේ The Art of Loving නැමති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. 

ලිංගික බැඳීමක් සඳහා වන ආශාව ආදරය මඟින් උද්දීපනය කිරීමට පුළුවන. එවිට කායික සම්බන්ධතා පැවැතිවීමේදී එය කෑදර ලෙස හෝ කෙනෙක් අභිභවනය කිරීමට හෝ අභිභවනය කරනු ලැබීමට ඇති කැමැත්ත ඇතිව සිදුකෙරෙන්නේ නැත. එවිට එය සිදුවනුයේ මුදු මොළොක් සියුමැලි අන්දමිනි. කායික සම්බන්ධතාවයක් පැවැත්වීමේ දී එය ආදරය මඟින් ඇති කරනු ලබන උද්දීපනය හේතුකොටගෙන සිදු නොවන්නේ නම් සහ එමෙන්ම සරාගී ආදරය යනු සහෝදර පේ‍්‍රමයක් නොවේ නම් එමඟින් කිසිවිටෙක ආවේශයක ස්වරූපයෙන් ඇතිවන ක්‍ෂණික සම්බන්ධයකට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනිමට ඉඩ සැලසෙන්නේ නැත. කායිකව හමුවන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණයක් මඟින් ඇති කරයි. නමුත් කායික හමුව ආදරකින් තොරව සිදුවීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට පෙර සිටියාටත් වඩා අමුත්තන් බවට පත්වීමය. සමහර විට ඔවුන් එකිනෙකා ලැජ්ජාවට පත්විමට හෝ එකිනෙකාට ද්වේශ කිරීමට පවා හේතු විය හැකිය.

මුනිවර ආදරයක් තුළ සරාගය සෙවීමට ඇති ස්ත‍්‍රී ආශාව නිවැරදිව තේරුම් ගැනිමට බහුතරයක් මනුෂයාට නොහැකි වී ඇත්තේ ඉහත කී පරිදි ලැජ්ජාවට පත්වීමට තරමේ ආත්මයක් ඔවුන් සතු නොවීම හේතුවෙනි යැයි සිතේ. 

ආදරයක් ගොඩනැගීමේ ආරම්භයට එක් සැණකින් ඇතිවන හදිසි හැඟීමක් හදිසි කම්පනයක් ප‍්‍රමාණවත්ය යන්න අපි දන්නා ඇත්තය. එවැනි කම්පනයකින් පස්සේ මිනිසුන්ගේ ජීවිතවල අතීත, අනාගත, වර්තමාන පෙළ කනපිට ගැහෙනා අයුරු කවියා ව්‍යංගයෙන් දක්වා ඇත.  

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු ලැබූ හෝ අතිශය ගැඹුරින් පරිකල්පනය ප‍්‍රකට කරලන ගීතයක් සමජයට දායද කරලූවක් ලෙස විරාග රාගය ගිතය හඳුනාගත හැකි ය. සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිළිබඳව ගායකයන් දෙදෙනෙකු අමුතුම ආකාරයේ කතන්දරයක් කියන ආකාරයක් මතු කරලීමට බන්දුල නානායක්කාරවසම් උත්සාහ ගෙන ඇති අතර සමාජය තුළ නිරන්තරයෙන් සිදුවන සිදුවීමක් ඔවුනොවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඒ ඔස්සේ සිය නිර්මාණය හරහා පුද්ගල මනෝභාවයන්ට, පන්හිඳ තුඬින් බන්දුල නානායකකාරවසම් සර්ව සාධාරණයක් ඉෂ්ට කර ඇති බව මගේ හැඟීමයි. 

ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදනය අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය




 

නීල වර්ණ නීල කොබෙයියෝ …

නීල වර්ණ නීල කොබෙයියෝ …

“ගීතය යනු සංගීතය හා භාෂාවේ අනුකූලතා පූර්වක සුසංයෝගයේ ඵලයක්. ‘නාද’ නමැති මූල ද්‍රව්‍යයත් ‘වචන’ මූල ද්‍රව්‍යයත් හරියට තෙලුයි වතුරයි වගේ පරස්පර විරෝධි වස්තු දෙකක්. ඒ දෙක අනුකූලතා පූර්වකව සුසංයෝග වෙන්න ඕනැ. එවිටයි සුභාවිත ගීතය බිහි වන්නේ.” අමරදේවයන් වරෙක සුභාවිත ගීතය අර්ථ කථනය කිරීමට යෙදුනේ එලෙසින්.

මේ අර්ථ කථනයට අනුව ගීතයක්, අර්ථ පූර්ණ, සුගායනීය සහ කාව්‍යමය පද වැලක්, ඊට අනුරුප වන සංගීතය සහ භාව පූර්ණ ගායනය ද සමගින් රසිකයන් වෙත ඉදිරිපත් වන්නේ නම් වින්දනීය ගීතයක් වනු ඇත. එනයින් බලන කළ, ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ හඬින් ගැයෙන “නීල වර්ණ නීල කොබෙයියෝ” ගීතය වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතයක්.

