Monday, July 6, 2020

ලොව නිසසල වී නවතින මොහොතේ...

ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී...

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී...

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

සරල ගී පරීක්‍ෂණයට සහභාගි වෙන දවස්වල ඉඳලම මම පේ‍්‍රමකීර්ති ද අල්විස්ට කියලා තිබුණා මට ගීතයක් ලියලා ඕනෙ කියලා...

ඒත් සරල ගී වැඩසටහන ලැබෙනකම්ම පේ‍්‍රමකීර්ති අයියා මට ගීතයක් ලියලා දුන්නෙ නෑ.

මම දැන් ඉන්නෙ හරිම අවුලක. මම දයා අක්කටත් කිව්වා හරි වැඬේනෙ වුණේ.. පේ‍්‍රමකීර්ති අයියා මට සිංදුවක් ලියලා දුන්නෙ නැහැනෙ කියලා. ඔන්න එදා හවස පේ‍්‍රමකීර්ති අයියා දුවගෙන ආවා. ඇවිත්,

‘‘නංගී... හෙට උදේ හත වෙනකොට ඔයා වික්ටර්ගෙ ගෙදරට එන්න..’’ කියල කිව්වා.

‘‘හෙට උදේ?’’

මම ඇහුවේ ඇස් දෙක නළලට අරන්..

එතකොටත් මගෙ පපුව ගැහි ගැහි තිබුණේ.

මගෙ පළවෙනි සරල ගී වැඩසටහන නිසා මේකෙ ගීත ගයන එක මට හුඟාක් ලොකු වැඩක්.

‘‘හෙට උදේනෙ මට සරල ගී වැඩසටහන පටිගත කරන්න තියෙන්නෙත්.’’

මම කිව්වෙ චෝදනාවක හඬින්

‘‘හරි ඉතින් රෙකෝඩින් එක තියෙන්නෙ කීයටද?’’

පේ‍්‍රමකීර්ති අයියා බොහොම සැහැල්ලූවෙන් ඇහුවා.

‘‘අට හමාරට’‘

‘‘ඒකනෙ ඔයා හත වෙද්දී වික්ටර්ගෙ ගෙදරට එන්න. ඔයා එනකොට වික්ටර් සිංදුවක් හදලා තියයි. ඇවිත් ටිකක් පුරුදු වෙන්න පැයක්ම තියෙනවා...’’

හිනාවෙලා එහෙම කියපු පේ‍්‍රමකීර්ති අයිය යන්න ගියා.

ඒ වෙනකොට අනිත් සිංදු ටික මම පුරුදුවෙලත් ඉවරයි.

පේ‍්‍රමකීර්ති අයියා කොහොම කිව්වත් මං හිටියෙ පුදුම විදිහට බයවෙලා. සිංදුවක් කියනව කියන්නෙ ලේසි පාසු වැඩක්ද?

කොහොම හරි පහුවෙනිදා උදේ හය හමාර වෙනකොට මම වික්ටර් අයියගෙ ගෙදරට ගියා. ඒ කාලෙ වික්ටර් අයිය හිටියෙ පාගොඩ පාරෙ ගෙදරක.

පේ‍්‍රමකීර්තිගෙ ගෙවල් තිබුණෙත් ඒ කිට්ටුව. ඉතින් මං වික්ටර් අයියගෙ ගෙදර යනකොට සංගීත භාණ්ඩවල සද්ද වගයක් එහෙම ඇහුණා.

‘‘එන්න.. එන්න නංගී....’’

පේ‍්‍රමකීර්ති අයියයි වික්ටර් අයියායි දෙන්නම කිව්වෙ එකට..

‘‘අපි ඔයාගෙ සිංදුව හදලා ඉවරයි. දෙපාරක් කියන කොට ඔයාට මේ සිංදුව පුරුදු වෙයි නංගි කියලා පේ‍්‍රමකීර්ති අයියා මට එයා ලියපු සිංදුව දුන්නා. මම ඒ වචන ටික කියෙව්වෙ පසුව ගැහි ගැහි...

ලොව නිසසල වී නවතින මොහොතේ

යටිහිත් මතුකොට සිනාසලා

ලොව දොඩමළු වී නෙත් මානන කල

අපි දෙදෙනා ඉමු තරග වෙලා..

පුදුම ලස්සන වචන ටිකක්.

ඒ වෙද්දී මම හිටියෙ තාරුණ්‍යයෙ එළිපත්ත උඩ... ඉතින් මේ ආදරණීය වචන ටික මගෙ සිතට පුදුම විදිහට කිට්ටු වුණේ. ඔය කියන හැත්තෑව දශකයෙදීත් යොවුන් ආදරය රහසක් විදිහට තමයි තිබුණෙ. කරුණාසේන ජයලත් ගොළු හදවතේ ලියලා තිබුණු ආදරයම තමා හැත්තෑවේදීත් තිබුණෙ.

ආදරය කියන්නේ බැල්මකට, පුංචි හිනාවකට, ලියුමකට සීමා වුණු බැඳීමක්...

චුට්ටකින් වික්ටර් අයියා වාදනය පටන් ගත්තා. මට තිබුණෙ සිංදුව කියලා ටිකක් පුරුදු වෙන්න... පළවෙනි පාර චුට්ටක් වැරදුනා දෙවෙනි පාරත් ටිකක් වැරදුණ. ඒත් තුන්වෙනි පාර හරියටම සිංදුව කියාගන්න මට පුළුවන් වුණා. තව දෙපාරක් පුරුදු වෙලා මම කෙලින්ම ගියේ ගුවන් විදුලියට. වික්ටර් අයියයි පේ‍්‍රමකීර්ති අයියයි දෙන්නත් මගෙත් එක්කම ගුවන් විදුලියට ආවා...

එදා සරල ගී වැඩසටහනේ කියපු ගීත අතරින් වැඩියෙන්ම ජනප‍්‍රිය වුණේ මේ ලොව නිසසල වී ගීතය. ගීතය ලොව නිසසල වී වුණාට මොකද මේ ගීතයෙන් ලොව සසල වුනා. නිරංජලා සරෝ්ජනී ගායිකාවක් විදිහට අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත්වුණා.

අදටත් මං ගයපු ගීත අතුරින් වැඩියෙන්ම ජනප‍්‍රිය ගීත ගොන්නේ මේ ගීතයත්, අකලට වට මහ වරුසාව ගීතයත් තියෙනවා.


විරාග රාගය අතරේ....



සම්මාන උළෙලකදී අමල් පෙරේරාට ඇතිවුන සිතුවිල්ලක් අනුව එනම්, ජ්‍යෙෂ්ඨයකු සමඟ ගීතයක් ගැයීමේ අදහසින් එම කැමැත්ත ඉටු කර ගැනීමේ අරමුණින් මෙම ගීතය  බන්දුල නානායක්කාරවසම් අතින් නිර්මාණය වූ බව අමල් පෙරේරා පවසයි. 

බන්දුල නානායක්කාරවසම්ගේ අදහසට අනුව, ආදරය පිළිබදව හෝ ආදරයේ දෙව්රුව පිළිබඳව ඔහු කොතෙකුත් ගී පද  නිර්මාණය කර ඇති නමුත්, මේ ගීතය නිර්මාණය කළේ ඔහු කැමැතිම නව කතාව පාදක කර ගෙන යනුවෙන් පවසයි. විරාගය කැමැතිම නව කතාවයි. කැමැතිම චරිතය අරවින්දයි. සමාජය විසින් අරවින්ද ආදරයේත්, ජවිතයේත් පරාජිත පුද්ගලයෙකු ලෙස හංවඩු ගසා ඇත. එම ප‍්‍රස්තුතය ඔස්සේ මේ ගීතය නිර්මාණය කළා යැයි ඔහුගේ අදහසයි. 

ඇය තරුණය. ඇයගේ සැමියා මැදිවියේය. හුදකලාව ගලා ගිය ඇගේත් ඔහුගේත් කැඳල්ලට පැමිණි පිටස්තරයා සියල්ල වෙනස් කළේ ය. නමුදු ඒ පිටස්තරයා තුළ ඇත්තේ පේ‍්‍රමය ද, රාගය ද යන්න දන්නේ ඔවුන් පමණි. ආදරය විඳිය යුතුය. ජීවිතය දිනිය යුතුය. සිතක සඟවා ඇති පේ‍්‍රමයකින් ඇයට ද, ඔහුට ද ඇති ඵලය කුමක් ද? ඔවුන්ගේ කැඳල්ලට පිටස්තරයකු පැමිණීමට ඉඩ හැරියේ ඔහු ද? මේ සියල්ල විරාග රාගය ගිතයේ ඇතුළත්ය.