එකකට එකක් ගැලපෙන උපමා රූපක රැසක් යොදා ගනිමින් ලියවී ඇති මේ ගීතය පෙම්වතියක සිය හද දිනු පෙම්වතා වෙත තමුන් ගේ සිත රැඳී ආදරයෙහි ස්වභාවයත්, ඇගේ ප්‍රාර්ථනාවනුත් විස්තර කරන්නක්.

“සිත වටකර පියා සලන සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ “

ඔහු, ඇයගේ සිත පුරාම අරක්ගෙන. ඒ අරක් ගැනීම ඇයට සහනයක්, සතුටක්.

“උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ”

ඔහු තරාතිරම කුමක් වුවත් ඈට කම් නැත. ඔහු ඇගේ හදවතෙහි ස්ථිරවම ලැගුම් ගෙන අවසන් සේය.

“අඳුර බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ”

ඇගේ තැවුල්, දෝමනස්සයන් සමනය කරනු පිණිස ඇයට ඇත්තේ, ඔහුගේ ආදරය හා බැඳුනු පැතුම් ගොන්නක්. මේ පද කෙතරම් සුගායනීය සහ කාව්‍යමය වෙතත්, ඉන්ද්‍රාණි බෝගොඩ ගේ භාව පූර්ණ හඬ නොවන්නට මේ ගීතය මෙතරම් මධුර ප්‍රකාශනයක් නොවන්නට ඉඩ තිබුණු බවයි හැඟීම.

මෙහිදී “නීල කොබෙයියා” යන රූපකය යොදා ගනිමින් ඇය සිය පෙම්වතා හඳුන්වන්නේ ඔහු කාලවර්ණ තැනැත්තෙකු නිසා විය යුතු බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී, චිත්‍ර සහ මූර්ති කලාවන්හිදී නිල් පැහැයෙන් නිරූපණය වන්නේ කළු පැහැයයි. උදාහරණ ලෙස මුගලන් හාමුදුරුවන් සහ විෂ්ණු දෙවියන් නිරුපණය වන්නේ නිල් පැහැයෙනුයි. තවද, “නීල වර්ණ කේශ කලාපය” ලෙසින් යෙදෙන්නේද කළු පැහැයටයි.

කෙසේ නමුත් රූප සටහනෙ හි දැක්වෙන පරිදි, නීල කොබෙයියා කොළ​, නිල් , සහ රතු සහ හෝ පැහැයට හුරු දුඹුරු පැහැති කුරුල්ලෙක්. ඒ අනුව සිතිය හැකි වන්නේ කුරුල්ලාගේ නියම වර්ණයන්ට වඩා පද රචකයා විසින් රූපකය තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සිය අවධානය යොමු කැර ඇත්තේ “නීල කොබෙයියා” යන නාම මාත්‍රය කෙරෙහි බවයි.

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
ගී පද - පී.එච්.කේ. රත්නසිරි



ගුම් ගුම් ගුම්...

ගුම් ගුම් ගුම්...//////

මලකට (ගුම් ගුම්) වැලකට (ගුම් ගුම්)
ගහකට (ගුම් ගුම්) හනිකට (ගුම් ගුම්)
මලකට රොනකට (ගුම් ගුම් ගුම්)
ගහකට වැලකට (ගුම් ගුම් ගුම්)
උදයට සවසට (ගුම් ගුම් ගුම්)
හෙමිහිට හනිකට (ගුම් ගුම් ගුම්)
මල් මාලා (ගුම් ගුම් ගුම්)
වැල් දාලා (ගුම් ගුම් ගුම්)
රොන් දාලා (ගුම් ගුම් ගුම්)
රුං ගාලා (ගුම් ගුම් ගුම්)

මලින් මලට ගුම් (ගුම් ගුම් ගුම්)
වැලින් වැලට ගුම් (ගුම් ගුම් ගුම්)
ගහෙන් ගහට ගුම් (ගුම් ගුම් ගුම්)
රොනින් රොනට ගුම් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම් //
මලින් මලට (ගුම් ගුම්)
වැලින් වැලට (ගුම් ගුම්)
ගහෙන් ගහට (ගුම් ගුම්)
රොනින් රොනට (ගුම් ගුම්)

මලින් මලට (මලකට)
වැලින් වැලට (වැලකට)
ගහෙන් ගහට (ගහකට)
රොනින් රොනට (රොනකට)
මල් (ගුම්) මල් (ගුම්) මල් (ගුම් ගුම්)
වැල් (ගුම්) වැල් (ගුම්) වැල් (ගුම් ගුම්)
රොන් (ගුම්) රොන් (ගුම්) රොන් (ගුම් ගුම්)
මල් (ගුම්) වැල් (ගුම්) රොන් (ගුම් ගුම්)