ගැහැණිකයගේ මුණිවර දහම පිළිබඳව බන්දුල නානායක්කාරවසම් මේ ගීතය තුළින් අදහසක් දක්වා නොමැත. ආදරය, පේ‍්‍රමය, පතිවත පිළිබඳව ගැඔුරු විශාල යටි පෙළ අරුතක් මෙහි ගැබ්ව ඇත. ගැහැනිය එක් එක් අයුරින් විවිධ සංස්කෘතීන්ට අනුව අර්ථ දක්වනු ලැබේ. ඇනාකරලිනා නව කතාවේ ඇනා ද, එමා බොවාරි නව කතාවේ එමා ද, මළගිය ඇත්තෝහි නොරිකෝ ද නිදසුන් ලෙස දැක්විය හැකිය. ඒ අතර ශ‍්‍රී ලාංකීක විවාහක ගැහැනිය පිළිබඳව විශාල සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ ගෙන ඇති බවත්, ඇයට එල්ලවන සමාජ අපවාද සාධරණද යන්න මේ ගීතයේ පද තුළින් ඉස්මතු වේ.

විරාග රාගය අතරේ
තනි වූ 
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
විරාග රාගය අතරේ - තනි වූ ආලය                                 
දුරලයි තනිකම ලබමින් - මගේ සරාගය...
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා 

ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු -
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා - ඈ අසරණ වූවා...
නුරා එගිනි දලූ - ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති - ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

පුමිතිර බව හා ලිංගිකත්වය අප ජන්මයෙන් දායාද කොට ගත්තාද එය ආවේණිය මතම රඳා පවතින්නක් නොවේ. අපේ හැඩරුව සේම දේහ ක‍්‍රියාකාරීත්වය හා චර්යා රටාවන් ද එයට ආවේනික ලෙස හැඩගැස්වීමේ ප‍්‍රතිඵලයකි. නමුත් මේ සියල්ලම කාලය හා පරිසරය, උෂ්ණත්වය අනුව වෙනස්වීම්වලට ලක්විය හැකිය. ආදරය ද, ජිවිතය ද එලෙසම ගතික ස්වභාවයක් ගනු ලබන හැඟීමකි. 

පේ‍්‍රමය කියන්නේ හදවත මුල්කරගත්තු කාරණාවක්. මනෝමූලික සංකල්පයක්. ජීවත් වීමේ දී අප හුරුපුරුදු කර ගත්ත සම්ප‍්‍රදාය, සංස්කෘතිය වැනි කාරණා නිසාවෙනුත් පේ‍්‍රමයට බලපෑම් එල්ල වෙනවා. අනෙක් අතට අප තුළ පේ‍්‍රමය උපදින්නේ අපට උගන්නපු රාමුවක් ඇතුළතයි. අකලංක, පරම, නිර්මල, නික්ලේෂි වගේ විශේෂණයන්ගෙන් යුක්ත වූවකි. ඒ කෙසේ වෙතත් පේ‍්‍රමය නිසාවෙන් උපදින මනෝභාවයන් ශරීරයේ ජීව විද්‍යාත්මක සංයුතුයට බලපෑම් කරන්න තරම්ම ප‍්‍රබලයි. අන්න ඒ හේතුව නිසාවෙනුයි රාගය උපදින්නේ. නමුත් ජීව විද්‍යාත්මක ඇත්ත සමඟ පමණක් අපට රාගය විඳින්නට ඉඩක් නොමැත. අපේ පේ‍්‍රමයට බලපෑම් කරනු ලබන සදාචාර නීති මාලාව ද අවි අමෝරාගෙන ඉදිරියට පැමිණේ. පේ‍්‍රමයේ දී අප කළ යුතු හා නොකළ යුතු දෑ තෝරා බේරා වෙන්කර දීමට ලියවුණු පොතක් ලෙස එය හැඳින්විය හැකිය. ආදරයේ දී අප දන්නා නමුත් නොදන්නා මෙන් සිටින ඇත්ත ද මෙයයි. 

විරාග රාගය නිර්මාණයේ දී අපිට මුණගැහෙන්නේ ගීතයෙන් කියන ආකාරයට පෙමින් තොරව කතරක් වූ විවාහක යුවලක් හා පිටස්තර පෙම්වතෙක් පිළිබඳවය. සැමියෙක්, බිරිඳක් සහ සම්මත සමාජ රාමුවට අනුව අනියම් පෙම්වතෙක්. මෙවැනි තුන්කොන් ආදර අන්දර පිළිබඳව විවිධාකාරයේ කලා ක්‍ෂේත‍්‍රයන්හි නිර්මාණ බිහි වී ඇත. මෙය සම්මත සමාජයට පොදු කරුණක් නොවුනට එසේ නැත්තෙත් නැත. කුසගින්න එක්කෙනෙකු තුළ ඇති වුව ද එය මුළු මහත් සමාජයටම බලපාන්නකි. එකම අත්දැකීම එක් ස්ත‍්‍රියක් විෂය පථය කරගත් පිරිමි දෙදෙනෙකුගේ ඇනුම්පද විලාසයෙන් දෙදෙනාම විවරණය කරනු ලබන අවස්ථාවක් ලෙස ගීතය මුළුමනින්ම දිගහැරෙන අතර අද සමාජය තුළ දක්නට ලැබෙන්නේද මේ දෙයමය. 

එකම ගැහැනිය ආදරය දෙපාරකට විඳින්නට සහ එකවිට විඳින්නට උත්සාහ දරද්දී ඇය විශාල ගැටුම්වලට මුහුණ පායි. නීතියෙන් හමුවුණු තමාගේ ස්වාමි පුරුෂයාත්,පෙම්වතාත් ඇයගේ පතිකුලයත් පවත්වා ගෙන යාමට ඇය උත්සාහ දරයි. එකම අත්දැකීම විඳින්නට පරම්පරා දෙකක දෙදෙනෙකු සූදානම් වන අරුමය,

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳ හල දා
ඈ මුකුලිත වූවා 

මේ ගීතය තුළ සැමියාගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම චෝදනා පත‍්‍රයකි. ඔහු තමන්ගේ විරාග රාගය පිළිගන්නා නමුත්, ඒ හිස්තැන සම්පූර්ණ කිරීමට තම කැදැල්ලට රිංගාගත් පෙම්වතාට ඇඟිල්ල දිගුකරයි. 

කර ගනු ඈ සතු
නොරිසි ඔබේ මුනිවර
මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා...

ගැහැනිය ගත් කල ඇත්තෙන්ම ආදරය හා රාගය අතරේ අතරමං වේ. ඇය සිය ජිවිතයම ආදරය කරගන්නියෙකි. ආසියාතික කලාපීය රටවල ගැහැනිය එහි දී ප‍්‍රතිමූර්තියක් බඳුය. ඒ ප‍්‍රතිමූර්තිය බිඳලනු එක් අවස්ථාවක් ලෙස තනිකම දැක්විය හැකියි. සරාගි හැඟීම් ඉස්මතු වීම නිතැතින්ම සිදුවේ. තුන්වැන්නකුගේ බලපෑම අවශ්‍යතාව මතු වීමත් ඇගේ පවිත‍්‍රතාවත් තනිකමත් සමඟම ගිලිහී යාමත් සිදුවේ. 

ඇයට අවශ්‍ය ආදරය විඳින්නටය. මනසින් පෙම් කිරීම හෝ එය වචන බවට නොපෙරලීම ඇයට වන අසාධාරණයකි. ඔහුගේ මුනිවත රකින ආදරය ඉදිරියේ ඇය සිය සතුට සොයයි.

නුරා එගිනි දලූ
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ
තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා... 

ආදරය රාගයෙන් වියුක්ත කිරීමට හෝ රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවිණි. එමෙන්ම අසීමාන්තික, අසම්මත බැඳීම් ද කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කෙසේ නමුදු හෘද සාක්‍ෂියට එකඟ නොවූ හැඟීමක් බැඳීමක් සමඟ ඒ මොහතේ මතුපෙළ සතුට සමඟ කිසිදා නොමියෙන යටිපෙළ දුකක් ද පවතී. 

සත්ත්ව සංහතිය තුළ ජිවත් වන මිනිස් ජිවියා තුළ හැඟීම් සිතුවිලි වූ කලී මාරුතයක් සේය. විටෙක නිහඬව සිටින මාරුතය තවත් විටෙක චණ්ඩ මාරුතයක් වී කෙසේ හෝ ගලා යාම සිදු විය. ආදරය, පේ‍්‍රමය එහි මූල බීජය ලෙස හඳුනාගත හැකිය. 

තුන්කොන් පේ‍්‍රමයක ගැහැනිය සිටිද්දී පිරිමින් දෙදෙනා හෝ පිරිමියා සිටිද්දී ගැහැනු දෙදෙනා හෝ කතාව ඉදිරිපත් කරන්නේ නැත. ප‍්‍රධාන කතා නායකයා එක් පුද්ගලයකු නොවී මේ විප්ලවීය ගීතයේ පුද්ගලයන් දෙදෙනාම ප‍්‍රධාන කතා නායකයන් ලෙස බන්දුල නානායක්කාරවසම් පද රචන තුළින් සහෘද සිත් තුළට සමීප කරලයි.

මිනිස්සු යනු සමාජශීලී සත්ත්ව කොට්ඨාශයකි. ඒ විශේෂ සත්වයින් කිසිදා හුදකලාව හෝ තනිව ජිවත් වීම ප‍්‍රතික්‍ෂ්ප කරයි. ආදරය නැමැති බැඳිමේ දී එය මිනිසාට විශේෂයෙන් බලපානු ලබයි. එහි දී ඔහු තම හුදකලාව, තනිකමෙන් ගිලිහීමට විවිධ ක‍්‍රියාකාරකම් වල නියැලනු ඇත. එහි එක් ප‍්‍රායෝගික අත්දැකීමක් විරාම රාගය ගීතය තුළින් ඉස්මතු කරලනු දැකිය හැකිය.
                             
ඔබේ මිලින ගති 
ඇයට නොවේ රුති  පෙමින් තොරව ඇගේ
දිවිය කතරක් වූ දා
ඈ මවෙත ආවා...

එකඳු රාගික හැඟීමක, බැඳීමක එනම්, සම්මත යැයි නම් කල බැඳීමක තනිව ගෙවන පෘථග්ජන පුද්ගලයයෙකුට වෙනෙකෙකු පිළිබඳව රාගය ඇතිවිම නිරායාසයෙන්ම සිදුවිය හැකිය. සමාජය ඒ හැඟීම කෙසේ පිළිගනීද යන්න ප‍්‍රශ්නයකි. නමුත් එම හැඟිම ඉතා  සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමක් ලෙස මෙම පද සංඝට්ටනාව හුවයක් සේ ගලපා ඇත. එහිදී පවුලක බිරිඳ හෝ සැමියා යන දෙදෙනාගෙන් එක් තැනැත්තෙකු ගත් කළ ඔහු අවිවේකී වීම නිසා තනිවන්නට සිදුවන පුද්ගලයාට හුදකලාවීම නිසා එමඟින් පහර විඳීමට සිදුවේ. එයින් ඇයට පරාජ සිතුව්ල්ලක් ඇති කරවයි. ඒ පරාජයනම් තනිකමයි. එය දුරුකරලීමට වෙනත් අසම්මත බැඳීමක පහස ලැබීමේ දී ඈ පරව යන බවද, ඒ ආසාවට ලොල්වන ඈ අසරණ වන බවද ගීතයෙන් කියවේ. එම සිතුවිල්ල හේතුවෙන් පවුල තුළ සිදුවන විනාශය එනම්, ඈ රාගයට පෙම් කරන බැවින් ද එයට සහේතුක කාරණාව ඈ ආදරය තුළදී තනිවීම නිසා ජිවිතය කතරක් වීම යැයි ද ඉතාම කුඩා හැඟුම් ගැඹුරින් රසිකයාගේ සිත්තුලට ප‍්‍රබල අර්ථකථනයක් දේ.

         ----------------------------------------------------------------------------------------------------------
පේ‍්‍රමය හා විරහවත් ඒ අතර මැද මුහුණ දීමට ඇති භාවාත්මක චින්තනය විරාග රාගය ගීතයේ පදවැල් තුළින් එකිනෙක ඉතා අරපරිස්සමින් බන්දුල මහතා ගැහැනියගේ හෝ පිරිමින් දෙදෙනාගේ සිත් නොරිදෙන ආකාරයෙන් දිගහරින අතර පේ‍්‍රමයනම් භාවනාවේ දී විශේෂයෙන්ම විවාහක ගැහැනියකට මෙවැනි අවස්ථාවේ දී එල්ලවන සමාජ අපවාද සාධාරණ ද අසාධාරණ ද යන්න සියුම්ව රසික බුද්ධිකලම්බනයකට ලක්කරනු ලබයි.         

කේ. ඒ. එන්. පෙරේරා විසින් රචිත ආදරය කලාවකි නමින් පරිවර්ථනය කළ එරික් ෆ්‍රොම් නමැති ජර්මාණු මනෝ විශ්ලේෂකයාගේ The Art of Loving නැමති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. 

ලිංගික බැඳීමක් සඳහා වන ආශාව ආදරය මඟින් උද්දීපනය කිරීමට පුළුවන. එවිට කායික සම්බන්ධතා පැවැතිවීමේදී එය කෑදර ලෙස හෝ කෙනෙක් අභිභවනය කිරීමට හෝ අභිභවනය කරනු ලැබීමට ඇති කැමැත්ත ඇතිව සිදුකෙරෙන්නේ නැත. එවිට එය සිදුවනුයේ මුදු මොළොක් සියුමැලි අන්දමිනි. කායික සම්බන්ධතාවයක් පැවැත්වීමේ දී එය ආදරය මඟින් ඇති කරනු ලබන උද්දීපනය හේතුකොටගෙන සිදු නොවන්නේ නම් සහ එමෙන්ම සරාගී ආදරය යනු සහෝදර පේ‍්‍රමයක් නොවේ නම් එමඟින් කිසිවිටෙක ආවේශයක ස්වරූපයෙන් ඇතිවන ක්‍ෂණික සම්බන්ධයකට වඩා වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනිමට ඉඩ සැලසෙන්නේ නැත. කායිකව හමුවන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණයක් මඟින් ඇති කරයි. නමුත් කායික හමුව ආදරකින් තොරව සිදුවීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට පෙර සිටියාටත් වඩා අමුත්තන් බවට පත්වීමය. සමහර විට ඔවුන් එකිනෙකා ලැජ්ජාවට පත්විමට හෝ එකිනෙකාට ද්වේශ කිරීමට පවා හේතු විය හැකිය.

මුනිවර ආදරයක් තුළ සරාගය සෙවීමට ඇති ස්ත‍්‍රී ආශාව නිවැරදිව තේරුම් ගැනිමට බහුතරයක් මනුෂයාට නොහැකි වී ඇත්තේ ඉහත කී පරිදි ලැජ්ජාවට පත්වීමට තරමේ ආත්මයක් ඔවුන් සතු නොවීම හේතුවෙනි යැයි සිතේ. 

ආදරයක් ගොඩනැගීමේ ආරම්භයට එක් සැණකින් ඇතිවන හදිසි හැඟීමක් හදිසි කම්පනයක් ප‍්‍රමාණවත්ය යන්න අපි දන්නා ඇත්තය. එවැනි කම්පනයකින් පස්සේ මිනිසුන්ගේ ජීවිතවල අතීත, අනාගත, වර්තමාන පෙළ කනපිට ගැහෙනා අයුරු කවියා ව්‍යංගයෙන් දක්වා ඇත.  

අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒම වස් කරලනු ලැබූ හෝ අතිශය ගැඹුරින් පරිකල්පනය ප‍්‍රකට කරලන ගීතයක් සමජයට දායද කරලූවක් ලෙස විරාග රාගය ගිතය හඳුනාගත හැකි ය. සම්මත භාවයෙන් ඔබ්බට ගියා වූ නොසිතෙන හැඟීම් පිළිබඳව ගායකයන් දෙදෙනෙකු අමුතුම ආකාරයේ කතන්දරයක් කියන ආකාරයක් මතු කරලීමට බන්දුල නානායක්කාරවසම් උත්සාහ ගෙන ඇති අතර සමාජය තුළ නිරන්තරයෙන් සිදුවන සිදුවීමක් ඔවුනොවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඒ ඔස්සේ සිය නිර්මාණය හරහා පුද්ගල මනෝභාවයන්ට, පන්හිඳ තුඬින් බන්දුල නානායකකාරවසම් සර්ව සාධාරණයක් ඉෂ්ට කර ඇති බව මගේ හැඟීමයි. 

ඒ.එම්.ප්‍රදීපා සී. අත්තනායක
ජන සන්නිවේදනය අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය




 

නීල වර්ණ නීල කොබෙයියෝ …

නීල වර්ණ නීල කොබෙයියෝ …

“ගීතය යනු සංගීතය හා භාෂාවේ අනුකූලතා පූර්වක සුසංයෝගයේ ඵලයක්. ‘නාද’ නමැති මූල ද්‍රව්‍යයත් ‘වචන’ මූල ද්‍රව්‍යයත් හරියට තෙලුයි වතුරයි වගේ පරස්පර විරෝධි වස්තු දෙකක්. ඒ දෙක අනුකූලතා පූර්වකව සුසංයෝග වෙන්න ඕනැ. එවිටයි සුභාවිත ගීතය බිහි වන්නේ.” අමරදේවයන් වරෙක සුභාවිත ගීතය අර්ථ කථනය කිරීමට යෙදුනේ එලෙසින්.

මේ අර්ථ කථනයට අනුව ගීතයක්, අර්ථ පූර්ණ, සුගායනීය සහ කාව්‍යමය පද වැලක්, ඊට අනුරුප වන සංගීතය සහ භාව පූර්ණ ගායනය ද සමගින් රසිකයන් වෙත ඉදිරිපත් වන්නේ නම් වින්දනීය ගීතයක් වනු ඇත. එනයින් බලන කළ, ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ හඬින් ගැයෙන “නීල වර්ණ නීල කොබෙයියෝ” ගීතය වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතයක්.

එකකට එකක් ගැලපෙන උපමා රූපක රැසක් යොදා ගනිමින් ලියවී ඇති මේ ගීතය පෙම්වතියක සිය හද දිනු පෙම්වතා වෙත තමුන් ගේ සිත රැඳී ආදරයෙහි ස්වභාවයත්, ඇගේ ප්‍රාර්ථනාවනුත් විස්තර කරන්නක්.

“සිත වටකර පියා සලන සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ “

ඔහු, ඇයගේ සිත පුරාම අරක්ගෙන. ඒ අරක් ගැනීම ඇයට සහනයක්, සතුටක්.

“උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ”

ඔහු තරාතිරම කුමක් වුවත් ඈට කම් නැත. ඔහු ඇගේ හදවතෙහි ස්ථිරවම ලැගුම් ගෙන අවසන් සේය.

“අඳුර බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ”

ඇගේ තැවුල්, දෝමනස්සයන් සමනය කරනු පිණිස ඇයට ඇත්තේ, ඔහුගේ ආදරය හා බැඳුනු පැතුම් ගොන්නක්. මේ පද කෙතරම් සුගායනීය සහ කාව්‍යමය වෙතත්, ඉන්ද්‍රාණි බෝගොඩ ගේ භාව පූර්ණ හඬ නොවන්නට මේ ගීතය මෙතරම් මධුර ප්‍රකාශනයක් නොවන්නට ඉඩ තිබුණු බවයි හැඟීම.

මෙහිදී “නීල කොබෙයියා” යන රූපකය යොදා ගනිමින් ඇය සිය පෙම්වතා හඳුන්වන්නේ ඔහු කාලවර්ණ තැනැත්තෙකු නිසා විය යුතු බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී, චිත්‍ර සහ මූර්ති කලාවන්හිදී නිල් පැහැයෙන් නිරූපණය වන්නේ කළු පැහැයයි. උදාහරණ ලෙස මුගලන් හාමුදුරුවන් සහ විෂ්ණු දෙවියන් නිරුපණය වන්නේ නිල් පැහැයෙනුයි. තවද, “නීල වර්ණ කේශ කලාපය” ලෙසින් යෙදෙන්නේද කළු පැහැයටයි.

කෙසේ නමුත් රූප සටහනෙ හි දැක්වෙන පරිදි, නීල කොබෙයියා කොළ​, නිල් , සහ රතු සහ හෝ පැහැයට හුරු දුඹුරු පැහැති කුරුල්ලෙක්. ඒ අනුව සිතිය හැකි වන්නේ කුරුල්ලාගේ නියම වර්ණයන්ට වඩා පද රචකයා විසින් රූපකය තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සිය අවධානය යොමු කැර ඇත්තේ “නීල කොබෙයියා” යන නාම මාත්‍රය කෙරෙහි බවයි.

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
ගී පද - පී.එච්.කේ. රත්නසිරි



ගුම් ගුම් ගුම්...

ගුම් ගුම් ගුම්...//////

මලකට (ගුම් ගුම්) වැලකට (ගුම් ගුම්)
ගහකට (ගුම් ගුම්) හනිකට (ගුම් ගුම්)
මලකට රොනකට (ගුම් ගුම් ගුම්)
ගහකට වැලකට (ගුම් ගුම් ගුම්)
උදයට සවසට (ගුම් ගුම් ගුම්)
හෙමිහිට හනිකට (ගුම් ගුම් ගුම්)
මල් මාලා (ගුම් ගුම් ගුම්)
වැල් දාලා (ගුම් ගුම් ගුම්)
රොන් දාලා (ගුම් ගුම් ගුම්)
රුං ගාලා (ගුම් ගුම් ගුම්)

මලින් මලට ගුම් (ගුම් ගුම් ගුම්)
වැලින් වැලට ගුම් (ගුම් ගුම් ගුම්)
ගහෙන් ගහට ගුම් (ගුම් ගුම් ගුම්)
රොනින් රොනට ගුම් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම් //
මලින් මලට (ගුම් ගුම්)
වැලින් වැලට (ගුම් ගුම්)
ගහෙන් ගහට (ගුම් ගුම්)
රොනින් රොනට (ගුම් ගුම්)

මලින් මලට (මලකට)
වැලින් වැලට (වැලකට)
ගහෙන් ගහට (ගහකට)
රොනින් රොනට (රොනකට)
මල් (ගුම්) මල් (ගුම්) මල් (ගුම් ගුම්)
වැල් (ගුම්) වැල් (ගුම්) වැල් (ගුම් ගුම්)
රොන් (ගුම්) රොන් (ගුම්) රොන් (ගුම් ගුම්)
මල් (ගුම්) වැල් (ගුම්) රොන් (ගුම් ගුම්)

ගුම් ගුම් ගුම්...//////

මලකින් මලකින් (ගුම් ගුම් ගුම්)
වැලකින් වැලකින් (ගුම් ගුම් ගුම්)
ගහකින් ගහකින් (ගුම් ගුම් ගුම්)
රොනකින් රොනකින් (ගුම් ගුම් ගුම්)
අහරක් අහරක් (ගුම් ගුම් ගුම්)
කවරක් කවරක් (ගුම් ගුම් ගුම්)
බැහැරක් බැහැරක් (ගුම් ගුම් ගුම්)
දෙවරක් දෙවරක් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම්...//

උදයට (ගුම් ගුම්)
සවසට (ගුම් ගුම්)
මලකට (ගුම් ගුම්)
රොනකට (ගුම් ගුම්)
උදයට සවසට වටපිට බැලුවිට
හෙමිහිට මලකට රසමිට මිහිරට
ගුම් ගුම් ගුම්...//

ගුවන් ගැබේ (ගුම් ගුම් ගුම්)
අහස් කුසේ (ගුම් ගුම් ගුම්)
පවන් රැලේ (ගුම් ගුම් ගුම්)
පාන්දරින් (ගුම් ගුම් ගුම්)
එහා මෙහා (ගුම් ගුම් ගුම්)
රෑන් ගැහී (ගුම් ගුම් ගුම්)

රූං කියා (ගුම් ගුම් ගුම්)
පියා විදා (ගුම් ගුම් ගුම්)
පියා සලා (ගුම් ගුම් ගුම්)
නිසංසලේ (ගුම් ගුම් ගුම්)
හීන් සැරේ (ගුම් ගුම් ගුම්)
පියා හඹයි (ගුම් ගුම් ගුම්)

ගුවන් ගැබේ අහස් කුසේ පවන් රැලේ පාන්දරින් එහා මෙහා රෑන් ගැහී රූං කියා පියා විදා පියා සලා නිසංසලේ හීන් සැරේ

පියා හඹයි පියා හඹයි හීන් සැරේ හීන් සැරේ...///

මේ ගීත‍‍යේ ඇති විශේෂතවය මෙය තමා ලෝකයේ තනි ස්වරයකින් නිර්මාණය වූ ප්‍රථම ගීතය. සුනිල් සාන්තයන් විසින් රචනා කර තනු නිර්මාණය කල මේ ගීතයේ පසුබිම් ගායනයෙන් අයිවෝ ඩෙනිසුන් ඇතුළු පිරිසක් දායක වූවා.