ගුම් ගුම් ගුම්...//////

මලකින් මලකින් (ගුම් ගුම් ගුම්)
වැලකින් වැලකින් (ගුම් ගුම් ගුම්)
ගහකින් ගහකින් (ගුම් ගුම් ගුම්)
රොනකින් රොනකින් (ගුම් ගුම් ගුම්)
අහරක් අහරක් (ගුම් ගුම් ගුම්)
කවරක් කවරක් (ගුම් ගුම් ගුම්)
බැහැරක් බැහැරක් (ගුම් ගුම් ගුම්)
දෙවරක් දෙවරක් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම්...//

උදයට (ගුම් ගුම්)
සවසට (ගුම් ගුම්)
මලකට (ගුම් ගුම්)
රොනකට (ගුම් ගුම්)
උදයට සවසට වටපිට බැලුවිට
හෙමිහිට මලකට රසමිට මිහිරට
ගුම් ගුම් ගුම්...//

ගුවන් ගැබේ (ගුම් ගුම් ගුම්)
අහස් කුසේ (ගුම් ගුම් ගුම්)
පවන් රැලේ (ගුම් ගුම් ගුම්)
පාන්දරින් (ගුම් ගුම් ගුම්)
එහා මෙහා (ගුම් ගුම් ගුම්)
රෑන් ගැහී (ගුම් ගුම් ගුම්)

රූං කියා (ගුම් ගුම් ගුම්)
පියා විදා (ගුම් ගුම් ගුම්)
පියා සලා (ගුම් ගුම් ගුම්)
නිසංසලේ (ගුම් ගුම් ගුම්)
හීන් සැරේ (ගුම් ගුම් ගුම්)
පියා හඹයි (ගුම් ගුම් ගුම්)

ගුවන් ගැබේ අහස් කුසේ පවන් රැලේ පාන්දරින් එහා මෙහා රෑන් ගැහී රූං කියා පියා විදා පියා සලා නිසංසලේ හීන් සැරේ

පියා හඹයි පියා හඹයි හීන් සැරේ හීන් සැරේ...///

මේ ගීත‍‍යේ ඇති විශේෂතවය මෙය තමා ලෝකයේ තනි ස්වරයකින් නිර්මාණය වූ ප්‍රථම ගීතය. සුනිල් සාන්තයන් විසින් රචනා කර තනු නිර්මාණය කල මේ ගීතයේ පසුබිම් ගායනයෙන් අයිවෝ ඩෙනිසුන් ඇතුළු පිරිසක් දායක වූවා.

මුලු ගීතය පුරාම වාදනය වෙන්නේ, ශුද්ධ රී ස්වරය පමණයි (D Note - ශ්‍රැතිය D Major ). මෙහි තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාවේ බායාව නම් කොටසින් හඬක් ඇසෙනවා. එය පමණයි මුළු ගීතය පුරාම වාදනය වෙන්නේ. ආරම්භයේ දී පමණක් පියානෝවෙන් ශුද්ධ රී ස්වරය වාදනය කර ශ්‍රැතිය ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම ගීතය පුරාම පසුබිමින් ඇහෙන ගුම් ගුම් Chorus එකෙන් තමා අනෙක් සංගීත භාණ්ඩවල හඬ ආවරණය කරන්නේ. ගුම් ගුම් යන ශබ්දය කාල පරාස වෙනස් කරමින් රිද්මය වෙනස් කරනවා.

තාක්ෂණය ඕනෑවටත් වඩා සංගීතයට යොදාගන්නා මෙවැනි යුගයක, අද වැනි තාක්ෂණය දියුණු නැති යුගයේ තනි ස්වරයකින් මෙවැනි විශ්වකර්මයක් කිරීමට තරම් සුනිල් සාන්තයන්ගේ පරිකල්පන ශක්තිය කොපමන ද කියා මේ ගීතයෙන් වැටහෙනවා නේද?

දැනට සොයාගන්න තියෙන දත්ත අනුව වෘත්තීය සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ තනි ස්වරයකින් ගීතයක් නිර්මාණය කළ ලෝකයේ සිටින පළමු සංඟීතඥයා ඔහුයි. එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් මෙතෙක් වාර්තා වන පළමු ඒක ස්වර සංගීත කොම්පොසිසන් එක කරල තියෙන්නේ සුනිල් සාන්ත. ඒ තමයි ‘ගුම් ගුම් ගුම්’ කියන ගීතය. පස්සේ හංගේරියන් කොම්පොෂර් කෙනෙක් මේ දේ කරල තියෙනවා. එයාද මෙයාද ඉස්සෙල්ලා කළේ කියල දන්නේ නැහැ. නමුත් මේ දෙන්නගෙ භාවිතා දෙක දෙයාකාරයි. සුනිල් සාන්ත සින්දුවක් කියන්නේ. ඔහු නාදරටාවක් තමයි නිර්මාණය කරන්නේ. දැනට තියෙන තොරතුරු අනුව සුනිල් සාන්ත තමයි මේ අත්හදා බැලීමේ ලොව පළමුවැනියා වෙන්නේ. එය ඔහු තනිව අධ්‍යනය කර කළ දෙයක් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...