මුලු ගීතය පුරාම වාදනය වෙන්නේ, ශුද්ධ රී ස්වරය පමණයි (D Note - ශ්‍රැතිය D Major ). මෙහි තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාවේ බායාව නම් කොටසින් හඬක් ඇසෙනවා. එය පමණයි මුළු ගීතය පුරාම වාදනය වෙන්නේ. ආරම්භයේ දී පමණක් පියානෝවෙන් ශුද්ධ රී ස්වරය වාදනය කර ශ්‍රැතිය ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම ගීතය පුරාම පසුබිමින් ඇහෙන ගුම් ගුම් Chorus එකෙන් තමා අනෙක් සංගීත භාණ්ඩවල හඬ ආවරණය කරන්නේ. ගුම් ගුම් යන ශබ්දය කාල පරාස වෙනස් කරමින් රිද්මය වෙනස් කරනවා.

තාක්ෂණය ඕනෑවටත් වඩා සංගීතයට යොදාගන්නා මෙවැනි යුගයක, අද වැනි තාක්ෂණය දියුණු නැති යුගයේ තනි ස්වරයකින් මෙවැනි විශ්වකර්මයක් කිරීමට තරම් සුනිල් සාන්තයන්ගේ පරිකල්පන ශක්තිය කොපමන ද කියා මේ ගීතයෙන් වැටහෙනවා නේද?

දැනට සොයාගන්න තියෙන දත්ත අනුව වෘත්තීය සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ තනි ස්වරයකින් ගීතයක් නිර්මාණය කළ ලෝකයේ සිටින පළමු සංඟීතඥයා ඔහුයි. එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් මෙතෙක් වාර්තා වන පළමු ඒක ස්වර සංගීත කොම්පොසිසන් එක කරල තියෙන්නේ සුනිල් සාන්ත. ඒ තමයි ‘ගුම් ගුම් ගුම්’ කියන ගීතය. පස්සේ හංගේරියන් කොම්පොෂර් කෙනෙක් මේ දේ කරල තියෙනවා. එයාද මෙයාද ඉස්සෙල්ලා කළේ කියල දන්නේ නැහැ. නමුත් මේ දෙන්නගෙ භාවිතා දෙක දෙයාකාරයි. සුනිල් සාන්ත සින්දුවක් කියන්නේ. ඔහු නාදරටාවක් තමයි නිර්මාණය කරන්නේ. දැනට තියෙන තොරතුරු අනුව සුනිල් සාන්ත තමයි මේ අත්හදා බැලීමේ ලොව පළමුවැනියා වෙන්නේ. එය ඔහු තනිව අධ්‍යනය කර කළ දෙයක් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.



රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ...

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳීන්නද
බාලේ ඉදන් බැදි ආලේ බිඳින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි
 
මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඒ අත්දැකීමට මුහුණ දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගම් ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඒ ගොවි මහතා තමන්ගේ අත්දැකීම රණසිංහයන්ට කියනකොට රණසිංහයන්ගේ වයස අවුරුදු 17 ක්.

නෑනා හා මස්සිනා අතර පැවති ප්‍රේමය විවාහය දක්වා ගෙන යැමට නොහැකි වූ දෙදෙනෙකු අතර සංවාදී ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අපූරු ගීතයකි,අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ නැමැති ගීතය ..

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ..
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ..
මාසෙ පෝය දා වාගෙයි ගම්මානේ ..

තනිව හේනක් කොටා වගාවක් කිරීම ගැමි තරුණයෙකු ගේ විවාහ දිවියට ඇති සුදුසුකම් අතර එකක් ලෙසට ගැමියන් අතර මතයක් පවතී.මන්ද එය විවාහ දිවියක් ගත කිරීම සඳහා ඇවැසි ආර්ථික ශක්තියේ සංකේතයක් වැන්න නිසාය.අනෙක අලස අයෙකුට එවන්නක් කල නොහැක.

උක්ත තරුණයාට සිය නෑනා මතකයට එන්නේ තම හේන ආරක්ෂා කිරීම සඳහා පැල් රකින අවස්ථාවේ දී යැ. තම පාළුව කාන්සිය නිවා ගැනීමට නෑනාවත් සිටියානම්, කොතරම් දෙයක් දැයි ඔහුට සිතේ..එහිදී "කුරහන් පැහෙනා හේනේ"යන්න ශුංගාරාත්මක යෙදුම කි. ග්‍රේෂන් ආනන්දයයන් විසින් රචිත මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන "මගේ පුංචි කුමාරී "කියන ගීතයේ ඇති "ආල හැඟුම් මෝරන යාමය " සහ මෙහි "කුරහන් පැහෙනා"යන්නේ සැඟවුන අර්ථය එකම දෝ යැයි සිතේ.
ඔහුගේ නෑනා ඉදිරියේ දී පිටස්තරයෙකු සමග විවාහ වී යෑමට නියමිත බව ඔහු දනී..එසේ ඇය ගමෙන් යෑම ඔහු දකින්නේ ගම තුල ඇති ආලෝකය ඉවත් ව යෑමක් ලෙසට ය.ඔහුගේ ජීවිතය ද ඇයගෙන් ආලෝකවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහුට ඇයගේ වෙන්වීම දැනෙන්නේ සඳ නැති අමාවක දිනයක් සේය.

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට

නෑනා සිය මස්සිනාව හමුවන තැන් පිලිබඳ උක්ත කොටසින් කියැවේ..එනම් එගොඩහ ඉස්මත්ත..වැව් කණ්ඩිය..ආදී ස්ථාන ය.එගොඩ සහ මෙගොඩ ඔවුන් දෙදෙනා විය නොහැකි ද?එගොඩ හා මෙගොඩ අතර බාධක ය ,නෑනාගේ දෙමාපියන් ගේ බලපෑම/ආකල්පය විය නොහැකි ද?
ඇය සිය මස්සිනාට බහ දෙන්නේ ඇයගේ හිතුමනාපෙටය.එහෙත් ඇයගේ දෙමාපියන් එයට අකමැති වගක් පෙනේ.එනිසා ඇයව වෙන කෙනෙකුට යෝජනා කර ඇත..එහිදී මස්සිනාට අසාධාරණයක් සිදුවී ඇතැයිද කිව හැක.ඒ ඔහුට බලාපොරොත්තු ලබා දී ඔහුව මඟ හැරීමයි..සමහරවිට ඇය ද දෙමාපිය කැමැත්ත ගන්නට උත්සාහ කරන්නට ඇත..එහෙත් දෙමාපියන් එයට අකමැති වන්නට ඇත.දෙමාපියන් සමග විරුද්ධ වී හිතුවක්කාරෙට විවාහ වීම ගැමි තරුණියකට තරම් නොවන බැවින් ඇය දෙමාපිය යෝජනාවට කැමැති වන්නට ඇත.එනිසා ඇය මස්සිනාගේ සිත් අස්වසයි..ඒ පෙර පිං නැතුව ඇතැයි කියමිනි.

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්න ද..
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද..
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද..
හීනෙන් මිසක හැබැහින් එක් නොවෙන්න ද..

හේන තුලින් ආර්ථික ශක්තිය ද, ගෙපැල තුලින් ආරක්ෂාව ද සංකේතවත් වන බැවින් ද ඔහුටම කියා ඇති ගෙපැල විවාහයකට මූලික සුදුසුකමක් ලෙසට ගැමියෝ සලකති..
ගැමි තරුණයෙකුට ඇත්තේ සරල බලාපොරොත්තු ටිකකි.එනම් තරුණියක සමග විවාහ වී දරු මල්ලන් හදාගෙන සතුටින් ජීවත්වීම පමණි.ඒ සඳහා ඔහුට මාළිගා අවැසි නැත.ගෙපැල හොඳටම ප්‍රමාණවත්ය. බොහෝවිට එය නිර්මාණය වෙන්නේම ඔහුගේම මහන්සියෙනි.උක්ත මස්සිනා තම ගෙපැල හදන්නේම නෑනා සමග දිවි ගෙවීමේ අටියෙනි.එහෙත් අද නෑනා වෙන කෙනෙකු සමග විවාහ වීමට නියමිතය.එනිසා මම මේ ගෙපැල හැදුවෙ තනියෙන් ඉන්නදැයි නෑනාගෙන් ප්‍රශ්න කරයි...
බාල වියේ පටන් ආ බැඳීම බිඳින්නද හදන්නෙ?එතකොට අපිට එකතුවෙන්න වෙන්නෙ හීනෙන් විතරද?යනුවෙන් ඔහු නෑනාගෙන් අසයි..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි .
කුරහන් කපන දා මා සිහිකරන්නයි..

ඇය ඔහුගෙන් සමුගෙන යන්නේ කැමැත්තකින් නොවන්නට පුළුවන.එහෙත් යතාර්ථට මුහුණ දිය යුතුය.එනිසා ඇය ඔහුව ආරක්ෂා කර දෙන ලෙස පත්තිනි මෑණියන්ගේගෙන් හා ගම්භාර දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.එමෙන්ම ඔහුගේ අනාගතය සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරයි.එමෙන්ම ඔහුට ධනවත් සහකාරියක් ලැබෙන්නයි ද ඉල්ලයි.එහෙත් ඔහුට ඇයව අමතක නොකල හැකි බව ඇය දනී..එනිසාම ඇය "කුරහන් කපන දා" මා සිහි කරන්න යැයි ඉල්ලයි.එයද ශුංගාරාත්මක යෙදුමකි. සිය ප්‍රථම ප්‍රේමය අමතක කිරීමට කිසිම පෙම්වතෙකුට/පෙම්වතියකට නොහැක.මෙම කාරණය නෑනා විසින් අවබෝධ කරගෙන ඇති වගක් පෙනේ.එනිසාම දෝ සිටු කුමරිය සමග විවාහ වී,ඒ ප්‍රේමයේ අස්වැන්න නෙලන අවස්ථා වේ නොහොත් " කුරහන් කපන දා " ඇයව මතකයට ගන්නා ලෙස මස්සිනා ගෙන් ඉල්ලයි...

ඒ සිදුවීම නිමිති කරගෙන අජන්තා රණසිංහයන් මේ ගීතය පසුකාලීනව ලියනවා. හැබැයි මේ ගීතය ලියන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් තබාගෙන "මියුරස වින්දන" ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන්. ඒ වැඩසටහන නිෂ්පාදනය කලේ ආචාර්ය දයාරත්න රණතුංගයන්.

ඒත් ඒ වකවානුවේ දී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ පුතණුවන්ගේ මරණය සිද්ධවීම නිසා එතුමා හිටියේ ගීත ගයන්න පුළුවන් මානසික තත්ත්වයක නොවෙයි. මේ නිසා ආචාර්ය අජන්තා රණසිංහයන්, වැඩසටහනේ නිෂ්පාදක ආචාර්ය දයාරත්න රණතුංගයන්ට ඇරියුම් කරනවා අමරා රණතුංගයන් සමග ගයන්නට. නමුත් වැඩසටහනේ නිෂ්පාදකවරයා නිසා එතුමාට ගුවන්විදුලි සංස්ථා සභාපතිතුමාගේ අවසරය අවශ්‍ය වන බව පවසා එතුමාට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට සිදුවෙනවා.

අවසානයේදී අජන්තා රණසිංහයන් අබේවර්ධන බාලසූරියන්ට මේ ගීතය ලබාදෙනවා. කොහොම හරි ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් සම්බන්ධ කරගෙන මේ ගීතය ගයනවා. මෙය ඉතා ක්ෂණිකව පුහුණු කිරීමට සිදුවීම නිසා සරත් දසනායකයන් පෙර පුහුණුවීමේ දී සංගීත ඛණ්ඩයබ් අතරතුර අබේවර්ධනයන් ළඟට ඇවිත් කන ගාවට කර ගීතය පුරුදු කර තිබෙනවා. 

අවසානයේදී නොසිතූ විරූ ජනප්‍රියත්වයක් මේ ගීතයට ලැබෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි. මියුරස වින්දන වැඩසටහනින් ප්‍රචාරය වූ පසු වසර 2ක් ගතවන තුරු මේ ගීතය පටිගත කල පටිගබඩාවේ පවතිනවා. එය ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමි විය යුත්තේ ඩෝල්ටන් අල්විස් මහතාටයි. එතුමා ගුවන්විදුලියේ සේවය කරන කාලයේදී රාත්‍රී වැඩසටහනකට ප්‍රචාරය කිරීමට අවශ්‍ය ගීත සොයනවිට මේ ගීතය පටි ගබඩාවෙන් සොයාගෙන තැටිගත කර ප්‍රචාරය කරනවා. ඉන්පසුවයි මේ ගීතයේ ජනප්‍රියත්වය ඇතිවන්නේ.

අබේවර්ධන බාලසූරිය යන්ගේ හඬ තුලින් සැබෑ ගැමි තරුණයා තුල ඇති හැඟීම් නියමාකාරයෙන් ඉස්මතු වේ. ත්‍යාගා එන් එඩ්වඩ් ගේ ගායනය තුලින් ද නෑනාගේ ආත්මකථනය අපූරුවට ඉස්මතු වේ..ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන්ගේ සංගීතය තුලින් ගැමි සිතැඟි යාවන් අපූරුවට ප්‍රති නිර්මාණය වී තිබේ. මෙහි ගේය පද මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේය.



කලේ පැන් ඇත නැවුම් රහ නැත ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..

සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත...

පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///

ගායනය- සුනිල් එදිරිසිංහ
පදරචනය- කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - රෝහණ වීරසිංහ 

හිමිදිරි පාන්දර ඔරලෝසුව මොර දෙන්නට විය. වෙනදා මා කූද්දන්නේ මගේ ආදරණීය බිරින්දෑය. අද මම නිදි යහනේන් අවදි කරන්නට ඇය නොමැත. වැතිරගත් වනම සිටි මා ඔරලෝසුව දෙස කෝපයෙන් බලා
"අනේ අනේ උඹත් අද මට ඔච්චම් කරනවා නේද්" දැයි කියමින් එය පසෙකට විසි කරන්නේය. වෙනදා පාන්දර මා අවධිවන්නේ ඇයෙගේ ආදර වදන් වලින්ය.

"ආ... නැගිටින්න... දැන් හොඳටම එළිය වැටිලා... හම්... හම්... හනේ හනේ... තාම පොරවාගෙන නේද?..."

තවත් පොඩි වෙලාවක් කම්මැලිකමට එහාට මෙහාට පෙරලෙන මා ඇයවද අතින් අල්ලා නිදියහනට ඇදගන්නේ මගේ හිතේ පාන්දරම අවධිවන ආදර හැඟීමටය. එය නොවලක්වන ඇයද මොහොතකට මා සමග නිදියහනට ගොඩවන මොහොතින් බොරු තරහක් මවාගෙන මෙසේ කියන්නීය.

"මෙන්න වැඩක්... අද වැඩට යන්නේ නැද්ද? හපෝ තියෙන කම්මැළිකමක්... මං යනවා කුස්සියට"

මෙසේ කියමින් ඇය කුස්සියට වන්නේ මා වෙනුවෙන්ම සාදන උදෑසන කිරි කෝප්පය පිළියෙල කිරීමටය. මෙවැනි නොයෙකුත් චාටුබස්ද, ආදරබස්ද මා නිදියහනෙන් නැගිට්ටුවීමට තරම් වන්නේය. හනික නැගිටින මා මීළඟට සොයන්නේ ඇගේ ආදරය පිරුණු කිරි කෝප්පයයි. එයට ලොල් බැඳි මා හනිකට නිදියහනෙන් පැන කුස්සියට වැද ඉඟිමරමින් එහි රස බලන්නේ ඉමහත් ආදරයෙනි. මෙවන් පිරුණු ඇරඹුමක් මා හට ලබා දිය හැක්කේ මගේ බිඳෑට පමණමය.

නමුත් අද ඒ කිසිවක් නැත. මා තනිවමය.

හිරු උදාවට දොස් පවරමින් අදිමදි කරමින් මා නිදියහනෙන් නැගිට හිමිහිට කුස්සිය දෙසට ඇදෙන්නේ කිරි කෝප්පයක් පිළියෙල කිරීමට සිතාගෙනය. පළමුව වතුර උගුරක රහ බැලිය යුතුයැයි සිතා කලයෙන් වතුර කෝප්පයක් නවා බීමට කටට ගත්තද එහි රසය නැති වී ගොසින්ය. වෙනදා මේ වතුර කෝප්පය දෙන්නේ මගේ බිරිඳය. අද මොනවා වෙලාද මන්දාය...

වතුරේ නැවුම් රසය අඩු වෙලාය. බීමට තරම් නොවේය.

කුස්සියේ තියෙන දෙයක් උයාගෙන බඩ පුරවාගෙන රැකියාවට යා යුතුව ඇත්තේය. එහෙයින් හාල් හුන්ඩුවක් ගෙන සෝදා ගරා ලිපේ තබන්නේ සම්බෝලයක් සදා ගැනීමට සැරසෙන අතරතුරේය. අනේ අද ලිපට මොනවා වෙලාද මන්දාය. ලිපේ ගින්දර ඇවිල්ලේ නැත්තේය. අමාරුවෙන් අවුලාගත් ලිපේ තියෙන හාල් ටික වෙලාවකින් රොස් වෙන්නේය. බත පිච්චෙන ගඳ අතරින් කෙසේ හෝ ගින්දර අඩු කරමින් මුට්ටිය බිමට බාගෙන පිඟානකට බෙදා ගන්නේ සාදාගත් සම්බෝලයත් සමහ රස බැලීමටය.

අහෝ... වෙනදා මගේ බිරිඳ සාදන සම්බෝලය කොපමණ මිහිරිද? මා කන්නට ගත් බත් පතේ කිසිදු රසක් නැත්තේය. සම්බෝලයේ මිරිස් වැඩිද මන්දාය. නැත්නම් මගේ දිවට මොනවා හරි වෙලාද මන්දාය.

රැකියාවට ගොස් ආපසු ගෙදරට එන වෙනදා නිවසට ගොඩ වූ සැනෙන් පිරිසිදු වතුර වීදුරුවක් මගේ දිව පිනවන්නේය.

"කෝ දෙන්න.... හරිම මහන්සි පාටයි..."

කියමින් අතේ ඇති බඩු සියල්ල ගෙන නොයෙකුත් කෝලකම් කරමින් ගෙතුලට මා ගෙනයන්නීය. නිවසට වන් මා හට නිවස පුරා ඇති පිරුණු බවින් මගේ වෙහෙස දුරු වන්නේය.

ඒත් අද ඇය නැත. වෙනදා මාගේ දෙසවන් පිනවන කෝල වදන් අද නැත්තේය. සිනහ බව නැත්තේය. මගේ සවන් බිහිරි වී ඇති සැටියක්ය. කිසිවක් අසෙන්නේ නැත්තේය. ගහක කොලයක වැදෙනා සිහිල් පවන් රැල් අද නොමැත්තේය.
පුරුදු නිවහනත් මට අද නුපුරුදු වී ඇත්තේය. පාළුව සෑමතැනම ගැවස ගෙනය.

අද මගේ බිරිඳ මා ලඟ නොමැත. ඇය ගමේ ගොසින්ය. ඇය නෑ ගම් ගොසින්ය.


මේ ජීවනයේ ...

පාලයියා ජෝතිට කියූ හින්දි බොරුව..

මේ ජීවනයේ, මුළු සන්සාරේ,
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ, 
දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ,
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්,
මා යන ගමනට දිරි දෙයි
 
මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ

සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා, 
සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා,
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා,
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,
අම්මාගේ ආදරයයි.

මේ ජීවනයේ, මුළු සන්සාරේ, 
මේ ජීවනයේ, මුළු සන්සාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ,
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ,
මේ ජීවනයේ.

ගායනය - එච්.ආර්. ජෝතිපාල 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

අද ලිපියේ සිදුවීමට සම්බන්ධ සංගීතවේදීන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ නම රැන්දුවෝ වෙති.  පළමුවැන්නා ප්‍රවීණ සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාලයන්ය. 1921 සැප්තැම්බර් 13 වනදා මාලිගාකන්දේ උපත ලැබූ සෝමපාලයන් මරදානේ සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අරඹා පසුව සංගීතවේදී ලයනල් එදිරිසිංහයන් වෙත ගොස් සිතාරය වාදනය හැදෑරීය. දක්ෂ වයලීන වාදකයෙකු ලෙසද හැකියාව ප්‍රගුණ කළ පී.එල්.ඒ. සෝමපාලයන් 1943 දී එවකට රේඩියෝ සිලෝන්හි සංගීත වාදකයෙකු ලෙස එක්ව ඇත. එකල ග්‍රෑමෆෝන තැටි සදහා සංගීත දායකත්වය ලබාදුන් සෝමපාලයන්, සුනිල් ශාන්තයන් හා යුග ගායනා වලට එක්වූ චිත්‍රා පෙරේරා නම් වූ සුකොමල තරුණිය හා විවාහ වී නව සංගීත යුගයක් බිහි කළේය. චිත්‍රා සෝමපාලයන් ගැයූ ඉසුරුමුණියේ, උඩරට කදුකර, ලලිත කලා, දඹුළු ගලේ, ගාලු පුරේ සිරී ආදී ගීත සියල්ලේම තනු නිර්මාණය වූයේ ඒ ආදරණීය සැමියා අතිනි.

ජෝතිපාල හා පී.එල්.ඒ දෙදෙනා අතර පැවතියේ දැඩි ලෙන්ගතු බැදීමකි. 70 දශකයේ ඇරඹෙන ජනප්‍රිය සිනමා රැල්ල සමග ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම එසැවෙන්නේ සෝමපාලයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය ගී සමුදාය නිසාය. එකල භාරතයේ අතිශය ජනප්‍රිය එහෙත් ලංකාවේ එතෙක් ජනප්‍රියව නොතිබූ හින්දි ගීත සොයා ඒවායේ තනු උපයෝගී කරගෙන සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය වූ ගීත දායාද කළේ පී.එල්.ඒ. සෝමපාලයන් හා ජෝතිපාල යන දෙදෙනා බව කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ‘කොයි යන්නේ ‘, ‘මේ දෑස මගේ පින්වන්තයි‘, ‘ඈත දිලිසෙන හිරු සදු‘ , ‘ සුසුදු රැල්ල‘ , ආදියෙන් පටන් ගෙන සිහිපත් කළහොත් ජනප්‍රිය චිත්‍රපට ගී සිය ගණනක් සිහිපත් කර ගත හැක. ජොතිපාලයන් තමන්ට ගැයීමට ලැබෙන ඕනෑම ආකාරයක තනුවක් උපරිම මට්ටමින් ගයන්නට හැකි අති දක්ෂ ගායන ශිල්පියෙකු විය. හින්දි තනුවකට අනුව ලියැවුනු කරු අයියාගේ පද වැලක් හින්දි තනුව අමතක වී “ අපේම ගීයක්“ ලෙස ගයන්නට ජෝතිට තිබුනේ පුදුම හැකියාවකි. “එපා එන්න කියලා“, “අඞන්නෙ ඇයි සුදු මැණිකේ“ ආදී ගීත ඇසෙන විට අදත් සිහිවන්නේ ජෝතිගේම ගීයක් මිස හින්දි තනුවක් නොවේ. බොහෝ ගායක ගායිකාවනට ‘පාලයියා‘ වූ සෝමපාලයන් ජෝතිට නිකම්ම පාලය. ඒ ජෝති එතරම්ම හිතවත් මිතුරෙකු වූ නිසාය. බොහෝ විට 70 දශකයේ චිත්‍රපටයකට ගීත 9 ක් පමණ ඇතුළත් වූ අතර ඉන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන්ම ගයන්නේ ජෝතිපාලය. ඇන්ජලීන් සමග යුග ගී කීපයක් හා එම්.එස්. ගේ ගීයක්ද ඇතැම් විට බෙග් මාස්ටර්ගේ ගීයක් ද ඒ ගොන්නට එකතු වේ. ජෝතිට ලැබෙන හින්දි තනුවක් ගයන්නට පෙර පාල සමග ඒ ගැන කතා කිරීම දෙදෙනාගේම පුරුද්දකි.

මේ අතර තවත් අළුත් චිත්‍රපටයක් වූ “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ වෙනුවෙන් ගීත නිර්මාණය සෝමපාලයන්ට පැවරිණ. පදවැල් ලියැවින. තනු නිර්මාණය විය. පටිගත කිරීම්ද සූදානම් විය. ජෝතිගේ පටිගත කිරීමේ දිනය උදාවිය. ජෝතිට පෙර පුහුණුවීම් රැසක් අවශ්‍ය නොවේ. සංගීත අධ්‍යක්ෂවරයා වරක් දෙවරක් තනුව කියාදුන් පසු “ හරි.. ගමු..“ කියා එක් වරකින්ම නිවැරදිව ගීයක් ගැයීමේ පුදුම හැකියාවක් ජෝති සතු විය. “අපරාදෙ කියන්න බෑ. ජෝතිපාල ට එක ටේක් එකයි“ කියා කියමනක් හැදුනේද ඒ නිසාමය. ඔන්න බබෝ බිල්ලෝ එනවා ගීත පටිගත කිරීමේ දී ජෝති ට අපූරු ගීයක් ගයන්නට සිදුව තිබුනි. එය හින්දි තනුවක් යැයි සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල කීවේ නැත. ජෝති එවැනි තනුවක් හින්දි ගීයකින් අසා තිබුනේද නැත. වරක් දෙවරක් තනුව වයා, ගයා පුහුණු කරද්දී “ අම්මට සිරි මේක මාර මෙලඩියක්නෙ පාල..“ කියා ජෝතිට කියැවින. “ එහෙම තමයි ඩෝ අපේ වැඩ..“ සෝමපාලයන් ද එලෙස කියා ගීතය පටිගත කිරීම ඇරඹීය. නැවුම් ගීයක් ගයන මාධූර්යයෙන් ජෝති ද ඉතාමත් ලගන්නා ලෙස ගීය ගැයීය. පටිගත කර අවසානයේ ගීය යළි ඇසූ ජෝති “ මේක නං මාර හිට් එකක් වෙනවා ..“ කියද්දී..“ බලපන්කො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..“ යනුවෙන් සෝමපාලයන් ගෙන් ද පිළිතුරු ලැබින.

දැන් චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වන කාලයයි. රටපුරා ගීත ලෝලයන්ගේ මුවෙහි ගැයෙන්නේම ජෝති ආසාවෙන් ගැයූ එම ගීයයි. ජෝති ද මහත් සතුටට පත්ව සිටී. එකළ ගුවන් විදුලියේ වෙළද සේවයේ විවිධ වැඩ සටහන් අතරට ඒ වන විට ජනප්‍රිය චිත්‍රපටවල මුල් හින්දි ගීය සොයා වාදනය කිරීමද පුරුද්දක් වී තිබුනි. අප ගුවන් විදුලි අසන්නන් අතර එම මුල් හින්දි ගීය ජනප්‍රිය වන්නේ එවිටය. දිනක් ජෝතිට අහම්බෙන් මෙන් අසන්නට ලැබුනේ තමන් ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයට ස්ව නිර්මාණයක් ලෙස සළකා අපූරුවට ගැයූ ගීතයේ තනුව ඇති හින්දි ගීයකි. ජෝතිට යකා නැග්ගේය. “යකෝ පාල මට බොරු කියලා තව හින්දි කොපියක්නෙ රෙකෝර්ඩ් කරවලා තියෙන්නෙ..“ කියමින් පුපුර පුපුරා පාල හමුවන තෙක් මග බලමින් සිටියේය. 

එකල ගුවන් විදුලියත් රූපවාහිනියත් අතර ඇති ටොරින්ටන් පාර බස්රථ පවා ගමන් කරන පොදු මාවතකි. දිනක් ජෝති මිතුරෙකුගේ මෝටර් රථයක නැගී තුන්මුල්ල පැත්තේ සිට පැමිණ ටොරින්ටන් පාරට හරවනවාත් සමගම ගුවන්විදුලිය දෙස බලා “ ඒයි.. තවත්තපං මචං කාර් එක. ඕකාට මම අද..“ කියද්දී මිතුරා රූපවාහිනී අයිනේ රථය නවත්වා ගත්තේද අසීරුවෙනි. අඩියට දෙකට පාර මාරුවූ ජෝති ගුවන්විදුලිය අයිනේ හිටගෙන සිටි දෙදෙනෙකු ඉදිරියේ මහ හයියෙන් කෑ ගසනවා ඇසුනු මිතුරා ද එදෙස බැලීය. හිටගෙන සිටි දෙදෙනා කරුණාරත්න අබේසේකර හා පී.එල්.ඒ. සෝමපාල විය. තිදෙනාගේ දෙබස් පැහැදිලිව ඇසේ. “අඩෝ.. පාල මොකද්ද බං උඹ කරපු කැත, පල් වැඩේ..“ ඒ ජෝතිගේ හඞයි. “ මොකද්ද පල් වැඩේ..“ වැඩි කලබලයක් කවදත් නැති පී.එල්.ඒ. අසයි. “ ඇයි උඹ කිවුවෙ නෑනෙ ... අර සිංදුව හින්දි එකක් කියලා.. එහෙම කලින් කිව්වනං මං දෙනවනෙ තවත් ඇට්ටි හැලෙන්න..“ ඒ ජෝතියි. “ හරි..හරි.. මොකද්ද සිංදුව..“ . “ ඇයි බං අර “මේ ජීවනයේ මුලු සංසාරේ“ . ඒක හෙන හින්දි කොපියක්නෙ ඩෝ. බලපං දැන් හැමදාම රේඩියෝ එකේ යනවනෙ. “හරි.. හරි.. ඒකට හේතුව මෙන්න මෙයාගෙන්ම අහලා දැනගනින්කො.. බොරුවට කෑ ගහන්නෙ නැතුව.“ පාල නිසොල්මනේ කරුණාරත්න අබේසේකරයන් පෙන්වා කියයි. “මොකද්ද.. මොකද්ද හේතුව“ ජෝති කරු ගේ ඇගට ගොඩවෙයි. කරු අයියා ද කලබල වන අයෙකු නොවේ. ඔහු සෙමෙන් කතාව අරඹයි. “මෙන්න මේකයි ජෝති උනේ.. ඔය මෙලඩි එක මට ගෙනත් දුන්නම මට නියම වචන ටිකක් ලියැවුනා.. අම්මා ගැනනෙ සිංදුව. මං තමා පාලට කිවුවෙ.. මේක හින්දි මෙලඩි එකක් කියලා ජෝතිට නොකියා රෙකෝඩිං කරවපං.. ජෝති මේක නියමෙටම කියයි.. කියලා..“බම්බුව තමා..“ ජෝති තවම කේන්තියෙනි. “ දැන් බලාපංකො ජෝති... උඹ ඒ සිංදුව හින්දි එකාටත් වඩා හොදට කියලා තියෙනවනෙ.“ කරු එලෙස කියන විටම “ බහ්..බහ්..බහ්.. ගාමින් මොනවාදෝ මුමුණමින්, අඩියට දෙකට යළි පාර පැන මිතුරාගේ මෝටර් රථයට නැගුනු ජෝති යන්නට ගියේ දකුණු අතේ අල්ල පාරෙන් අනික් පැත්තට දිගු කරමින් “උඹලා දෙන්නම බම්බු ගහපල්ලා..“ කියන්නාක් මෙන් සංඥාවක් ද කරමිනි.


නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...